
අප පාසල් ගිය කාලයේදී විනෝදාංශ මොනවාදැයි ගුරුතුමිය ඇසුවහොත් හැමදෙනාම කියන්නට පුරුදුව සිටියේ ඒකාකාරී ක්‍රියාකාරකම් කිහිපයකි. මුද්දර එකතු කිරීම, පිහාටු එකතු කිරීම,පොත් කියවීම, මිහිර පත්තරය බැලීම ඉන් සමහරකි. එහෙත් පාසල ඇරුණු වේලේ පටන් අප කළේ විනෝදාස්වාදය ගෙන දෙන ක්‍රියාකාරකම්ය. අපට සැබෑ විනෝදය ගෙන දුන් කෙළි සෙල්ලම් හා විනෝදාංශ ගැන කියන්නට අප මැලි වූයේ ඒවා බොහෝ ළමයින් කළ ඒවා බැවිනි. එහෙත් මේ කාලයේ සිට ඒ කාලය දෙස බැලූ විට ගුරුතුමියට අමුතුවෙන් නොකී ඒවා විශේෂිතය. දැන් ළමා හා යොවුන් ජීවිත ගෙවෙන අයුරු බලද්දී එකළ අප විඳි චමත්කාරයන් වර්තමාන ජීවිතවලට අවුන්සයක හෝ අනුප්‍රාප්තියක් ලබාගත හැකිය.
අප ළමා විය ගතකළ හැට හැත්තෑ ගණන්වල අම්මලා සැර වැර දමමින් ළමයින් එළියෙන් ගෙතුළට දැමුවෝය. දැන් විචාරශීලී දෙමාපියන්ට සිදුව ඇත්තේ පරිගණක ඉදිරියේ ඉන්නා දරුවන් ගෙතුළින් එළියට දමන්නටය. ළමයින්ට සෙල්ලම් කරන්නට ඉඩ නොදී දෙකේ පන්තියේ සිට විෂය සියල්ලටම ළමයින් පන්ති යවන දෙමව්පියෝද සිටිති.
කුරුවිට ඉන්නා මගේ මිත්‍රයකු කීවේ කුඩා අවධියේ ඔවුන් බෝපත් ඇල්ලට නාන්නට ගිය විට වරුවක් තිස්සේ එහි කෙළිදෙලෙන් ගතකරන බවයි. මේ කාලයේ බෝපත් ඇල්ලට එන ගමේ ළමයින් වැඩිහිටියන් මෙන් යාම්තමින් එකෙන් දෙකෙන් නාගෙන ගොඩ එන සැටි බලා ඔහු කම්පා වූයේය. නගරාසන්නයේ ද තත්ත්වය මීට වෙනස් නැත. සෝමලතා සුබසිංහ ගුරුතුමියගේ ළමා නාට්‍ය වැඩමුළුවලදී දරුවන්ට ඉගැන්වූ එක් කුඩා ගීතයක් මගේ මතකයට එන්නේ නිතැතිණි.
පහළ වෙලේ කුඹුක් ළිඳට
ගියාම අපි දිය නාන්න
වරැවක් එහි ගත කරන්නෙ
සබන් බුබුළු උඩ අරින්න
දේදුන්නෙන් පාට අරන්
පිපිරීලා නැතිවී යයි
ඒ චමත්කාරය ගමේත් නගරයේත් දැන් සබන් බුබුලක් වාගේම නැතිවී ගොසිණි.
විනෝදාස්වාදය ලැබීම අත ඇති ජංගම දුරකථනයේ මුහුණතට සීමා වෙමින් පැවතීම මෙකල ප්‍රජාවට බලපාන ගැටලු රාශියකට මූලික වී ඇති බව මා දැනගත්තේ මගේ ජංගම දුරකථනයේ මුහුණතින්මය. රාත්තල් 30 – 40ක් පමණ බර ඇති හිස (හෙවත් ඔළුගෙඩිය) නිතරම පහතට රුවාගෙන හිඳීම නිසා එය කොඳු ඇට පෙළට අහිතකර ලෙස බලපාන අයුරු එක් කෙටි වීඩියෝවක විස්තර කොට තිබිණි. බාල, මහලු, තරුණ, වැඩිහිටි, ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව ඒ හැම දෙනා අතර මෙම ගැටලුව උත්සන්න වෙමින් පැවතීම අවධානයට ගතයුත්තකි.
මේ අතර බාල මහලු වැඩිහිටි තරුණ භේදයකින් තොරව හිස අහසට හරවාගෙන කරගෙන ආ විනෝදාංශයක් තවම යම් දුරකට අඩු වැඩි වශයෙන් පවතිනු දැක සිත සතුටු කරගන්නට හැකි විය. ඒ සරුංගල් යැවීමේ විනෝදාංශයයි. සිරිත් පරිදි අගෝස්තු මාසයේ කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම පටන්ගෙන ඇති බව අහස දෙස බැලූ විට පෙනේ.
සරුංගල් හැදීමත් සරුංගල් යැවීමත් දැනුම, සතුට, විනෝදය ගෙන දෙන කලාවකි. ළමයින් නැතහොත් වැඩිහිටියන් සරුංගල් හදනු බලා හිඳ අපි එය ඉගෙන ගත්තෙමු. එය පන්ති යවා ඉගැන්වූ කලාවක් නොවේ. පරපුරෙන් පරපුරට විනෝදාස්වාදය පදනම් කරගෙන ආ කලාවකි. පොඩි සරුංගල් හදන්නට පොල් ඉරටු ප්‍රමාණවත් වුවද, ලොකු සරුංගල් හදන්නට ඒවා මදිය. කොළඹ සමීපයේ ජීවත් වූ ළමයින් එදා උණ බට කෑල්ලක් සොයා ගත්තේ අමාරුවෙනි. බොහෝ විට සරුංගලයකට සුදුසු මඳක් වියළුණු උණ කොට කැබැල්ලක් සොයාගත හැකි වූයේ ගෙයක් සාදන හෝ ඉදිකිරීමක් සිදුවන වැඩබිමකිනි.
උණ පතුරෙන් පතුර සමබරතාව මැන බලා සරුංගලයේ දෙපසට එන උණ පතුර සකස් කරගත යුතුය. එම උණ පතුර සමබර විය යුතුමය. ද්‍රව්‍යවල සමබරතාව පිළිබඳව ඒ කාලයේ දරුවා මුලින්ම ඉගෙනගත් එක් අවිධිමත් පාඩමකි සරුංගල් සෑදීම. සරුංගලයේ දෙපැත්ත සමබර නොවුණහොත් අහසට ඉගිලෙන්නටත් කලින් සරුංගලය කූරියා ගසයි. සරුංගලයේ පහත ඉහළට වඩා බරින් වැඩි විය යුතුයි. එම බරෙහි නිසි ප්‍රමාණය සරුංගලයෙන් සරුංගලයට වෙනස් වෙයි. සරුංගලයේ සේරුව දැමීම ද සමබරතාව පිළිබඳ දැනුවත් කළ යුත්තකි. එහි සමතෝලය බිඳුණහොත් සරුංගලය කූරියා ගසන්නේ උඩ සිටය.
සරුංගලවලට පාට කොළ ඇලවීමේදී වර්ණ සංකලනය හා එහි කලාත්මක බව පිළිබඳ පාඩමක් ද අපි අවිධිමත් ලෙස උගත්තෙමු. කිසිම ළමයකු හැදූ පළමු සරුංගලය ඉහළ ගොස් උඩු සුළඟට ඇල්ලුවේ නැත. එම පරිචය වැරදි වැරදී ඉගෙනගත් දැනුමෙන්ම ගත යුත්තකි.

ඉස්සර කොළඹට ආසන්න ප්‍රදේශවල පවා ගෙවතුවල කොස් ගසක්, දෙල් ගසක්, පොල් ගසක් වැරදුණේ නැත. එබැවින් ගෙමිදුලවල සරුංගල් යැවීම කළ නොහැකි වූයේය. පිට්ටනියකට හෝ පුරන් වූ කුඹුරකට හෝ වෙරළට ගොස් පහසුවෙන් සරුංගල් යැවීම කළ හැකි වුවද එය නිතරම කළ නොහැක්කක් විය. සරුංගලය ඉහළට යවා ගන්නට අසීරු වුවද හොඳින් ඉඩ තිබුණේ මහ පාරේ හෝ අතුරු පාරවලයි. එහෙයින් බොහෝවිට සරුංගලය යවන්නට තෝරා ගත්තේ පාරයි. දැන් තරම් පාරවල වාහන නැතත් ඉඳහිට පාරේ යන වාහනවලින් සරුංගලයත් ජීවිතයත් දෙකම බේරාගත යුතු විය. ඉඩ තීරුවක් තිබෙන පාරේ පවා තවත් බාධක බොහෝය. පාරේ එක් පැත්තක වයර් කම්බි ඇත. ඇතැම් තැන්වල පාර හරහා විදුලි වයර් ඇත. (අනාවරණය වූ විදුලි කම්බි එකල පාරේ තිබුණේ නැත.) මේ සියල්ලම තිබියදී සරුංගලය උඩ යවා උඩු හුළඟට අල්ලා දෙන්නට අපි සමත් වීමු. ඇතැම්විට පාර හරහා ඇති වයර් උඩින් නූල් පන්දුව විසිකොට නූල ඒ මතින් දා ගතිමු. අපේ සරුංගල් කීයක් නම් වයර් කම්බිවල පැටලී වවුලන් මෙන් දිනෙන් දින දුර්වර්ණ වී නැසී යනු අපි බලා සිටියෙමුද? ඒවායින් අනිත්‍ය ගැන ප්‍රායෝගික පාඩමක් ද උගත්තෙමු. එකල අද තරම් නයිලෝන් නූල් සුළඟ ලෙස පහසු මිලට ගන්නට තිබුණේ නැත. වැඩිහිටි අය නම් ඒවා මිලට ගෙන සරුංගල් යැව්වද පොඩිත්තන්ට ගත හැකි වූයේ සත ගාණට විකුණූ නූල් පන්දුය.
ඇසට නොපෙනෙන සුළඟ හමා යන දිසාව පිළිබඳ අවබෝධයක් පමණක් නොව, සුළඟේ ප්‍රවේගය එය සතුව කෙතරම් බලයක් තිබේද යන්නත් අප ප්‍රායෝගිකව ඉගෙනගත්තේ සරුංගලයෙනි. පොළොවට සමීප හරියේ සුළං හමන ආකාරයත් උඩු හුළඟ පිළිබඳවත් අපි සරුංගලයෙන් දැනගත්තෙමු.
මෑතක සිට විදේශවලින් ගෙනෙන සරුංගල් අලෙවියට තබා ඇති ආකාරයත් ඒවා දරුවන් මිලදීගෙන අහසේ යවන විට දැනෙන්නේ වේදනාවකි. සරුංගල් සෑදීමේ සම්ප්‍රදාය අතින් කොළඹට ඇත්තේ වසර 200කට වඩා පැරණි ඉතිහාසයකි. දැනට යවන මාළුවා, මොණරා, සර්පයා වැනි සරුංගල් 1840දී පවා යැවූ බවට සාක්ෂි ඇත. එපමණක් නොව එකල පෙඩෙලාස් යනුවෙන් හැඳින්වූ සටන්කාමී සරුංගලයක් ද තිබිණි. ශබ්ද පිට කරන බටයක් ඇමුණූ මෙම සරුංගල් විශේෂය පසු කාලේ සටන්කාමී ගායකයන් හෙවත් “ගොවියමිස්” යනුවෙන් හැඳින්වූ බව ආර්. එල්. බ්‍රොහියර් ලියා ඇත. කොළඹ නගරයේ සරුංගල් යැවීම පිළිබඳ තොරතුරු රාශියක් ආර්. එල්. බ්‍රොහියර්ගේ Changing face of Colombo කෘතියේ ඇත. කොළඹ නගරයේ නව යොන් වීදියේ මුස්ලිම් ජනයා ඔට්ටුවට සරුංගල් යවා ඇති ආකාරද බෙහෙවින් රසවත්ය.
ආර්. එල්. බ්‍රෝහියර් හිටපු සර්වෙයර් ජනරාල්තුමා 1980 දී සිය දිවිමඟ නිමා කළේය. ඔහුගේ changing face of Colombo කෘතිය පරිවර්තනය කළ පද්මා එදිරිසිංහ මැතිණිය මෑතකදී මෙලොව හැර ගියාය. එම දෙපලට උපහාර පිණිස (කොළොම්තොට පුරාවත) පොතේ සඳහන් එක් කතාවක් ඉතා කෙටියෙන් මෙහිදී සඳහන් කරුණු වටී. මෙම කතාව ආර්. එල්. බ්‍රෝහියර් මහතාට ඔහුගේ සීයා විසින් කියන ලද්දකි. එය 1840 සිදුවීමකි. කතාව පටන්ගන්නේ මෙසේය.
“ඉතා දීප්තිමත්, සුළං සහිත දිවා කාලයක පිටකොටුවේ ගැටවුන් හතර දෙනකු සරුංගල් ද රැගෙන ක්වීන්ස් හවුස් පිටුපස සුපුරුදු ඉසව්වට පැමිණියේ විනෝදය සඳහාය. මේ හතර දෙනා නම්, පසුව රජයේ අද්වකාත් ධූරය හෙබවූ ලුයී නෙල්, පසුව ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්වුණු සී. එල්. ෆර්ඩිනන්ඩ්, ලුයී නෙල්ගේ සොහොයුරකු වූ ෆෙඩ්රික් නෙල් හා පසුව රජයේ නීතීඥයකු වශයෙන් මහනුවර කටයුතු කළ ජේ. බී. සීබල්ය.”

ඔවුන් සරුංගල් යැවූ විට සීබල්ගේ සරුංගලය කඩාගෙන ගොස් නවතින්නේ ආණ්ඩුකාරයාගේ නිල නිවසේ උද්‍යානයේ ගසක් මුදුනේය. එහි නූල එල්ලෙමින් තිබී ඇත. බොහෝ උත්සාහ ගැනීමෙන් හා කල්පනා කිරීමෙන් අනතුරුව සීබල් ආණ්ඩුකාරයාගේ පෞද්ගලික ආරක්ෂකයාට ලියුමක් ලියන්නේ කෙළින්ම ආණ්ඩුකාරයාට ලිපියක් ලියන්නට ඇති බිය නිසාය. පෞද්ගලික ආරක්ෂකයා ඔවුන්ගේ සිල්ලර බඩු කඩයට ඉඳහිට පැමිණි අයෙකි.
එම ලිපිය මෙසේය.
බෆ් බළකායේ කපිතාන්
ශ්‍රීමත් ආණ්ඩුකාර උත්තමයාගේ ඒ. ඩී. සී. වෙත.
මහත්මයාණෙනි,
ක්වීන්ස් හවුස් පෝටිකෝව ආසන්න ගසක මගේ අසරණ කුඩා සරුංගලය පැටලී කල් හරී. එය ඉවත් කිරීමට මට නොහැකිය. කරුණාකර ආණ්ඩුකාර උතුමාට මේ බව පවසා මගේ සරුංගලය හැකි ඉක්මනින් නිදහස් කර දෙන්න. එසේ කළහොත් මම ඔබට ඉතා කෘතඥ වෙමි. කරුණාකර එය කිංස් වීදියේ පිහිටි අංක 5 දරන මාගේ මාමාගේ සාප්පුවට භාර දෙන්න.
මේ ඔබේ විශ්වාසී ...................
පැය භාගයක් යන්නට මත්තෙන් එකී සිල්ලර බඩු කඩයට ලැස්කිරිඤ්ඤා භටයකු සරුංගලය රැගෙන එන්නේ ලිපියක් ද අතැතිවයි. එම ලිපිය මෙසේය.
“ඔබගේ ලිපිය ලැබිණි. ශ්‍රීමත් ආණ්ඩුකාර උතුමා එය කියවා සතුටට පත්විණි. ඔබගේ සරැංගලය නිදහස් කිරීමට ඔහු ආඥාවක් නිකුත් කළේය. එය මේ සමඟ එවමි. ඔබගේ සරුංගලය මීට වඩා හොඳ හැසිරීමක් දක්වමින් ක්වීන්ස් හවුස් වෙත නැවත පියාසර නොකරතියි ඔහු බලාපොරොත්තු වෙයි.”
ඉතිරි කොටස ලබන සතියට....
♦ සමන් පුෂ්ප ලියනගේ