පාසලකට දරුවකු ඇතුළත් කිරීම යනු අද දවසේ මව්පියන්ට ඇති දරුණුම හිසරදයකි. මේ සඳහා පවතින නීති රීති, දැඩි තරගකාරීත්වය ඇතුළු තවත් බොහොමයක් කරුණු හමුවේ අසරණ වන්නේ අන් කවරකුත් නොව මාපියන්ය. තම දරුවාට පාසලක් ලබාදෙන ලෙස ඉල්ලමින් එක්තරා අවස්ථාවක දී මවක් තම දරුවාද රැගෙන මහමඟට බසින්නේ මෙහි තවත් එක් පැතිකඩක් විදහා පාමිනි. එසේම එහි තවත් එක් අන්තයක් නම් මුදල්මය අල්ලස් ලබාදෙමින්, ව්‍යාජ ලිපි ලේඛන සකස් කරමින් දරුවන් පාසලකට ඇතුළත් කිරීම සඳහා ඇතැම් මාපියන් විසින් සිදුකරන වංචනික ක්‍රියායි.
කෙසේ වෙතත් මෙවරත් අනෙකුත් වසරවල පැවතියාක් මෙන්ම දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමෙහිලා අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇත. ඒ අනුව ජනප්‍රිය පාසල් 25කට පමණ අයථා අන්දමින් දරුවන් ඇතුළත් කර ඇති බවටද තොරතුරු ලැබී ඇත. කොළඹ රාජකීය විද්‍යාලයේ පමණක් මෙලෙස පාසල්වලට ඇතුළත් වූ සිසුන්ගේ සංඛ්‍යාව 31ක් වන අතර එම දරුවන් ඇතුළත් කර ගැනීම මේ වනවිටත් අත්හිටුවා ඇත. මේ අතර ලංකා ගුරු සංගමය චෝදනා කරන්නේ රාජකීය පාසලේ සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටවුවද චෝදනා ලද වෙනත් පාසල් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මේ දක්වා පැහැදිලි කොට නැති බවයි.
රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පැවති රජයෙන් සේම පවතින රජයත් අවස්ථා ගණනාවකදීම විවිධ වූ උපක්‍රම හඳුන්වා දී හා හඳුන්වා දෙමින්ද ඇත. විශේෂයෙන්ම පාසල් පද්ධතිය ගත් විට එහි සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම සාකච්ඡාවට බඳුන් කෙරිණි.
ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ රජය මගින් පාලනය කෙරෙන, අර්ධ වශයෙන් රජය මගින් පාලනය කෙරෙන හා අන්තර් ජාතික පාසල් ලෙස වන සියලුම ආකාරයේ පාසල් ඇත. මේ පාසල් අතරින්ද ඉහළම මට්ටමේ වත්පොහොසත්කම් වලින් හෙබි පවුල්වල දරුවන් බෙහොමයක්ම අධ්‍යාපනය ලබන්නේ අන්තර් ජාතික පාසල්වලය. ඒ ඒ ප්‍රදේශයන්හි සාමාන්‍ය පවුල්වල දරුවන් ගන්නේ තම තමන්ගේ ප්‍රදේශයහි පිහිටි පාසල්වලටය. ඒවායෙහිද තරගකාරීත්වයක් නොපවතින අතර අද වනවිට වැඩිම තරගකාරීත්වයක් නිර්මාණය වී ඇත්තේ ජනප්‍රිය පාසල්වලටය. මෙම ජනප්‍රිය පාසල් ගණන සීමාසහිත වන අතර ශිෂ්‍යත්වයෙන් සමත් වීම හෝ කුමන හෝ ආකාරයකින් බොහෝ දෙනාට අවැසි වන්නේද ජනප්‍රිය පාසල් කරා තම දරුවන් ඇතුළත් කර ගැනීමටය.
පසුගියදා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය හා අධ්‍යාපන ඇමැතිවරයා අතර ගැටලුකාරී තත්ත්වයක් මතුවූයේද පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ ගැටලුව දුරදිග යාමත් වශයෙනි. වෛද්‍ය සංගමයේ ඉල්ලීම්වලට අධ්‍යාපන අමාත්‍යංශයේ ඇහුම්කන් නොදීම හමුවේ අධ්‍යාපන අමාත්‍යංශයට වැදී උද්ඝෝෂණයක නිරත වීමට පවා වෛද්‍ය සංගමය මගින් කටයුතු කළ අතර මේ සියලු කාරණා හමුවේ අධ්‍යාපන අමාත්‍යංශය පැත්තෙන් ක්‍රියාත්මක වූයේ දැඩි ප්‍රතිපත්තියකි. වෛද්‍ය සංගමයේ ඉල්ලීම් අමාත්‍යංශය මගින් විවිධ කාරණා ඉදිරිපත් කරමින් ප්‍රතික්ෂේප කළ අතර වෛද්‍යවරුන්ගේ දරුවන්ට පමණක් නොව රටේ සෑම දරුවකුටම හොඳ පාසලක ඉගෙනීමට අයිතියක් ඇති බවද පැවසීය. මෙහිදී මෙම තීරණයට විරුද්ධ වූ පාර්ශ්ව පෙන්වා දුන්නේ පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී විශාල වශයෙන් මුදල් ගනුදෙනු සිදුවන අතර මෙලෙස වෛද්‍යවරුන්ගේ දරුවන් නොගන්නේ එම පුරප්පාඩුද මුදලට විකිණීමේ බලාපොරොත්තුව මත බවය.
මේ අතර 2017 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේදී අක්‍රමිකතා හා දූෂණ සිදුවී ඇති බවට පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයාද ප්‍රකාශයක් නිකුත් කර තිබේ. වංචනික ලෙස ලිපි ලේඛන සකස් කළ පුද්ගලයන් හට තම දරුවන් වෙනත් පාසල් පාසල්වලට ඇතුළත් කිරීමට සිදුවනු ඇති බවද පැවසූ ඒ මහතා පැමිණිලි ලැබී තිබෙන පාසල් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවද පැවැසීය. පල්ලි, ව්‍යාපාරික ස්ථාන, තානාපති කාර්යාල, ඉදිවෙමින් පවතින ගොඩනැගිලි, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිවෙසේ ලිපිනය මෙන්ම පදිංචියට කිසිසේත් නුසුදුසු ස්ථානයන්හි ලිපින යොදා ඇතැමුන් රාජකීය විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමට උත්සාහ කර ඇති බවත්, මාරුවීම් පදනම් මත ඇතුළත් කර ඇති අයගෙන් 6 දෙනකු ඉදිරිපත් කර ඇත්තේද අසත්‍ය වාර්තා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම විදුහල්පතිවරුන්ටද තවත් පාර්ශ්වයන්ටද චෝදනා එල්ලවූ අතර එක්තරා අවස්ථාවක ඒ සඳහා මවකට ලිංගික අල්ලසක් ලබාදීමට සිදුවූ ආකාරය පිළිබඳව මාධ්‍ය ඔස්සේ අනාවරණය කෙරිණ. ඒ අතරම මීට දින කිහිපයකට ඉහත දී ජනප්‍රිය බාලිකා පාසලකට ඇතුළත් කරදෙන බව කියමින් මාපියන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත. ආරක්ෂක අංශයේ ප්‍රධානියකු ලෙස පෙනී සිටිමින් මාපියන්ගේ විශ්වාසය දිනාගන්නා මෙම පුද්ගලයා දෙමාපියන් හමුවේ පවසා ඇත්තේද එසේ ලබාගන්නා මුදල් අදාළ විදුහලේ විදුහල්පතිවරියට ලබාදෙන බවයි. එහෙත් මේ පිළිබඳව අප කළ විමසා බැලීමේදී විදුහල්පතිවරිය මෙවැනි පුද්ගලයකු නොහඳුනන බවත් අදාළ පුද්ගලයා වසර ගණනාවක් තිස්සේ මෙම කූඨ ව්‍යාපාරය කරගෙන ගොස් ඇත්තේ විවිධ වූ උපක්‍රමයක් භාවිත කිරීම මගින් බවත් දැනගත හැකි විය. අගනුවර ප්‍රධාන පෙළේ පාසල් සඳහා රුපියල් විසිලක්ෂයක් වැනි මුදලක් වුවද වැයකිරීමට දෙමාපියන් සූදානම් බවද අපට දැනගන්නට ලැබුණේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් මගිනි.
කෙසේ වෙතත් මෙවර මතුවී ඇති ගැටලුව සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගෙන්ද අප කරුණු විමසීමක් කළෙමු.
ලංකාවේ පාසල් 10222ක් තියෙනවා. ඒකෙන් ජාතික පාසල් 350ක් තියෙනවා. නමුත් ලංකාවෙ දරුවන් ඇතුළත් කිරීම පිළිබඳව අර්බුදයක් තියෙන්නේ අති ජනප්‍රිය පාසල් 36ක. මේ ඇත්තටම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන දැවන්ත අර්බුදයක්. එය කොතරම්ද කියනවානම් 2015 ජනවාරි 8 වැනිදා බලයට පත්වුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළේ 57 වැනි අංකයෙත් තිබුණේ ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් සඳහා කියලා. නමුත් එහෙම වැඩපිළිවෙළක් නිර්මාණය කරලා නෑ.
පාසල් පද්ධතිය තුළ පිළිගැනීමේ වෙනස්කම් ඇතිවීමට බලපාන හේතුව තමයි 1943 ගෙනාව කන්නන්ගර ප්‍රතිපත්තියයෙන් පසුව ලංකාවේ අධ්‍යාපනය සමානව තීන්දු කිරීමට නොහැකි වීම. ඒ විෂමතාවයන් තුළ තමයි පිළිගැනීම් හා වටිනාකම් තීරණය වන්නේ. මේකෙදී මිනිසුන් විවිධ කූඨ උපක්‍රම යොදා ගනිමින් දරුවන් පාසල්වලට ඇතුළත් කරන්නට කටයුතු කරනවා. මේක ලොකු ප්‍රශ්නය. ඒකේ ඒකේ ප්‍රතිඵල තමයි දැන්මේ පෙනෙන්නට තියෙන්නේ.
මෙවර ගැටලුවේදී රාජකීය විද්‍යාලයත් වගේම තවත් පාසල් පහළොවක පමණ වංචාවල් සිදුවෙලා තිබෙනවා කියලා අධ්‍යාපන අමාතංශ්‍යය කියනවා. ඒ වගේම රාජකීය විද්‍යාලයේ ඇතුළත් කිරීම් අත්හිටවූ දරැවන් 31 දෙනා වෙනුවට ඇතුළත් කරන්නේ කවුරුද කියලා අමාත්‍යංශයෙන් පැහැදිලි කරලා නෑ. ඒක විශාල ගැටලුවක්. ඊට අමතරව මෙම සිද්ධියේදී වංචා කරපු අයට දෙන දඬුවම සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් නෑ. අනෙක් පාසල් පහළොවට වෙන්නෙ මොකක්ද කියලත් නෑ.
මේ සියලු අර්බුදවලට විසඳුම් ලබාදීම වහාම සිදුකළ යුතුයි. 2007 වසරේ ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති පෙත්සම් විභාගයෙන් පසු මහාචාර්ය ඒ.වී. සුරවීර මහතාගේ සභාපතිත්වයෙන් පැවති ජාතික අධ්‍යාපන කොමිසම් ජනප්‍රිය පාසල්වල 1-5 ශ්‍රේණි ඉවත් කළ යුතු බව යෝජනා කළා. 1-5 ශ්‍රේණි ඉවත් කිරීමෙන් පසු ජනප්‍රිය පාසල්වල 6 ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා තරග විභාගයක් පැවැත්වීමෙන් දූෂණයෙන් තොරව ළමුන් ඇතුළත් කරගැනීමේ හැකියාවද ලැබෙන අතර එය සාධාරණ ක්‍රමවේදයක් බවද ලංකා ගුරැ සංගමයේ අදහසයි.
♦ හේමමාලා කුමාරී රාජකරුණා