2017 ජනවාරි 28 වන සෙනසුරාදා

ජනපතිවරුන්ගේ කඩවුණු පොරොන්දු

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 05:00 188

 

මේ ඇරඹී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ පාලනයේ තුන්වැනි අවුරුද්දය. දෙවසරක ගෙවුණු කාලය එසේත් නැතිනම් තෙවැනි අවුරුද්දේ ආරම්භය සලකා ආණ්ඩුව බී.එම්.අයි.සී.එච්. හි උත්සවයක් ද සංවිධානය කර තිබුණේය. උද්වේගකර දේශපාලන කතා වාගේම විචිත්‍රවත් නැටුම්වලින්ද අලංකාරව තිබූ මේ උත්සවය දැකීමෙන් පසු ජනතාගේ තුළ විශේෂයෙන්ම මෛත්‍රී පාලනයක් උදෙසා ඡන්දය දුන් ඡනතාවගේ හිතට කුහුලක් නැගෙනු වැළැක්විය නොහැක්කකි. ඒ මෛත්‍රීපාල සිරිසේන නම් වූ ජනාධිපතිවරණ අපේක්ෂකයා රටේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගැනීමෙන් පසු ගතවුණු දෙසවරක කාලය තමන්ට තෘප්තිමත් විය හැකි ද යන්නය. 

මෙම කුහුල නැතහොත් හැඟීම හුදෙක් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට පමණක් අදාළ නොවන්නකි. මීට පෙර ආසන්නම ඉතිහාසයේ රටේ නායකයන්, විධායක ජනාධිපතිවරුන් වූ ජූනියස් රිචඩ් ජයවර්ධන, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, පර්සි මහේන්ද්‍ර රාජපක්ෂය යන අයට ඡන්දය දුන් නුදුන් ජනතාව තුළ ද ඇතිවුණු හැඟීම් ය. (විජේතුංග ජනාධිපතිවරයා මේ ලැයිස්තුවෙන් අත්හළේ මන්ද යන කාරණය තව මොහොතකින් පැහැදිලි වනු ඇත) 
නිදහසෙන් පසු ලංකාවේ මෙතෙක් දේශපාලන ඉතිහාසය දෙකට බෙදා දක්වන්නයැයි ඉල්ලීමක් ඉදිරිපත් වුවහොක් වර්ෂයක් ලෙස ඊට පහසුම තැන 1978 වන බවට සැක නැත. කෝල්බෘක් කැමරන් යුගයේ සිට සෝල්බරි යුගය, මැතිනියගේ ජාතික රාජ්‍ය සභාව දක්වා වෙස්ට්මිනිස්ටර් උරුවකට පුරුදු වුණු ලංකාවේ පාලනතන්ත්‍රය විශාල වෙනසකට බඳුන් වන්නට පටන් ගත්තේ 78 ව්‍යවස්ථාවත් සමඟය. මුළු රටම එකම ඡන්ද කොට්ඨාසයක් වී විධායක ජනාධිපතිවරයෙක් බලයට පත් කරගන්නා තැනකට ගමන් ගත් අතර ඒ සමඟම අතරින් පතර ආණ්ඩු පෙරළිවලට අවසර අවම වී ස්ථාවර ආණ්ඩු බලයට එන යුගයක් නිර්මාණය වූයේය. මේ නිසාම ජනාධිපතිවරණය යනු රටේ ප්‍රධානම මැතිවරණය බවට ද නිසඟයෙන්ම පත්විය. 

ජනාධිපතිවරණය ආකර්ෂණීය සහ රටේ දේශපාලනයට වැදගත්ම බලපෑම එල්ල කරන මැතිවරණය වූ නිසාම ජනාධිපතිවරණ පොරොන්දු පිළිබඳ පෙර නොවූ විරූ අවධානයක් ජනතාව තුළ විය. ලංකාවේ පළමු චිත්‍රපටය වූයේ කඩවුණු පොරොන්දුවය. සිනමාවත් දේශපාලනයත් අතර යම් ජානමය බැඳීමක් ඇත්දෝයි සිතෙන්නේත් ඒ නිසාමය. කෙසේ වෙතත් කඩවුණු පොරොන්දු රාශියක් මැද ඉටු වුණු පොරොන්දු කිහිපයකද ප්‍රතිඵල රැගත් ජනාධිපතිවරණ හතක් මේ දක්වා පවත්වා තිබේ. ඒ සෑම ජනාධිපතිවරණකදීම ජනාධිපති ලෙසට පත්වූ තැනැත්තා හෝ තැනැත්තිය එසේ පත්වූයේ මහ ජනතාවට පොරොන්දු කන්දක් ලබාදෙමිනි. මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා තුන්වැනි වසරට පා  තබන මේ මොහොත මෙතෙක් ජනාධිපති පුටුවේ සිටි අය දුන් පුටුවට එන්නට පෙර දුන් පොරොන්දු ගැන මතකාවර්ජනයකට කදිම අවස්ථාවක් ද වනු ඇත. (විජේතුංග ජනාධිපතිවරයා ගැන ඉහත සඳහන් නොකළේ, ඔහු ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවූ නිසාවෙනි)

ජේ.ආර්. 77දී මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුව කුඩු පට්ටම් කරගෙන බලයට පැමිණියේ ධර්ම රාජ්‍යයක් බිහි කරන බව කියමිනි. ධර්ම රාජ්‍යය තමන්ගේ ප්‍රධානම සංකල්පයක් වෙද්දී ආහාර අහේනියකට රට පත්ව සිටි නිසාම ධාන්‍ය රාත්තල් අටක් ජනතාවට දෙන බවට ඔහු දුන් පොරොන්දුව ඉතාම ජනප්‍රිය පොරොන්දු වී යැයි කීම සාධාරණය. අඟහරුවාදාත් සිකුරාදාත් බත් කෑම තහනම් වී සිටි, දිනකට පාන් බාගයකට වඩා කෑම තහනම් සිටි ජනතාවකට ධාන්‍ය රාත්තල් අටක් යනු කෙබඳු පොරොන්දුවක් වී දැයි අමුතුවෙන් කිව යුතු නැත. ඔහුට නිකම්ම නිකම් ජයග්‍රහණයක් වෙනුවට හයෙන් පහක බලයක් ජනතාව ලබාදුන්නද ජනතාවගේ ධාන්‍ය රාත්තල් අටේ සිහිනය සැබෑ නොවුණි. මෙනිසාම ජවිපෙ රට පුරා පෝස්ටරයක් ඇලවූයේ, “කූපන් පොත ඉවරයි; ඇට අට කෝ යකෝ!” ලෙසිනි. 

ධාන්‍ය අටේ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු නොකළද ඔහු පොරොන්දු වූ පරිදි විවෘත ආර්ථිකයක් ඇති කළේය. ඒ හරහා ආහාරපාන මෙන්ම වෙනත් සේවා සඳහාද ඇති ඉඩකඩ පුළුල් විය. පෞද්ගලික අංශය ප්‍රසාරණය විය. ජේ.ආර්. තව හොඳ වැඩ රැසක් ද කළේය. මහවැලිය හදා රටට බතත් විදුලියත් සැපයුවේ ය. රූපවාහිනිය රටට ගෙනාවේය. යම් යම් දේශපාලන තීන්දු තීරණ රැසක්ද ගත්තේ ය. එහෙත් ඔහු පොරොන්දු වූ ධර්මිෂ්ඨ රාජ්‍යය බිහිකරන්නට ඔහු අසමර්ථ වූ බව නම් නොකියා බැරිය. 83 කළු ජූලිය ධර්මිෂ්ඨ සමාජයක් ගැන තිබූ බලාපොරොත්තුවේ අවසන් හුස්මද පහතට හෙළන්නක් විය. 

ජේ.ආර්. ගෙන් පසු බලයට ආවේ, රණසිංහ ප්‍රේමදාස ය. ඔහු බලයට එද්දී දුන් ප්‍රධානම පොරොන්දුව වූයේ රටේ දුප්පත්කම දුරලන බවය. කෙසේ වෙතත් ඔහු කියූ ලෙස ම ඊට වැඩසටහනක් ඉදිරිපත් කළේය. බංගලාදේශයේ ග්‍රාමීන් ක්‍රමයේ ආදර්ශය අනුව පෙළගැස්වුණු එම වැඩසටහන ජනසවිය ලෙස නම් කෙරිණ. පසුකාලීනව සමෘද්ධි, දිවිනැගුම වී නැවතත් සමෘද්ධි ලෙස නම් කෙරී ඇත්තේද එම ව්‍යාපාරයමය. ඔහු තමන්ගේ දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන ඉදිරිපත් කළේ රසවත් ආකාරයට ය. “අපි සෙරෙප්පු නැති අයට සෙරෙප්පු දෙනවා. සෙරෙප්පු දාන අයට සපත්තු දෙනවා. සපත්තු දාන අයට මේස් එක්ක සපත්තු දාන්න අවස්ථාව සලසනවා”. ඔහු කීය. 

මෙතෙක් ජනාධිපති පුටුවට පැමිණි එකම කාන්තාව වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග බලයට ආවේම විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව ශපථ කරමිනි. 94දී ජවිපෙ තමන්ගේම ජනාධිපතිවරණ අපේක්ෂකයකු පවා ඉදිරිපත් නොකරමින් ඇයට සහාය දුන්නේ මෙම පොරොන්දුව නිසාය. 94දී චන්ද්‍රිකාගේ ඡන්ද පොරොන්දුවක් ලෙස කරළියට පැමිණි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නැවතත් 1999 ජනාධිපතිවරණ වේදිකාවේ ඇය විසින්මත්, 2005  ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසිනුත්, 2015 දී මෛත්‍රීපාල සිරිසේන විසිනුත් ඉදිරිපත් වූවකි. 

චන්ද්‍රිකාගේ ආකර්ෂණීයම ඡන්ද පොරොන්දුවක් වූයේ 3.50ට පාන් දීම ය. 1977දී එජාපය බලයට එන විට සත 75ට තිබුණු පාන් රාත්තලක මිල 1994දී චන්ද්‍රිකා රට භාරගන්නා විට රුපියල් 5.50ක් විය. රුපියල් දෙකකින් පාන් ගෙඩියක මිල අඩුවනු දැකීමට රිසි වූ ජනතාව ඇයට ඡන්දය දුන්හ. දුන් පොරොන්දුව ඉටු කරමින් ඇය බලයට පැමිණි වහාම පාන් මිල 3.50 දක්වා අඩු කළාය. එහෙත් වසරකට පසුව පාන් මිල ඉහළ යන්නට පටන් ගත්තේය. 

94ට පෙර පැවැති පාලනය තුළ දූෂණ අක්‍රමිකතා පිළිබඳ චෝදනා රැසකින් ද පිරී තිබුණු කාලයක් විය. මෙම දූෂණ වංචා සියල්ල ගැන තමන් බලයට ආ විගස පරීක්ෂණ පවත්වන බව චන්ද්‍රිකා ජනාධිපතිවරණ වේදිකාවේදී පැවසුවාය. දූෂණ කළවුන් ගෝල්ෆේස් පිටියට ගෙනැවිත් දඬුවම් කරන බව ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාය. භිෂණය සහ දූෂණය තුරන් කරන බව ඇයගේ ජනප්‍රිය සටන් පාඨයක් විය. එහෙත් සිදුවුණු මහා පරිමාණ දූෂණ හෙළිදරව්වක් හෝ වැරදිකරුවන්ට දඬුවම් දීමක් නම් නොමැත. 

ඇය ඉදිරිපත් කළ ජනප්‍රිය සටන් පාඨ අතර ට එක්වන තවත් අමතක නොවන පාඨයක් වන්නේ, විවෘත ආර්ථිකය ට මානුෂීය මෙහෙවරක් දීම යන්න ය. එහෙත් එවැන්නක් වූවා ද යන්න නම් සැක සහිතය. 

2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙන්නේ, යුද්ධය අවසන් කරන බවටත් විධායක ජනාධිපති ධූරය අවසන් කරන බවටත් ජනතාව ඉදිරියේ පොරොන්දු වීමෙන් අනතුරුවය. මීට පෙර ජනාධිපතිවරුන් ද එල්ටීටීඊය හා පැවැති ගැටුම් නිමාවට පත් කරන බවට පොරොන්දු දුන්න ද ඒවා ඉටු කරන්නට සමත්වූ ජනාධිපතිවරයා වූයේ මහින්ද රාජපක්ෂ බව කිව යුතුය. එහෙත් පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා වෙනුවට ඔහු එය තවතවත් ශක්තිමත් කිරීම පසුකාලීනව ඔහුට එරෙහිව නැඟුණු විශාල චෝදනාවක් විය. රුපියල් 350 පොහොර සහනාධාරය නම් මහින්ද රාජපක්ෂ තම පාලන කාලය පුරාවට ම ආරක්ෂා කළ පොරොන්දුවක් විය. 

2010දී මහින්ද චින්තන ඉදිරි දැක්ම ඉදිරිපත් කරමින් දෙවැනි වරටත් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේය. එහි ප්‍රධාන ලෙසම සඳහන් වූයේ ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කරන බවය. ඒ පංච බල කේන්ද්‍රයක් බවට ලංකාව පෙරළමිනි. 2010දී ඔහු විධායක ජනාධිපති ධූරය භාරකාර ජනාධිපති ධූරයක් කරන බවට ද පොරොන්දු වූයේය. 
2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පුටුවට පැමිණෙන්නේ, විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට, විශේෂයෙන්ම 18 වැනි සංශෝධනය අහෝසි කරන බවට නව ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කරන බවට ආදී වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදීමය පියවර රැසක් යෝජනා කරමිනි. විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමක් මෙතෙක් සිදු නොවුණද 18 වැනි සංශෝධනය අහෝසි කිරීමේ පොරොන්දුව ඉටු කෙරිණ. ඒ හා සමඟම විධායක ජනාධිපති ධූරයේ බලතල කැපී පෙනෙන ලෙස අඩු කිරීමේ ප්‍රයත්නයක් තිබුණද ‍ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත එය වැළැක්විණ. කෙසේ වුවද දැන් පැවැසෙන්නේ 2020දී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප අපේක්ෂකයා වන බවකි. ඒ අනුව විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම තවදුරටත් කඩවුණු පොරොන්දුවක් වශයෙන්ම පවතින ලකුණු පහළ වෙමින් තිබේ.

බලයට පත්වූ ජනාධිපතිවරුන් අතර ආර්. ප්‍රේමදාස බලයට පැමිණ වසර හතරක් ඉක්ම යන විට ඝාතනය ට ලක්වීමත් මහින්ද රාජපක්ෂට දෙවැනි වරදී වසර දෙකක් ඉතිරිව තිබියදීම බලය අහිමි වීමත් නිසා ඇතැම් පොරොන්දු ඉටු කිරීමට කල් ප්‍රමාණවත් නොවූ බව කිව යුතු ය. එලෙසම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටද තවත් වසර 03ක් තමන් රටට වුණු පොරොන්දු ඉටු කිරීමට කල් ඉතිරි ව තිබේ. 

කාලය වේගයෙන් ඉගිල යමින් තිබේ. පොරොන්දුවලටද එම වේගය ආරෝපණය නොවුණහොත් දේශපාලනයත් ලංකාවේ කුළුඳුල් චිත්‍රපටයත් අතර තිබෙන සම්බන්ධය තව තවත් තහවුරු වනු ඇත. 

රජිත ජාගොඩ ආරච්චි