රෙජීමය
ඔන්න මා උඩ දමයි
ගුවනට ම විසිකරයි
ඉලව්වේ කියාගෙන
වැටෙන කොට
දෝතින් ම මා වඩාගෙන නටයි
රෙජීමය ආදරෙන් තොත්තු දෙයි
නළල සිඹ සුබ පතයි
කරකවා අත අරියි
බඹරෙ වගෙ කැරකිලා
හතර ගාතෙන් මාව වැටුණා ම
ආයෙමත් වඩාගෙන
දෙකොපුලට තොත්තු දෙයි
බඩගිනිව
මා හඬන විට හනික
බෝතලේකට සූප්පුව ගසා
බොරතෙල් ද කළුතෙල් ද මට පොවයි
උගුර ගාවට ම බී ඉස්මුරුත්තා හැදී
මා හඬන මොහොතේ ම
හනික මා වඩාගෙන ආදරෙන්
පිටට තට්ටුව දදා ගුඩුස් ඇර
දේශාභිමාන ගීයක් කියයි
දවල් මට පස් කවයි
රෑට ටකරං කවයි
බැදපු චීනච්චටිටි ගිල්ලා ම
ඇල්වතුර නිවා මට බොන්න දෙයි
බේසමේ නාන කොට
වැලි කොළෙන් පිටේ කුණු අතුල්ලයි
හෙළුවැල්ලෙ දුවන කොට
පොලිතීන් ජංගි මට අන්දවයි
කඩදාසි ඔටුන්නක් හිස තියා
පාන් පිටි පුයර මුහුණේ උලයි
පපුව
අත ගගා මං
කහිනකොට
භූමිතෙල් අල්ලක් ම උල උලා
ඉතිපිසෝ ගාථාව
බොහෝ බැතියෙන් කියයි
රෙජීමය
එරමිණිය ගොතාගෙන
මා උකුලෙ තියාගෙන
වඳිනකොට
අපට ටී වී සාධු බණ කියයි
ෂෝට් කට් නිවන් මඟ කියා දෙයි
රෙජීමය
ඔන්න මා උඩ දමයි
කරකවා අත අරියි
දෙකම්මුල් රතු වෙන්ට
උම්ම දී
බුරිය ළඟ කිති කවයි
මට හරිම සනීපයි
කුමාර හෙට්ටිආරච්චි
සඳ කත් මිණි ගඟුල පත්ලෙ - 2012