
හාල් - පොල් - එළවළු මිල වැඩිවීම කාලගුණය පිට දාන්න බෑ
අසාධාරණ මිල වැඩිවීම් ඇයි පාලනය කරන්න බැරි?
රටේ ජනතාවගේ ජීවන වියදම පහළ හෙළන බවට මෙතෙක් පත්වූ විවිධ ආණ්ඩු පොරොන්දු වුවද දක්නට ලැබෙන සත්‍ය නම් දිනපතා ජීවන වියදම ඉහළ නැගීමය. එම තත්ත්වයෙන් ගම්‍ය වන්නේ ජීවන වියදම පහළ දැමීමට පාලකයන් ගත් විවිධ පියවරවලින් සාර්ථක ප්‍රතිඵලයක් නොමැති වූ බවයි. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ පාරිභෝගික භාණ්ඩවල මිල අසීමිතව ඉහළ යාම නිසා, සීමිත ආදායමකින් ජීවත් වන වැඩි දෙනෙක් විපතට වැටී ඇත. මාසයට ලැබෙන වැටුපෙන් මාසය ගත කිරීමට අපොහොසත් වීම නිසා නිරතුරුව ණය ගැනීමට ඔවුන් පෙළඹවී ඇති බවක් පෙනෙන්නට ඇත. එහෙත් මෙලෙස ලබාගත් ණය වුවද යළි ගෙවාගත නොහැකි වීම නිසා ඔවුහු කබලෙන් ලිපට වැටී සිටිති.
ජනතාව වැඩි කොටසකට සිදුව ඇත්තේ කෑම බීමට පමණක් මුදල් වැයකිරීමට නොවේ. වෙනත් අත්‍යවශ්‍ය දේ සඳහා ද වියදම් කිරීමට ඔවුන්ට සිදුව ඇත. වැඩිදෙනා පවසනුයේ ආහාරවලට අමතරව සෙසු කාර්යයන් සඳහා වැය කළ යුතු මුදල අසීමාන්තිකව වැඩිවීම විශාලම ගැටලුව බවට පත්ව ඇති බවය. කෑම බීමට අමතරව බෙහෙත් හේත්, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, අධ්‍යාපනය, ගමන් බිමන්, විනෝදය හා සෙසු සමාජමය අවශ්‍යතා සඳහා බෙහෙවින් මුදල් වැයකිරීමට සිදුව තිබීම විශාල ගැටලුව වී තිබේ. අසනීපවලට බෙහෙත් ගත යුතු අතර ඒ සඳහා වියදමද පසුගිය සමයේ විශාල ලෙස වැඩි විය. දරුවන්ගේ අධ්‍යාපන වියදම්ද පවුලේ සාමාජිකයන්ගේ ඇඳුම් පැළඳුම් සඳහා කළ යුතු වියදම්ද දිනපතා අඛණ්ඩව වැඩි වේ. එසේම ගමන් බිමන් හා ප්‍රවාහන වැයද ඉහළ ගොස් තිබෙන පසුබිමක පොදු වාහනවලින් ගමන් කළද ඒවාට වැය කළ යුතු මුදල් පසුගිය සමයේ අසීමාන්තිකව ඉහළ ගියේය. එසේම අත්‍යවශ්‍ය සමාජ අවශ්‍යතා, මංගල, අවමංගල්‍ය කටයුතු, උත්සව, ආධාර හා පුණ්‍ය කටයුතු ආදී වියදම්වලින් වැළකී සිටීමට ඔවුන්ට නොහැකිය.
මෙම සෑම අංශයකම අධික වියදම නිසා වැඩිදෙනා ජීවත් වන්නේ කාටත් පැවසිය නොහැකි වගකීම් රැසක් හිස මත දරාගෙනය.
මෙයට පෙර එක්තරා දේශපාලනඥයෙක් රුපියල් 2500 කින් පවුලකට මාසිකව ජීවත් විය හැකි බවට විවිධ තර්ක ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව තුළද, ඉන් පිටතද කෑගැසුවා අපට මතකය. දේශපාලන වාසි තකා මෙවැනි විහිලුවට ලක්වන ප්‍රකාශ නිකුත් කළද අද ජනතාවට රුපියල් 2500 ප්‍රමාණවත් වන්නේ දවසක් ජීවත් වීම සඳහාය.
ඒ බව සනාථ වන්නේ පසුගියදා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ අලුත්ම සංඛ්‍යාලේඛන අනුව 2018 අප්‍රේල් වන විට නගරයේ හතරදෙනකුගෙන් යුතු පවුලක මාසික පාරිභෝජන වියදම රුපියල් 39,493කට නැග තිබීම නිසාය. 2013 වසරේ අප්‍රේල්වල මෙම වියදම රුපියල් 32,142 ක්ව තිබී ඇති අතර අලුත්ම ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2018 අප්‍රේල් වන විට රුපියල් 7351කින් ඉහළ ගොස් ඇත.
මෙම ජාතික පාරිභෝගික මිල දර්ශකය සඳහා දෙපාර්තමේන්තුව මගින් 2015 ඔක්තෝබර්වල සිට දින 21කට වරක් මෙම දත්ත ඉදිරිපත් කරයි. 2017 ජනවාරිවල සිට 2013 වසරට පදනම්ව කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල ජීවන තත්ත්වය මැනීම සිදුකරමින් පවතී. 2013 වසර පදනම් කරගෙන කොළඹ නාගරික ප්‍රදේශවල පවුල්වල මුළු පාරිභෝජන වියදම් මැනීම කරගෙන එයි. ඒ අනුව විවිධ අවශ්‍යතා සඳහා හතරදෙනකුගෙන් යුතු පවුලක කටයුතු දැරීමේදී සිදුකරන වියදම් පිළිබඳ බර තැබීමක් සිදුකර ඇත.
පවුලක් සිදුකරන වියදම් ප්‍රධාන කොටස් හතරකට බෙදා තිබේ.
1. ආහාර ද්‍රව්‍ය සඳහා කරන වියදම්
2. ආහාර ද්‍රව්‍ය නොවන දේ සඳහා වියදම්
3. නේවාසික හා ගෘහ සේවකයන්ගේ වියදම්
මේ සඳහා විවිධ පුද්ගලයන්, සෑම අංශයක්ම ආවරණය වන පරිදි සැලකිල්ලට භාජනය කර ඇත. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මේ සඳහා ජාතික පාරිභෝජන පැසක් (National Consumer basket) නිර්මාණය කර ඇති අතර එයින් මුළු දිවයිනේම ගෘහවාසීන් පාවිච්චි කරන භාණ්ඩ 407 පිළිබඳව ඇගයීමක් කර ඇත. දිස්ත්‍රික්කවල නගර පදනමින් මේ සඳහා මිල ගණන් තුනක් ලබාගනී. ඇතැම් ද්‍රව්‍ය එනම්, මාළු, සහල්, එළවළු, පළතුරු, පොල් ආදිය පිළිබඳ මිල ගණන් සතිපතා එකතු කරයි. කුළුබඩු, ධාන්‍ය, කරවල ආදියේ මිල ගණන් සතියකට දෙවරක් ලබාගන්නා අතර ඇගලුම්, සබන්, සෝදන කුඩු ආදී පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් මාසිකව එකතු කරයි. එසේම ලී බඩු, ලොන්ඩරි සේවා ආදී කාණ්ඩවල දත්ත ලබාගන්නේ කාර්තු වශයෙනි. මෙලෙස ලබාගන්නා සියලු දත්තයන් සමාලෝචනය කර එහි සාමාන්‍ය තත්ත්වය සලකා බලා අගය නිර්ණය කෙරේ.
දෙපාර්තමේන්තුව 2018 අප්‍රේල්වල අගය මසින් මස සලකා බැලූ විට 2018 මාර්තුවලට වඩා 2018 අප්‍රේල්වල සියයට 0.1කින් අගය වැඩිවී ඇති බව අනාවරණය කරගෙන තිබේ. මාර්තුවල 122.8 වූ අගය අප්‍රේල්වලදී 122.9 දක්වා ඉහළ නැග ඇත. මෙම සියයට 0.1 වැඩිවීම භාණ්ඩ පැසේ වියදම් අගය රුපියල් 6.93කින් ඉහළ නැංවීමට සමත් වී ඇත. 2017 අප්‍රේල්වල මෙය පැවතියේ 121.0 වශයෙනි. 2018 අප්‍රේල්වල භාණ්ඩ පැසට අඩංගු ප්‍රධාන ආහාර වර්ග 12කින් සැලකිය යුතු වෙනස්කමක් සිදුවී ඇත්තේ භාණ්ඩ 6ක පමණක් බව දෙපාර්තමේන්තුව හෙළිකර ඇත.
එසේම ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල පහළ යාමක් මෙම මාසය තුළ පෙන්නුම් කර ඇත. එළවළු සියයට 0.22, ලොකු ලූනු 0.07, පොල් 0.07, බිත්තර 0.02, කඩල 0.01, සහල් 0.01, අමුමිරිස් 0.01 වශයෙන් අඩු වී ඇති අතර දෙහි 0.09, අර්තාපල් 0.03, තේ කුඩු 0.03, කෙසෙල් 0.03, කුකුළු මස් 0.02, මාළු 0.02, වියළි මිරිස් 0.02, රතුලූනු 0.01 හා ළදරු කිරිපිටි 0.01 ආදී වශයෙන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව කියයි.
2018 වසරේ අප්‍රේල්වල ජාතික පාරිභෝගික මිල දර්ශකය පිළිබඳව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමරා සතරසිංහ පවසනුයේ රටේ වාර්ෂික උද්ධමනය මැනීම සඳහා මෙම දර්ශක පාවිච්චි කරන නිසා රටේ ආර්ථික තත්ත්වය සමාලෝචනයට ඒවා වැදගත් බවය. 2018 මාර්තුවල සියයට 2.8ක්ව තිබූ උද්ධමනය 2018 අප්‍රේල් වන විට සියයට 1.6 දක්වා පහළම අගයකට බැස ඇති බවය. 2016 පෙබරවාරි සිට මේ දක්වා වාර්තා වූ පහළම උද්ධමන අගය මෙය වෙයි. 2018 අප්‍රේල් උද්ධමනය මැනීම සඳහා ආහාර කාණ්ඩයෙන් සියයට 0.2 ක් හා ආහාර ද්‍රව්‍ය නොවන කාණ්ඩවලින් සියයට 1.7ක් වශයෙන් දායකත්වය දරා ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි. 2017 දී උද්ධමනය සියයට 8.4ක්ව තිබුණු අතර එහිදී මෙම වර්ග දෙකේ දායකත්වය පිළිවෙළින් සියයට 5.2 හා 3.3ක් වූ බව ඔහු කියයි.

මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යොෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ උද්ධමනය අඩුවීම සහ ජීවන වියදම වැඩිවීම යනු එකක් නොව දෙකක් බවයි. උද්ධමනය යනු ජීවන වියදම වැඩිවීමේ වේගයයි. උද්ධමනය පහළ යාම නිසා ජීවන වියදම වැඩිවීම යම් පමණකට පාලනය වන නමුත් එය අඩුවීමක් සිදුනොවන බව ඔහුගේ අදහසය.
“පසුගිය වසරේ උද්ධමනය සියයට 7.7ක්ව තිබුණා. ඒ නිසා ජීවන වියදම වේගයෙන් වැඩි වුණා. ඒ අනුව පවුලක වියදම වැඩි වුණා. එහෙත් අද වන විට වැඩීවීම පාලනය වෙලා තිබුණත් අඩු වූවා යැයි කියන්න බැහැ. සාමාන්‍යයෙන් කුටුම්බයක (පවුලක) ආදායමෙන් සියයට 50ක් තමා ආහාර ද්‍රව්‍යවලට වැයවෙන්නේ. වතු ආශ්‍රිත හා දිළිඳු ජනතාව තම ආදායමෙන් මෙයට වැඩි ප්‍රතිශතයක් ආහාරවලට වැය කරනවා. ආදායම නොවෙනස්ව තිබියදී ආහාර මිල වැඩිවන විට එයින් ආහාරවලට වැඩි ප්‍රමාණයක් වියදම් කරන්න සිදුවෙනවා. කුඩා උද්ධමනයක් වුවද ජනතාවට ලොකුවට දැනෙනවා. පසුගිය සමයේ හාල්, පොල්, එළවළු, මස්, මාළු ආදියේ මිල විශාල ලෙස වැඩි වුණා. මිල උද්ධමනය එයට බලපෑවා. රජය මෙම තත්ත්වය කාලගුණයට බාර දීලා ඇඟ ගලවගන්න උත්සාහ කළා. එහෙත් රජයකට අසාධාරණ ලෙස මිල වැඩිවීම පාලනය කිරීමේ උපකරණ තිබිය යුතුයි. එසේම රැපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දුර්වල වීම නිසා ආනයන භාණ්ඩවල මිල ඉහළ ගියා. මෙය පසුගිය සමයේ ප්‍රබල ලෙස අත්දැක්ක දෙයක්.”
ඔහු පවසන්නේ අද අපේ පාරිභෝජන රටාව අනුව ආහාරවලට පමණක් නොව තාක්ෂණික සේවා සඳහා ද වැඩියෙන් වැයවන බවයි. නිවෙසක හතර දෙනකු සිටිනවා නම් දුරකතන 5 – 6 තිබෙන්න හැකිය. එසේම අන්තර්ජාල පහසුකම් ආදිය ද අසීමාන්තිකව පාවිච්චි වෙයි. අධ්‍යාපන වියදම් ද දිනෙන් දින ඉහළ යයි. ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය දෙනවා යැයි පැවසුව ද බොහෝ පවුල්වලට දරුවන්ගේ අධ්‍යාපනය සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන බව ඔහු කියයි. 1 ශ්‍රේණියේ සිටම (ටියුෂන් පන්ති) සඳහා සිසුන් ඇදෙන අතර ඔවුන්ගේ පාසල් අධ්‍යාපනයට ද වියදම ඉතාම ඉහළ වේ. පාසල් පොත් පත් උපකරණ, මෙවලම් හා ඇඳුම් පැළඳුම්, උත්සව සහ වෙනත් අවශ්‍යතා සඳහා ද විශාල මුදලක් වැය කිරීමට සාමාන්‍ය ජනතාවට සිදුව තිබේ.
සෞඛ්‍ය සේවය නොමිලේ ඇතැයි පැවසුවත් වෛද්‍යවරුන් චැනල් කිරීම, බෙහෙත් මිලට ගැනීම, පරීක්ෂණ කිරීම ආදියට විශාල ලෙස වැය වේ. සාමාන්‍ය ජනතාව වුවත් රජයේ රෝහල්වලට නොගොස් කෙසේ හෝ පෞද්ගලික රෝහල්වලට ඇදෙන්නේ රජයේ ප්‍රතිකාර ගැන විශ්වාසයක් නොමැති නිසයි. ආණ්ඩුව මෙම පෞද්ගලික වෛද්‍ය සේවය නියාමනය කිරීම අමතක කර දමා ඇත.
එසේම ආචාර්යවරයා පෙන්වා දෙන්නේ ජීවන වියදම සඳහා වාහන වියදම් ද බලපාන බවයි.
“ඉස්සර ගමකට තිබුණේ වාහන දෙක තුනක් පමණයි. එහෙත් අද ගමේත් නගරයේත් සෑම නිවසකටම වාහනයක් තියෙනවා. ඇතැම් පවුල්වලට එකට වැඩියි. වාහන මිල වගේම වාහන නඩත්තුවට ද සෑහෙන මුදලක් වැයවෙනවා. සාමාන්‍ය කෙනකුගේ ආදායමෙන් සියයට අටක් පමණ ප්‍රවාහනයට වියදම් වෙනවා. මේ ආකාරයට අද පවුලක වියදම සංකීර්ණ වී තිබෙනවා. ආහාර මිල අඩුව උද්ධමනය පහළ ගියා යැයි යන්න ජනතාවගේ ජීවන රටාවට තදින් ධනාත්මකව බලපාන්නේ නැහැ. එයට හේතුව ඒ අය වෙනත් අංශවලින් දරණ වියදම වැඩි වීමයි.
2016 වසරේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රටේ සාමාන්‍ය පවුලක මාසික වියදම රුපියල් 54,999 වෙලා තිබුණා. එසේම නාගරිකයේ වියදම රුපියල් 77337 ක් වූ අතර කොළඹ නගරයේ හතර දෙනකුගෙන් යුතු පවුලක වැය රුපියල් 90670ක ඉහළ අගයක් වාර්තා වුණා. මෙම වියදම්වලට ආහාර පමණක් නොව අප මුලින් කී අවශ්‍යතා ද අඩංගුයි. ආහාරවලට මෙම වැයෙන් සියයට 40 – 50 අතර ප්‍රමාණයක් වෙන්වෙනවා. මෙම තත්ත්වය හා සංසන්දනය කිරීමේදී 2018 වසරේ අප්‍රේල්වල මාසික භාණ්ඩ පැසේ නාගරික ජනගහනයේ පාරිභෝජන වියදම රුපියල් 39,493 ක් වුවද ඔවුන්ගේ සෙසු අවශ්‍යතා සමඟ ගලපාගත් විට මුළු වැය ලක්ෂය ඉක්මවා මිල වැඩිව තිබෙනවා. ඒ නිසා 2013 හා සංශෝධනය කර රුපියල් 7351 නොහැකියි. අප කතා කරන පැති ගොඩක් ජීවන රටාවට එක්ව ඇති නිසා ආහාර මිල ගැන පමණක් කතා කර ජනතාවගේ ජීවන වියදම මැනිය නොහැකියි.”
ආචාර්යවරයා පෙන්වා දෙන තවත් දෙයක් නම් කොළඹ නාගරිකයේ බොහෝ විට සෑම ද්‍රව්‍යයකම මිල අඩු බවයි. කොළඹට ආහාර ද්‍රව්‍ය රටේ බොහෝ ප්‍රදේශවලින් පැමිණෙන නිසා සමස්තයක් වශයෙන් ගත් විට දිවයිනේ සෙසු ප්‍රදේශවලට වඩා සැමවිටම මිල අඩුයි. ඒ නිසා කොළඹ මිල සමස්ත රටේ මිල මට්ටම යැයි කිව නොහැකිය. එසේම කොළඹ අන්ත දෙකක ජනතාව ජීවත් වෙයි. කොළඹ 07 සහ ගාලු පාර ආශ්‍රිතව විශාල ධන කුවේරයන් සිටින අතර ඔවුහු අධිසුඛෝපභෝගී ජිවන රටාවකට යොමුව සිටිති. එසේම අන්ත දිළිඳු ජන කොටසක් ජීවත් වන මට්ටක්කුලිය ආදී ප්‍රදේශවල ජනතාවගේ ජීවන මට්ටම පහළයි. ඒ නිසා මේ දෙගොල්ලන්ම එකට දමා කොළඹ නගරයේ පවුලක ජීවන වියදම මැනීම වැරදි බව ඔහු කියයි. එබැවින් පවුලේ ආදායම් මට්ටම මත වර්ගීකරණය කළ යුතුය. ඉහළ, මධ්‍යම හා පහළ ආදායම් කුලක ලෙස ගෙන ගණනය කිරීම අවශ්‍ය වේ. ඒ නිසා ආණ්ඩුව ජීවන වියදම මැනීමට අනුගමනය කරන මිනුම් දණ්ඩ නිවැරදි නැති බව ඔහු පෙන්වා දෙයි. එම සංඛ්‍යාවලින් ජනතාවගේ සැබෑ ජීවන රටාව නිරූපණය නොවේ.
කෙනකුගේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4065 ලෙස ආණ්ඩුව ගණනය කළ ද එයින් රටේ සෑම ජනතාවම එම ආදායම ලබන බව කිව නොහැක. සියයට 43 ක් ජනතාව සමෘද්ධි සහනාධාර ලබන නිසා ඔවුන්ගේ දෛනික ආදායම ඩොලර් 2ට වඩා අඩුයි. එනම් රුපියල් 300ක මට්ටමයි. මෙම සියයට 43 වැරදි බවද සමෘද්ධිලාභීන් මෙයට වඩා වැඩිවිය යුතු බවද කියන නිසා ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන පිළිගත නොහැකි බව පැවසිය යුතුය.
♦ යසවර්ධන රුද්රිගු