2018 මැයි 26 වන සෙනසුරාදා

ලක්ෂයකට වඩා අතරමං

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 136

නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමඟ දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය මත දින කීපයක් තිස්සේ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවට මැදිව මේ වනවිටත් පුද්ගලයන් 13ක් ජීවිතක්ෂයට පත්ව සිටිති. පීඩාවට පත්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 125,954ක් ඉක්මවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.

මේ පිරිස දිවයිනේ දිස්ත්‍රික්ක 18කට අයත් පවුල් 27.064කට අයත් බවත් පවතින ගංවතුර හා නායයෑම් අවදානම හේතුවෙන් පවුල් 11,445කට අයත් පුද්ගලයන් 56,472ක් අවතැන්ව සිටින බවත් ඔවුන් ආරක්ෂිත ස්ථාන 246ක රඳවා සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියයි.

ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව 12ක් බවට වාර්තා වූ අතර දියේ ගිලීමෙන් දෙදෙනෙක් පස්කඳු කඩා වැටීමෙන් දෙදෙනෙක් සහ ගස් කඩා වැටීමෙන් දෙදෙනෙක්ද මියගොස් සිටිති. ඒ සමඟ තවත් පුද්ගල මරණ 6ක්ද වාර්තා වී ඇත්තේ අකුණු අනතුරු හේතුවෙනි. මේ අතර පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා සිටින බවත් පූර්ණ නිවාස හානි 29ක් සිදුව අර්ධ නිවාස හානි 2527ක් සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ආපදා තත්ත්වයට පත්ව තිබෙන දිස්ත්‍රික්ක 19 අතරට මුලතිව්, වවුනියාව, මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, මොණරාගල, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, ගම්පහ, කොළඹ, කුරුණෑගල, පුත්තලම සහ පොළොන්නරුව අයත් වෙයි. මේ අතුරින් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ රත්නපුරය දිස්ත්‍රික්කය වන අතර එහි ඇහැලියගොඩ, කුරුවිට, නිවිතිගල, රත්නපුර, ඇලපාත, කහවත්ත, කලවාන, කිරිඇල්ල, පැල්මඩුල්ල, ඕපනායක, අයගම, බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

මාස ගණනාවක් පැවති නියඟය නිමා කරමින් ඇදහැලෙන අධික වර්ෂාව නිසා පුත්තලම දිස්ත්‍රික්කයටද ගංවතුර තර්ජනය තදින්ම බලපා තිබේ. දංකොටුව, මුන්දලම, මහවැව, පල්ලම, ආරච්චිකට්ටුව, ආණමඩුව, නාත්තණ්ඩිය, කරුවලගස්වැව සහ හලාවත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක් එම බලපෑමට ලක්ව ඇත. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ, දොම්පේ, වත්තල, බියගම, මීරිගම, දිවුලපිටිය, කැලණිය, මහර, ජාඇල, කටාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව පීඩාවට පත්ව සිටිති.

පුත්තලම ප්‍රදේශයට ලැබුණු අධික වර්ෂාපතනය නිසා ආරච්චිකට්ටුව, විජය කටුපොත වැව විශාල ජලකඳක් මුදාහරිමින් වාන්දමා තිබුණේ වසර දහයකට පසුව බව ප්‍රදේශවාසීහු පවසති. එසේම සෑම ප්‍රදේශයකම පාහේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබීම නිසා ගමනාගමන කටයුතු තවමත් අඩාලව පවතී. මේ අතර මහනුවර-යාපනය ඒ-9 මාර්ගයේ අලවතුගොඩ 8 කණුව ප්‍රදේශයේ කොටසක් ගිලා බැසීම නිසා එම මාර්ගයේ ගමනාගමනය එක් මංතීරැවකට සීමාකර තිබේ. මීට අමතරව කඩුවෙල-බියගම යා කෙරෙන නව නුවර පාරේ පිහිටි පාලම දෙපස ඉවුරු කැලණි ගඟේ ජල පහරට සේදීම නිසා අවදානමකට පත්ව තිබේ. මේ හේතුවෙන් ඉකුත් බදාදා පස්වරුවේ මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීමටද පියවර ගෙන තිබුණි. පසුව මාර්ගය විවෘත කර තිබේ.

හැමිල්ටන් ඇළ, නාත්තණ්ඩිය, තුම්මෝදර ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා කොළඹ-පුත්තලම දුම්රිය මාර්ගය යටවීමෙන් දුම්රිය ධාවනය ලුණුවිල දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමාකර තිබුණි. මේ අතර පස්කඳු කඩාවැටීම හා නායයාම හේතුවෙන් අවහිර වූ කොළඹ-හැටන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය මේ ලිපිය ලියන විටද ඇනහිට තිබුණි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 6133ක 24,625ක ජනතාවක් අවතැන්ව සිටිති. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 4256ක පුද්ගලයන් 12,760 දෙනෙක්, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 1945ක පුද්ගලයන් 7482ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1150ක පුද්ගලයන් 4316ක් කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 933ක පුද්ගලයන් 3370ක් කුරැණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 1595ක පුද්ගලයින් 5866ක් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 231ක 996 දෙනෙක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 221ක පුද්ගලයන් 832 ක් අවතැන්ව සිටිති.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 1387 දෙනෙක් අවතැන්ව ඇත්තේ පවුල් 341කට අයත් පිරිස්ය. බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 123කට අයත් පුද්ගලයන් 516ක් සහ මාතර පවුල් 19ක පුද්ගලයන් 84ක් සහ පොළොන්නරුව පවුල් 4කට අයත් පුද්ගලයන් 13ක් සහ මොණරාගල එක් පවුලක් මෙසේ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තාකර තිබිණි.

ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාව නිසා ප්‍රධාන ගංගාවල ජල මට්ටම ඉහළ යමින් තිබෙන අතර කැලණි, කළු, නිල්වලා, ගිං ගඟ සහ අත්තනගලු ඔය පිටාර ගැලීම නිසා පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබුණි. කළු ගඟේ ජලය පිටාර ගැලීමත් සමඟ කළුතර, දොඩංගොඩ, මිල්ලනිය, මදුරාවල, හොරණ, පාලින්දනුවර, බුලත්සිංහල, ඉංගිරිය, කිරිඇල්ල, කුරුවිට, ඇළපාත ජලයෙන් යටවූ අතර කැලණි ගඟ පිටාර ගැලීම නිසා කඩුවෙල, හංවැල්ල, බියගම, කැලණිය, කොලොන්නාව, දොම්පෙ, දෙහිඕවිට, රුවන්වැල්ල ආදී ප්‍රදේශ රැසක ජලගැලීම් ඇතිවී තිබේ. නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා අකුරැස්ස, මාලිම්බඩ, අතුරලිය, කඹුරුපිටිය ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටව ඇති අතර බොහෝ ජලාශ වාන්දැමීම ඇරඹී තිබුණි.

මේ අතර පුත්තලම තබ්බෝව ජලාශය, වාන්දැමීම හේතුවෙන් ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී තිබුණි. අධික ලෙස ඇදහැලෙන වර්ෂාව සමඟ නායයෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කරන්නටත් ඒ සඳහා දිස්ත්‍රික් 10ක් ඇතුළත් කරන්නට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කළේය. ආපදා තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් වශයෙන් ප්‍රදේශ කීපයකට විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන ඇති අතර ආපදා තත්ත්වය පහව ගිය වහාම යළි යථා තත්ත්වයට පත්කරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය.

ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වනවිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 6000ක් පමණ යොදවා සිටිති. මුදාගැනීමේ කටයුතු යනුවෙන් විශේෂ නාවික කණ්ඩායම් 41ක් ඩිංගි යාත්‍රා 41ක් සමඟ යොදවා තිබේ. මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේ ආපදාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා එක් දිස්ත්‍රික්කයකට රුපියල් ලක්ෂ 10 බැගින් මුදල් ලබාදී ඇති බවය.

ලිපියේ සඳහන් තොරතුරු පසුගිය බ්‍රහස්පතින්දා 24 සවස වනවිට ලැබුණු දත්ත වාර්තා මත පදනම්වේ.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර