2018 මැයි 05 වන සෙනසුරාදා

වෙසක් සැමරීමට ගොස් දිවි අහිමිවූ 12 දෙනෙක්

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

වෙසක් පොහොය එළැඹෙන තෙක් බලා උන් බොහෝ බැතිමත්හු හැකි උපරිමයෙන් ආමිස, ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් කටයුතු කළෝය. රට පුරා සිදුකෙරෙන ආමිස පූජාවන්ට සම්මාදම් වූ අන්‍යාගමික ජනතාව සුළුපටු නොවීය. මේ නිසා බොහෝ රථවාහන මාර්ගයට පැමිණ තිබුණේ වෙසක් සිරි නරඹන්නට, දන්සල් භුක්ති විඳින්නට හා වන්දනා ගමන් යාම සඳහාය. මෙසේ ගතවූ පසුගිය වෙසක් දින දෙකේදී සිදුවූ මාරක රිය අනතුරැ ප්‍රමාණයද ඉහළය.

ගෙවී ගිය වෙසක් පොහොය දිනය හා ඊට පසු දිනය ඇතුළත්ව පැය 48 ක් තුළදී සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 12 දෙනකු මියගොස් තවත් පුද්ගලයන් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා විය මෙම මරණ 12න් 6 ක් සිදුව ඇත්තේ යතුරුපැදි අනතුරුවලිනි. ඒ අතර වූ යතුරුපැදි අනතුරු හතරකින් මියගොස් තිබුණේ පදික වේදිකාවේ ගමන් කළ අය වෙති. මේ පිරිස් අතර තුවාල ලැබුවන් 32 ක් මහනුවර කුරුණෑගල මාර්ගයේ ගලගෙදර බෑවුමේදී වන්දනා නඩයක් රැගත් බස් රථයක් පෙරළීම නිසා වාර්තා වූ අතර සෙසු 18 දෙනා වෙසක් දිනට පෙරදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෙරළී ගිය බස් රථයේ සිටියෝ වෙති. එම බස් රථය පෙරළීමට හේතුව වී තිබුණේ ටයරයක් පිපිරීයාම බව අධිවේගී රථවාහන පොලීසිය වාර්තා කළේය.
දිඹුලාන - මිල්ලාන මාර්ගයේ ඉද්දපිච්චවැව ආසන්නයේදී යතුරැපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ මවක හා දියණියක රෝහල්ගත කර සිටියදී ජීවිතක්ෂයට පත්වූහ. මේ අනතුර සිදුව තිබුණේ පොළොන්නරැව අරලගංවිල පදිංචි එකම පවුලේ සිව්දෙනකු රැගත් යතුරුපැදිය පෙරළීමෙනි. ඔවුන් පිරිස දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වන්දනා කිරීමට යමින් සිටියදී අනතුර සිදුව ඇති අතර, මාර්ගයෙන් පිටත වූ ගසක යතුරුපැදිය ගැටීමෙන් අනතුර සිදුව තිබුණි. යතුරුපැදියේ ගමන් කර තිබුණේ මව, පියා, දියණිය හා මිත්තණියයි. එදිනම මහනුවර - හීරැස්සගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගැටුණු පුද්ගලයෙක් මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබුණි.

දොඩංගොඩ පාලයන්ගොඩ ප්‍රදේශයේදී පාසල් සිසුන් තිදෙනෙක් ගමන් ගත් යතුරුපැදියක් ත්‍රිරෝද රථයක ගැටීම නිසා එහි ගමන් ගත් තිදෙනා හා ත්‍රිරෝද රථ රියැදුරා තුවාලකරුවන් දොඩංගොඩ රෝහලට ඇතුළත් කළ බවට පොලීසිය වාර්තා කළේය. වෙසක් පොහොය දිනයේ සවස තවත් මාරක අනතුරක් වාර්තා වූයේ මහියංගණය - පදියතලාව මාර්ගයේ දඹාන 91 කණුව ආසන්නයේදීය. විනෝද චාරිකාවක නිරතව සිටි පිරිසක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීම අනතුර සිදුව ඇති බවට මහියංගණය පොලීසිය වාර්තා කළේය. අනතුර හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 8 දෙනකු තුවාල ලබා සිටියේය.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් හතරදෙනකු සහ පිරිමි පුද්ගලයන් හතරදෙනකු වන අතර ඔවුන් හසලක පල්ලේවත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසකි. එදිනම තවත් අනතුරු වාර්තා වූයේ A-9 මාර්ගයෙන් සහ සීගිරිය ප්‍රදේශයෙනි. රිය අනතුරු 5 ක් හේතුවෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 8 දෙනකු තුවාල ලබා තිබුණි. මේ අනතුරුවලින් 3 ක් නාඋල ප්‍රදේශයේද මාතලේ ප්‍රදේශයේදී අනතුරු 1 ක් සහ සීගිරිය ප්‍රදේශයේදී 1 ක් වශයෙන් යතුරුපැදි 3 ක්, ත්‍රිරෝද රථ 3 ක් සහ කැබ් රථ වශයෙන් අනතුරට පත්ව තිබුණි.

වෙසක් දිනය දා රාත්‍රියේ මින්නේරිය - හිඟුරක්ගොඩ මාර්ගයේ ලංකාරාම විහාරය අසලදී හිඟුරක්ගොඩ ප්‍රදේශයේ සිට පැමිණි යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයකුගේ ගැටීම නිසා තුවාල ලැබූ පදික පුද්ගලයා රෝහල්ගත කරන අතරතුරදී මියගොස් තිබුණි. එදිනම රාත්‍රියේ තවත් යතුරුපැදි අනතුරක් සිදුව තිබුණේ පාලවිය - කල්පිටිය මාර්ගයේ තිහලිය පාසල් මාවත අසලදීය. වේගයෙන් පැමිණි යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා පෙරළීමෙන් තුවාල ලැබූ පැදිකරු මියගොස් තිබුණි. එදිනම සවස ගම්පහ - යක්කල මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් අතුරු මාර්ගයකට හැරවූ මෝටර් රථයක ගැටීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ පසුව යතුරුපැදිකරු මියගිය බවට වාර්තා විය.

මේ ආකාරයට වෙසක් දින දෙකේදී අනතුරුවලට පත්ව තිබුණු වැඩි ප්‍රමාණය යතුරුපැදි වේ. මරණයට පත්වූ හා තුවාල ලැබූ වැඩි පිරිස වන්දනාවේ යෙදුණු හා වෙසක් සැරසිලි නැරඹීමට සහභාගි වෙමින් සිටි අය වීම කනගාටුදායකය. තවදුරටත් සැලකිලිමත්ව වෙසක් අසිරිය විඳගැනීමට උත්සාහ කළා නම් ඔවුන්ගේ ජීවිත අදටත් ඉතිරිව තිබෙනු ඇත.

 විල්තෙර