
ත්‍රිරෝද රථය යනු දුප්පත් පොහොසත් කොයි කාගේත් වාහනයකි. ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් ආදී සුපිරි රථවලින් ගමන් බිමන් යන ලොකු ලොකු උදවිය පවා තමන්ගේ වාහනය කැඩී ගරාජයෙන් ගෙදර ගේනතුරු බොහෝවිට ගමන් ගන්නේ ත්‍රිරෝද රථවලිනි. දුම්රියෙන් හෝ බසයෙන් ගමන් කරන ඇතැම් මගීන් පවා හදිසියකදී ගොඩවන්නේ ත්‍රිරෝද රථයකටය. ලෙඩකදී, දුකකදී, කරදරයකදීත් අසරණ වන සැමට පිහිට වන්නේ තුන්රෝද රථයයි. මේ අනුව ත්‍රිරෝද රථය මගීන්ගේ සමීපතම ප්‍රවාහන සේවාවක් බවට පත්ව ඇත්තේය.
මෙරට ත්‍රිරෝද රථ කුලී රිය සේවාව තුළ එක් කාලයකදී වැඩිපුර ගණන් අය කිරීමේ මාෆියාවක් දක්නට ලැබිණි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් හිතු හිතූ ගණන් අයකිරීම නිසා මගීන් ලක්වූයේ දැඩි අපහසුතාවකටය. නමුත් පසුගිය කාලයේ ත්‍රිරෝද රථවලට මීටර් හඳුන්වාදීම මත මෙම ක්‍රමය උඩු යටිකුරු විය.
මෙතෙක් කල් පැවති මෙම මීටර් කුලී ක්‍රමයට බිල් පතක් නිකුත් කළ හැකි මීටර් සවිකළ යුතු බවට පැනවූ නීතිය පසුගිය 20 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ සභාව පැවසීමත් සමඟ ත්‍රිරෝද රථ කුලී සේවාවේ ගැටලුවක් පැන නැගුණේය. ඊට හේතුව බිල්පතක් නිකුත් කිරීමට ඇතැම් ත්‍රිරෝද රථ සංගම් දක්වන විරෝධයයි. නමුත් මගී ජනතාව බොහෝ දෙනෙක් මෙම ක්‍රමය පිළිබඳ දක්වන්නේ ඉතා යහපත් ආකල්පයකි.
මේක අලුත් නීතියක් නොවේ
ත්‍රිරෝද රථ සඳහා බිල්පතක් නිකුත් කළ යුතු බවට යෝජනාව ගෙන ආ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතාගෙන් මේ පිළිබඳව අපි විමසීමක් කළෙමු.
“මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවලට මීටර් සවිකිරීම 2017 වසරේදී අනිවාර්ය කළා. මීටර් නැති ත්‍රිරෝද රථ හිමියන්ට ඒවා හයි කරගන්න මාස 06ක සහන කාලයක් ලබාදුන්නා. මේ සහන කාලය අප්‍රේල් 01 වැනිදායින් අවසන් වුණා. ඒත් තවමත් මීටර් සවි නොකළ ත්‍රිරෝද රථවලට තවත් මාසයක සහන කාලයක් ලබාදීලා තියෙනවා. ඒ අනුව මැයි මස 20 ඉඳලා මීටරය අනිවාර්ය කරනවා. ඒ වගේම මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීවීල් රථ සඳහා මීටරය අනිවාර්ය කළාට පස්සේ ත්‍රිරෝද රථවල ගමන් කරන මගියාට රිසිට් පතක් නිකුත් කළ යුතු වෙනවා. දැනට මීටර් තිබෙන ත්‍රිරෝද රථවලට රිසිට්පතක් ලබා ගැනීමට හැකිවන පරිදි සකසා ගැනීමට රුපියල් 2000ක පමණ මුදලක් වැයවෙනවා. මීටරේ නැති ත්‍රිරෝද රථ සඳහා නව මීටරය සවිකර ගැනීමට රුපියල් 9000ක මුදලක් වැයවෙනවා. මේක මේ අවුරුද්දේ ගෙනාපු අලුත් නීතියක් නෙවෙයි. ගිය අවුරුද්දේ ගෙනාව නීතියක්. ත්‍රිරෝද රථ හිමියන් ගෙන්නලා සාකච්ඡා කරලා තමයි මේ නීතිය ගේන්න අප කටයුතු කළේ.”
මෙතන තියෙන්නේ කොමිස් ගැහිල්ලක්
ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන:
“අපි පසුගිය 24 වැනිදා වංචා විමර්ශන කාර්යාලයට පැමිණිල්ලක් බාර දුන්නා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයාට, ප්‍රවාහන ඇමැතිවරයාට නියෝජ්‍ය ප්‍රවාහන ඇමැතිවරයාට සහ ත්‍රිරෝද රථ සංගම්වල නායකයන් කිහිප දෙනකුට එරෙහිව. ඒකට හේතුව තමයි ත්‍රිරෝද රථ මීටරයෙන් රුපියල් 1000ක කොමිස් මුදලක් යන නිසා. ඒ වගේම තමයි මේ මීටරේ අඩුමිලට දෙන්න පුළුවන්කම තියෙද්දීත් වැඩි මිලට දෙන්න වෙලා තියෙන්නේ මොවුන්ට මේ මීටර් ගෙන්වීමේදී කොමිස් මුදලක් ලැබෙන නිසා. ඒ වගේම තමයි දැන් මේ මීටර් ත්‍රිරෝද රථ සඳහා බිල්පතක් නිකුත් කරන ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. මීටර් සවිකරන සමාගම් ඒ උපකරණය ගෙනැල්ලා රුපියල් පන්දාස් පන්සියකට අලෙවි කරනවා. එතනිනුත් කොමිස් මුදලක් ඔවුන්ට යනවා. ඒ වගේම අපි පසුගිය 25 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මේ පැමිණිල්ල බාර දෙනවා. මේ මීටරේ වගේම මගියාට බිල්පතක් නිකුත් කිරීම ප්‍රායෝගික නැහැ. මේකට අපි විරැද්ධයි. මේක මගියා හා ත්‍රිරෝද රථ රියදුරා අතර ගැටුමක් ඇති කිරීමේ අරමුණෙන් රජය කරපු උප්පරවැට්ටියක්.”
මහජනතාවට දුකේදීත්, සැපේදීත් ළඟ සිටිනා මිතුරා වන ත්‍රිරෝද රථ කර්මාන්තයේ හෙට දවස මේ අනුව පවතිනුයේ අවිනිශ්චිත තත්ත්වයකය. විශාල පිරිසක් දෛනිකව සේවයේ යෙදෙන සහ විශාල ජන පිරිසක් එම සේවය ලබන මෙම ත්‍රිරෝද රථ ප්‍රවාහන සේවාව කෙරෙහි රජය මීට වඩා අවධානයක් යොමුකළ යුතු බව බොහෝ මගීන්ගේ මතය වී ඇත.
► හසිත් අංජන