
වර්ෂ 1965 ජුලි මස 21 වැනිදා පත් කෙරුණු ගුවන් විදුලි කොමිෂන් සභාව ලංකා ගුවන් විදුලියේ ඉදිරි අනාගත ගමන තීරණය කිරීමෙහිලා ඉතා දැඩි සහ සාධනීය බලපෑමක් සිදුකොට ඇත. හර්බට් හුළුගල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත් කෙරුණු මෙම කොමිෂන් සභාව හුළුගල්ල කොමිසම යන නමින් ප‍්‍රසිද්ධියට පත්ව ඇත. හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි හිමි සහ එස්. රාජනායගම්, එච්.එච්.එස්. ඉස්මායිල්, ආර්.එච්. පෝල්, පියසේන නිශ්ශංක යන මහත්වරැන් මෙම කොමිසමේ අනෙකුත් සාමාජිකයන් ලෙස කටයුතු කොට තිබිණි.
වර්ෂ 1966ක් වූ අප්‍රේල් මස 15 වැනි දින නිර්දේශ 12 කින් සමන්විත කොමිෂන් සභා වාර්තාව නිකුත් කොට ඇත. දොළොස්වැදෑරුම් යෝජනා සහිත හුළුගල්ලේ කොමිෂන් සභා වාර්තාව මඟින් යෝජනා කොට ඇති ප‍්‍රධානතම කරුණ නම් ගුවන් විදුලිය ප‍්‍රාදේශීයව ව්‍යාප්ත කළ යුතුයි යන්නයි. ඒ අනුව ප‍්‍රාදේශීය වශයෙන් විසිරී සිටින ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ගේ හැකියා ජාතික තලයට ගෙන ඒමටත් අදාළ ප‍්‍රදේශවල සංවර්ධන කටයුතු සන්නිවේදනයටත් ඒ මගින් සහභාගිත්ව සංවර්ධන වෑයම සාර්ථක කර ගැනීමත් අරමුණු කොටගෙන මෙසේ ප‍්‍රාදේශීයව ගුවන් විදුලිය ව්‍යාප්ත කිරීම ආරම්භ වී ඇත.
මේ අනුව යමින් වර්ෂ 1979 ක් වූ අපේ‍්‍රල් මස 12 වැනිදා අපමණක් අපේක්ෂා පෙරදැරිව නිහඬ රජරට ගුවන් වා තලය හා මුසුවු රජරට සේවය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ප‍්‍රාදේශීය ගුවන් විදුලිය ලෙස ඉතිහාසයට එක්වී දැන් වසර 39 ක් ගතවී හමාරය. එවක අනුරාධපුර ගුවන් තොටුපොළ ආසන්නයේ කුඩා මැදිරියක ආරම්භ කළ රජරට සේවයේ ප‍්‍රථම අධ්‍යක්ෂවරයා වූයේ කොළඹ ප‍්‍රධාන කාර්යාලයේ සිට මෙහි පැමිණ සිටි ප‍්‍රවීණ ප‍්‍රවෘත්ති නිවේදකයකු ලෙස ප‍්‍රකටව සිටි සිරිල් රාජපක්ෂ මහතාය.ප්‍රේමකිර්ති ද අල්විස්, ස්වර්ණ ශ‍්‍රී බණ්ඩාර, විජයානන්ද ජයවීර, සෝමසිරි චන්ද්‍රසේන, සේන ගුණසේකර, එම්.ජී. නානායක්කාර ආදී එවක ගුවන් විදුලි මාධ්‍යයේ දැවන්තයන් සේ පිළිගැනෙන පිරිසක් මේ මුල් කණ්ඩායම සමඟ රජරටට පැමිණියේ බක් මාසයේ උදාවන වසන්තය දිගුකාලීනව සාක්ෂාත් කරලීමේ අරමුණ වෙනුවෙනි. රජරට ගුවන් විදුලියේ ආරම්භක ප‍්‍රවෘත්ති අංශ ප‍්‍රධානි ලෙස පැමිණි ප‍්‍රකට ගත්කතුවරයකු වූ කුලසේන ෆොන්සේකා මහතා ද මෙසේ පැමිණි පිරිස අතර විය.
අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල, මාතලේ සහ ත‍්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්ක හා කෑගල්ල, වව්නියාව, අම්පාර, මුලතිව්, මඩකළපුව, මහනුවර, ගම්පහ යන දිස්ත‍්‍රික්කවල ඇතැම් ප‍්‍රදේශ ද ආවරණ වන පරිදි ආරම්භ කළ රජරට සේවය ශ‍්‍රාවකයන් අතර තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් අනුරාධපුරය, මෛත‍්‍රීපාල සේනානායක මාවතේ කඩ පනහ ඉදිරිපිට නව මැදිරි සංකීර්ණයක් ඇරඹෙන්නේ 1984 වසරේදීය.
එවකට ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාව සිටි ඒමන් කාරියකකරවන මහතාගේ ආරාධනයෙන් ජේ.ආර්. ජයවර්ධන රජයේ ගුවන් විදුලි හා ප‍්‍රවෘත්ති රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ආනන්ද තිස්ස ද අල්විස් මහතාගේ සුරතින් 1984 ජනවාරි මස 22 වැනිදා මෙම නව මැදිරි සංකීර්ණය විවෘත වන්නේ නව පහසුකම් සහිත විශාල පටිගත කිරීමේ මැදිරියක්, අංග සම්පුර්ණ සම්බන්ධතා මැදිරියක් හා සංස්කරණ කටයුතු සඳහා තවත් මැදිරියක් සහිතවය. කාර්යාල පහසුකම්ද මෙම නව දෙමහල් ගොඩනැගිලි මැදිරි සංකීර්ණය හා යාව ඇත.
රස නීරස මුසු පුරා දශක තුනකට වැඩි කාලයක් සිරිල් රාජපක්ෂගෙන් ආරම්භ වී ශ‍්‍රීපාලි වයමන්, හිල්මන් පෙරේරා, ජී.ටී. වික‍්‍රමසිංහ, තිලක සුදර්මන් ද සිල්වා, ඩී.එස්. දයාරත්න, විජයයානන්ද ජයවීර, ස්වර්ණ ශ‍්‍රී බණ්ඩාර, ගුණදාස කපුගේ, කිත්සිරි අලුත්ගේ, නිව්ටන් ගුණසේකර, කපිල රත්නායක, ජෝතිපාල තෙබුවන, තෙන්නකෝන් ඉහළගම, සුනිල් විජේසිංහ, ගාමිණි විජේවර්ධන, ශ‍්‍රියාණි සමරනායක, දයානන්ද ලියනගම යන මහත්ම මහත්මීන් රජරට සේවයේ පාලකවරැ සහ අධ්‍යක්ෂවරු ලෙස ක‍්‍රියා කළහ. එහි වත්මන් සහකාර අධ්‍යක්ෂවරයා වන්නේ සුනිල් බණ්ඩාරනායක මහතාය.
රජරට ගුවන් විදුලි ඉතිහාසයේ ස්වර්ණමය යුගය ස්වර්ණ ශ‍්‍රී බණ්ඩාරයන් අධ්‍යක්ෂ ධුරය හෙබවූ වකවානුව බව අවිවාදිතව බොහෝ දෙනකු පිළිගන්නා කරුණකි. හේනේ, කුඹුරේ දඬු වැට මායිමේ, පැලේ, කමතේ පාළුවෙන් කාන්සියෙන් රුය පහන් කළ ගැමි ජනජීවිත වෙත ගලා ආ දුක්ඛ, දෝමනස්ස, සතුට, සොම්නස හා මුහුවෙමින් රජරට ගුවන් විදුලිය ජනතාවට වඩාත් සමීප වැඩසටහන් රැසක්ම එවක ශ‍්‍රාවකයන් වෙත සමීප කොට ඇත්තේ නවමු අත්දැකීමක පහස නොඅඩුව පිරිනමමිණි. එතෙක් අගනුවර කේන්ද්‍රියව පැවැති ගුවන් විදුලිය මෙසේ ඈත ගම්මැදිවල පය ගහන්නට වීම ශ‍්‍රාවක අමන්දානන්දයට හේතුවූවා පමණක් නොව ඔවුනට එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නැවුම් අත්දැකීමක් වී ඇති බව නොරහසකි.
මෙම වැඩසටහන් බොහෝමයක් සම්පාදනය වී ඇත්තේ ජනහදට වඩාත් සමීපව සත්‍යය දැනුම හා වින්දනය කැටි කළ ගුණාත්මක හා අධ්‍යපනික සේවාවන් ශ‍්‍රාවකයා වෙත ලබාදිය යුතුය යන රජරට ගුවන් විදුලියේ තේමාවට මනාව ගැලපෙන පරිදිය යන්න විද්වත් පිළිගැනීම වී තිබේ. විශේෂයෙන් දශක තුනකට එපිටින් ස්වර්ණ ශ‍්‍රී බණ්ඩාරයන් ඉදිරිපත් කළ පිලේ පැදුර හා සමාන ආකෘතියක් හා අන්තර්ගතයකින් යුත් කාලීන වැඩසටහන් වත්මන් විද්‍යුත් මාධ්‍ය භාවිත තුළ දක්නට නැතැයි යන්න විචාරක මතය වී තිබේ. එදිනෙදා සමාජයේ සිදුවන සිදුවීම් අපූර්ත්වයෙන් ප‍්‍රතිනිර්මාණය කළ පිලේ පැදුර වටා එවක ශ‍්‍රාවකයන් රොද බැඳ ඇත්තේ කිසිදු වයස් හෝ පංති භේදයකින් තොරවය යන්න අද ද අවිවාදිතය.
දඬුවම් මාරැවක් ලබා 1981 දී රජරට සේවයේ” සංගීත අංශයේ ප‍්‍රධානියාව ආ සොඳුරු මිනිසා දිවංගත විශාරද ගුණදාස කපුගේ මහතා රජරට ආධුනික ගායක ගායිකාවන් රැසකට සංගීත කරළියට ඒමට මඟ හසර පාදා දුන්නේය යන්න අද ද අපමණක් දෙනෙකුගේ පිළිගැනීමට පාත‍්‍රව පවතී. ගුණදාස කපුගේ සහ ස්වර්ණ ශ‍්‍රී බණ්ඩාරයන් එක්ව දියත් කළ නව රැල්ල, නව පදමාලා, ස්වර මාධවී, සරල ගී වැනි වැඩසටහන් හරහා ස්වතන්ත‍්‍ර ගී නිර්මාණ කරමින් මෙසේ කරළියට ආ කලාකරුවන් ගණනාවකි.
වර්තමානයේ විවිධ ජනප‍්‍රිය කලා මාධ්‍යයන් තුළ නිතර දකින ඇගයීමට ලක්වන අපමණක් ශිල්පීන් රජරට ගුවන් විදුලිය ඔස්සේ ක්ෂේත්‍රයට පිවිසි අයවලුන් බව බොහෝ දෙනෙකු නොදන්නා කරැණකි. සමහරකු අද පසුවෙන ප‍්‍රබුද්ධ පසුබිමෙහි හිද තම කලා දිවියට අත්පොත් තැබුයේ රජරට ගුවන් විදුලිය හරහාය යන්න පැවසීමට තරම්වත් කෘතවේදි නොවන බව ද පැවසෙන්නකි.
රජරට ආධුනික ගායක ගායිකාවන් රුසකට සංගීත කරළියට ඒමට මඟහසර පාදා දුන්නේය යන්න නොසඟවා සඳහන් කළ හැකිව පවතී. 1989 භීෂණ යුගයේ රජරට සේවයේ සහන නිවේදකයකු ලෙසද කටයුතු කොට ඇති ජනප‍්‍රිය ගායනවේදී කරුණාරත්න දිවුල්ගනේ මහතා රජරට සේවය හරහා ගායන ලොවට පිවිසියේ කපුගේ ශුරීන් කැපූ මඟ ඔස්සේ නිවැරදිව පා තැබීමෙන්ය යන්න නොරහසකි. ජයතිලක බණ්ඩාර, නිශාන්ත මුණසිංහ, කුමුදුණි ගුණවර්ධන, ජානකී සුමිත‍්‍රා දිසානායක, වික්ටර් ලියනගේ, සේනානායක වේරලියද්දල ක‍්‍රිෂාන්ත එරන්දක වැනි අය රජරට සේවය මගින් බිහි වු එවැනි කුසලතා පූර්ණ ගායක ගායිකාවෝ කිහිප දෙනෙකි.
පල්ලේගම හේමරතන හිමි, මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර, රංජිත් රූපසිංහ, රෝහන දංදෙණිය, කරුණාරත්න ජයතිලක, පොඩිරත්න අඟමලේ, සීතා රංජනී, නිමල් ආනන්ද, සිරිල් සමරකෝන් වැනි ගී පද රචකයන් ද සිරිල් පෙරේරා, නාලක අංජන කුමාර, උපාලි ජයලත්, චන්ද්‍රපාල කුරුවිටගේ, පේ‍්‍රම් රංජිත් විජේවික‍්‍රම, සෝමදාස සුරිආරච්චි වැනි සංගීතවේදින් ද රසිකයන් අතර වඩාත් ජනප‍්‍රිය වූයේ රජරට ගුවන් විදුලිය ඔවුන්ගේ කුසලතා ඔප දැමීමට මඟ හසර එළිපෙහෙළි කිරීමෙනි. වර්තමානයේ වේදිකාවේ නිතර දකින මහින්ද පතිරගේ සහ ගුණදාස මදුරසිංහ දෙපලගේ ගුරුගෙදර වී ඇත්තේද රජරට ගුවන් විදුලියමය. අද වනවිටද මේ බොහෝ වැඩසටහන් සංරක්ෂණය කොට ඇති තැටි ගබඩාව රජරට සේවය සතු සම්පතක්ව පවතී.
කාලානුරූපව නූතන සමාජ, දේශපාලනික හා ආර්ථික තත්වයන් සමගම මහජන සේවයක්ව පැවතී ගුවන් විදුලියට විවිධ අභියෝග සහ බාධක වලට මුහුණපෑමට සිදුව තිබේ. දැනුම, යහපත් රසවින්දනය පසෙකලා මුදල් මත පදනම් වු විසල් ලෝකයක ශ‍්‍රාවකයින් අතරමං කිරීමේ වෑයම් කරලියට පැමිණ ඇත. මෙම අභියෝගය වර්තමානය වනවිට සිහිල් වෑදිය නිල්ල හා සිරිමා බෝ සමිඳු පිස හමා ආ මඳ පවනේ පහස විඳිමින් පුරා දශක හතරකට ආසන්න කාලයක් වියපත්ව ඇති රජරට සේවයට ද සාධාරණව පවතී. මේ සියල්ලක් අතර රජරට සේවයට හෙට දවස දිනිය හැකිද? රජරට සේවා වත්මන් සහකාර අධ්‍යාක්ෂ සුනිල් බණ්ඩාරනායක මහතා ඒ පිළිබඳව පැවසුවේ මෙවැන්නකි.
මේ වෙනකොට අපේ ගුවන් කාලය දිනකට පැය දාහතර හමාරක්. අලුයම පහේ ඉඳලා රාත‍්‍රී 7.30 වෙනකම් FM 107.3 ඔස්සේ අපේ වැඩසටහන් ප‍්‍රචාරය වෙනවා. නවීන විකාශන මැදිරිය නිසා අපේ ශ‍්‍රවන තත්ත්වය ඉතාම යහපත් අතට හැරිලා තියෙනවා. කොතරම් නාලිකා තිබුණත් ඒක අපිට අභියෝගයක් නෙමෙයි. මොකද අපි යන්නේ අපිට අනන්‍යය වු ගමනක්. අද වෙනකොට අපි ශ‍්‍රාවකයන් ඉතාම ආදරයෙන් වැළඳගත්ත නැවුම් සහ ප‍්‍රශස්ත වැඩසටහන් ගණනාවක්ම දෛනිකව විකාශයට එකතු කරලා තියෙනවා. ආගමික, දේශපාලනික, අධ්‍යපනික වගේම රසවින්දනය පුළුල් කරන වැඩසටහන් ගණනාවක් ඒ අතර තියෙනවා. අවම සම්පත්වලින් ඉහළම ප‍්‍රතිඵල ලැබීමේ ප‍්‍රතිපත්තියේ පිහිටා අපි කටයුතු කරන්නේ.
සටහන හා සේයාරූ - තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග