ජාතිවාදය කියන්නෙ ඉහළ සිට පහළට තල්ලු කරන දෙයක්. පහළම පන්තිවල මිනිස්සු ජාතිවාදී නෑ. වෙන විදිහකට කිව්වොත් ජාතිවාදය වගේ දෙයක් අෆෝර්ඩ් කරන්න තරම් ඒ පන්තිවල මිනිස්සුන්ට පුළුවන්කමක් නෑ. ඉහළම පන්තියෙ මිනිස්සුන්ටත් ජාතිවාදයෙන් ඇති වැඩක් නෑ. ඒ අය මේ ජාතික සීමාවලට එහායින් තමයි ජීවත්වෙමින් ඉන්නෙ. ජාතිවාදය කියන්නෙ ලංකාවෙ අලුත් මිඩ්ල් ක්ලාස් උන්ගෙ ගේම් එකක්. මේක ග‍්‍රාමීය එකක් නෙමෙයි. මේක හොඳටම නාගරික එකක්. මේ මිඩ්ල් ක්ලාස් එක එන්න එන්නම ලොකුවෙද්දී ජාතිවාදයත් ලොකුවෙනවා. පහළ පන්තිවල මිනිස්සු කරන්නෙ කඩේ යන එක විතරයි.
බැලූ බැල්මට අපිට පේන්නෙ රටේ නූගත්, කරකියාගන්න දෙයක් නැති, නන්නත්තාර පිරිස් ජාතිවාදය අවුලනවා වගේ. ඒත් ඇත්ත කතාව වෙනස්. ජාතිවාදය ඇත්තටම තියෙන්නෙ ඉංග‍්‍රීසි කතා කරන, ලොකු ලොකු ඉස්කෝලවලට ගිය, අපි උගත් බුද්ධිමත් කියලා රැවටෙන මිනිස්සු ළඟමයි.
ජාතිවාදය හැමතිස්සෙම ඇවිලෙන්නෙ බිස්නස් අරමුණක් වෙනුවෙන්. අද මුස්ලිම් අයට විරුද්ධ ජාතිවාදය ඇවිලෙන්නෙත් ඒ වුවමනාවටමයි. මුස්ලිම් ව්‍යාපාර අස්ථාවර කිරීම හරහා තමන්ගෙ ව්‍යාපාරික බලය වැඩිකරගන්න දඟලන සිංහල මුදලාලිලා ටිකක් තමයි මේ ජාතිවාදය අවුලන ඇත්ත පෙට‍්‍රල් සප්ලයි කරන්නෙ. කෘත්‍රිමව ඇතිකරන කලබල ඇතුළෙ කඩ සාප්පුම ගිනි තිය තියා ඇවිදින්න හේතුව ඒකයි.
නුවර ඇතිවෙච්ච සිද්ධියෙදී ෆේස්බුක් හරහා ජාතිවාදය පැතිරැවා කියලා අත්අඩංගුවට ගත්තෙ අවුරුදු දහසයක විතර කොල්ලෙක්. මේකෙන් තේරෙනවා අනතුර තියෙන තැන. ඉස්සර අවුරුදු දොළහ දහතුන වෙද්දී අතට අහුවෙන රුසියානු පොත් එහෙම මේ අලුත් පරම්පරාවට අහුවෙන්නෙ නෑ. ඒ පොත්වලින් පස්සෙ වාමාංශික ආබාධ ඇතිවෙන්න පුළුවන් වුණත් ජාතිවාදය වගේ පටු දැකීම්වල කොටු නොවෙන මහද්වීපික සිතීමක් ඒවායින් ලැබුණා. මේ අලුත් නව යොවුන් පරපුරට ඇසුරු කරන්න ලැබුණෙ තනිකරම ජාතිවාදී සංස්කෘතියක්.
අපේ අධ්‍යාපන පද්ධතියම මේ වෙද්දී වැඩ කරන්නෙ ජාතිවාදය පතුරන යාන්ත‍්‍රණයක් විදිහට. උගන්වන ගුරුවරු තමන්ගෙ හිතූමනාපයට මේ අදහස් හැදෙන අනාගත පරපුරට එන්නත් කරනවා. අපේ ඉතිහාසය ජාතීන් අතර සමගිය සංහිඳියාව ඇතිකරන ඉගැන්වීමක් විදිහට තුලනාත්මකව, දියුණු කියවීමකට ලක්කරන්න කාගෙවත් වෑයමක් නෑ.
තාමත් අපි සිංහල, දෙමළ, මුස්ලිම් විදිහට බෙදිලයි ඉස්කෝල පවත්වාගෙන යන්නෙ. සිංහල බෞද්ධ පාසල් වගේම ක‍්‍රිස්තියානි, මුස්ලිම් පාසල් වෙනම පවත්වාගෙන යාම කියන්නෙම ජාතිවාදය පවත්වාගෙන යාමක්. ජාතීන් අනුව පාසල් බෙදෙන්න අවශ්‍ය නෑ. විවිධ ජාතීන් විදිහට එකට පැවතීම හුරුවෙන්න තියෙන ප‍්‍රධානම අවකාශය, අපි ජාතිවාදී විදිහට අහුරලා තියෙනවා. ආණ්ඩුවට ඇත්තට ජාතිවාදය පිටුදකින්න ඕනනම් ලේසි තැන්වල කරන සෝබන අතපෙවීම් පලක් වෙන්නෙ නෑ. මේ නැවත නැවත උත්සන්න වෙන, එක එක ජාතීන් දිහාවට මැනෙන ජාතිවාදී ආයුධය සීරියස් විදිහට ඇඩ‍්‍රස් කරන්න නම් පුළුල් දැනෙන සුළු ව්‍යාපාරයක් ඕන කරනවා. ජාතීන් අතර විශ්වාසය ගොඩනැගෙන ලොකු සංකේතාත්මක වැඩක් ඕන වෙනවා.
මට දැනෙන විදිහට අපිට ජාතිවාදය පිටුදකින එක අපේ ජාතික කොඩියෙන් පටන් ගන්න වෙනවා.
මේ කොඩිය ඇත්තටම ජාතිවාදී කොඩියක්. මේ කොඩියෙ එළියෙ කෑල්ලෙ තීරු දෙකක් විදිහට සුලු ජාතීන් නිරූපණය කරන එකම වැරදි වැඩක්. විවිධ ජාතීන් එකට ජීවත්වෙන එක නිරූපණය කරන්න වෙනස් වර්ණයන් පාවිච්චි කිරීම සාධාරණයි. ඒත් ඒ ජාතීන්ගේ ප‍්‍රමාණයන් ජාතික කොඩියෙ නිරූපණය වෙන්න අවශ්‍ය නෑ. ඒ වගේම සිංහල මහ ජාතිය වෙනුවෙන් ලොකු රතු පදාසයක් සහ සුළු ජාතීන් පැත්තට කඩුව දික්කරගත්ත සිංහයෙක් දාන එක කොහෙත්ම ජාතීන් අතර සංහිඳියාව උනන්දු කරන තත්ත්වයක් නෙමෙයි. ජාතික කොඩිය ඇතුළට බෝකොළ වගේ බෞද්ධ කෑලි යොදාගැනීමත් විවිධ ආගම් අදහන පිරිස් එකට ජීවත්වෙන රටක් විදිහට සුදුසු වෙන්නෙ නෑ. මේ කොඩිය දකින දකින වතාවක සුළු ජාතිකයකුට එන හැඟීම වෙන්නෙ තමන් පිටමං කරන ලද සුළු තීරුවක් කියන හැඟීම විතරයි. මේ ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී ජාතීන් අතර සහ ආගම් අතර විවිධත්වය, සමානාත්මතාවය, එකිනෙකා අතර සහයෝගිතාවය වගේ කාරණා ගැන කිසි හැඟීමක් හෝ දැනුම්වත් බවක් තිබිලා නැති වග පැහැදිලියි.
මගේ සිහිනමය යෝජනාව වෙන්නෙ අපි ජාතික කොඩිය අලුතෙන් නිර්මාණය කරන තැනින් පටන් ගමු කියලයි.
මේ ආණ්ඩුව නිශ්චිතවම පවතින්නෙ තව අවුරුදු දෙකයි. හොරු අල්ලලා නෙමෙයි තව මොන මොන පෙළහර පෑවත් මේක ගොඩගන්න දැන් පරක්කු වැඩියි. ඒ හින්දා මේ ආණ්ඩුවට තියෙන හොඳම අවස්ථාව වෙන්නෙ සුවිශේෂ වෙනසක් වෙනුවෙන් නිර්භීත අලුත් පියවරක් තියන එකයි. ‘ඩූ ඕර් ඩයි’ වයිල්ඩ් කාර්ඩ් එකක් ගහන එකයි.
අලුත් ජාතික කොඩියක් කියන්නෙ ජනමත විචාරණයක් දක්වා යන්න අවශ්‍ය වෙන කාරණයක්. අමාරු වුණත් ඒක හොඳ තත්ත්වයක් විදිහටයි මම දකින්නෙ. අලුතෙන් ජාතික කොඩිය නිර්මාණය කරනවාට වඩා එහි අවශ්‍යතාවය, වටිනාකම මිනිස්සුන්ට කියලා දෙන කැම්පේන් එකයි වඩා වැදගත් වෙන්නෙ. ඒකම ජාතීන් අතර සංහිඳියාව සහ විවිධත්වයට ගරුකිරීම උගන්වන විශාල ව්‍යාපෘතියක්. අවුරුදු ගාණක් ගියත්, අන්තිමේදී පරාජය වුණත්, අපි සුබ දිශාවකට එක අඩියක් හරි තියන්න උත්සාහ අරගෙන තියෙනවා.
2000 දී ජොර්ජ් බුෂ් එක්ක ඩිමොක‍්‍රටික් පාර්ටි එකෙන් ඉදිරිපත් වුණේ ඇල්ගෝ. ඇල්ගෝ ගෝලීය උණුසුම්වීම ගැන පුළුල් පරිසර කතිකාවක් තමන්ගෙ කැම්පේන් එක කරගත්තා. ඒත් ඡන්දෙන් දින්නෙ ජොර්ජ් බුෂ්. නමුත් අද වෙනකල් මුළු ලෝකයෙම ගෞරවයෙන් වැළඳගන්නා චරිතය විදිහට ඉතිරි වුණේ ඇල්ගෝ.
මේකත් ඒ විදිහෙ වැඩක්. සුද්දාගෙන් පස්සෙ අපිට නිර්මාණය කරගන්න බැරිවුණු විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් ශ‍්‍රී ලාංකික ජාතිය නිර්මාණය කරන ව්‍යාපෘතියක්.
උදාහරණයක් විදිහට මට අනුව අපේ ජාතික කොඩිය විදිහට වඩාත් සුදුසු අපේ ක‍්‍රිකට් කොඩියයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හැමෝම එකම ජාතියක් විදිහට හිතන එකම තැන සහ හොඳම තැන ක‍්‍රිකට්. ඒ කොඩිය අපි හැමෝගෙම කොඩියක් කියන හැඟීම හැමෝටම තියෙනවා. පටිගහලා, කොටු කරලා එතන ජාතීන් වෙන්කරලා නෑ.
ජාතික කොඩිය වෙනස් කිරීම ගැන විවිධ මත ගැටේවි. විරෝධයන් අහස උසට නැඟේවි. ඒත් සංහිඳියාව ගැන කතිකාව බොරු රොමැන්ටික් තලවලින් ගැලවිලා මිනිස්සුන්ට ඇත්තට දැනෙන වැදෙන තැනකට ඒවි. විවිධ ජාතීන්ගේ එකමුතුව ශක්තියක් විදිහට සලකන අලුත් ශ‍්‍රී ලාංකික ජාතිය, ජාතිවාදයට එරෙහි ප‍්‍රබලම ගොඩනැංවීම වේවි.
ඒ අලුත් ජාතියේ කොඩිය දවසක නිල් අහසේ ලෙළදේවි. එය සැබෑවෙන තෙක් අපිට දරැණු අදහස් සටන් තියේවි.
ඒත් මේ රටේ පුරවැසියෙක් විදිහට මම දකින්න කැමති, කැපවෙන්න කැමති අනාගතය ඒකයි. ඒ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම කාලයක් කිසිම මුදලක් නැතුව මගේ උපරිමයෙන් වැඩ කරන්න මම ලෑස්තියි.
ඒ මගේ හීනයයි.
චින්තන ධර්මදාස