2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

පර්සනැලිටිය සහ වෙස්මුහුණු

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 117

“ඔයාලා දන්නවද අපි කෙනෙක්ගේ පර්සනැලිටිය චෙක් කරලා බලන්නෙ කොහොමද කියලා?” 

මීට ටික කාලෙක උඩදී දේශනයක් අතරතුර එක්තරා ඇදුරුතුමෙක් අපෙන් ඇහුවා. 

කට්ටිය එක එක උත්තර දුන්නා. අපි ඇවිදින විදිහට, අපි අඳින පළඳින විදිහෙන්, කතාබහ කරන විදිහෙන්, කෑම මේසේ හැසිරෙන විදිහෙන් ආදී නොයෙක් උත්තර ළමයින්ගෙන් ලැබුණා. ඒත් ඒ එකක්වත් හරි උත්තරේ විදිහට බාරගැනුණෙ නෑ. 
“කෙනෙක්ගෙ පර්සනැලිටිය බලාගන්න පුළුවන් එකම අවස්ථාවයි තියෙන්නෙ. ඒ තමා ඒ පුද්ගලයා තනියම ඉන්න වෙලාවට” ඇදුරැතුමා හරි උත්තරේ දුන්නා. 

ටිකක් හිතලා බැලුවම කතාව හරියටම හරි. අපි පර්සනැලිටිය කියලා මතුකරගෙන ඉන්න ගොඩක් දේවල් අපේ ඇතුළේ ඇත්තට තියෙන දේවල් නෙමේ. අපි අඳින පළඳින විදිහ, කතාබහ කරන විදිහ මේ කිසිම දෙයක් සීයට සීයක් අපේ නෙමේ. අපි කොහෙන් හෝ අහුලගත්තු අපිට හොඳයි කියලා හිතෙන මූණු ටිකක්. 

බටහිර මහා නාට්‍යවේදියා වෙච්චි ෂේක්ස්පියර් කිව්වෙත් ලෝකය රඟමඬලකි, අප සැම එහි නළු නිළියන් වෙමු කියලයි. ඇත්තටම ජීවත්වෙන්න පටන් ගත්තු දා ඉඳන් අපි කරන්නෙ රඟපාන එකයි. අම්මා තාත්තා ඉස්සරහ එක මූණක්, ඉස්කෝලෙදී තව මූණක්, කන්තෝරුවෙදී තව මූණක්, එක එක යාළුවෝ ඉස්සරහට එක එක මූණු, සල්ලිකාරයා ගාව එක මූණක්, හිඟන්නා ඉස්සරහා තව මූණක්, මැජේස්ටික් සිටි එකේදී එක මූණක්, පිටකොටුවෙ මල්වත්ත පාරෙදී එක මූණක්, මේ විදිහට මූණු ගොඩක් අපි පාව්චිචි කරනවා. 

මේ මූණු සේරම එක්ක ජීවත්වෙන එක ලේසි කාරණයක් නෙමේ. ඒක හරිම සංකීර්ණ කාරණයක්. අවශ්‍ය මුහුණ අවශ්‍ය වෙලාවෙදී නාවොත් ලොකු අවුලක්. එතකොට තමා මෙයා අරහෙම කෙනෙක්, එයා මෙහෙම කෙනෙක් කියලා අනිත් අය හිතන්න කියන්න ගන්නෙ. ඒ ඒ මොහොතෙදී ඒ ඒ මුහුණු ඉබේටම අපේ ඇත්ත මූණ ඉස්සරහ වැටුණත් හිටපු ගමන් උඩින් දාපු මූණ ගැලවිලා යටින් තියෙන මූණ එළියට එනවා. ගොඩක් අය කට වරද්දගන්නෙත් ඔය වගේ වෙලාවට තමයි. 

අර කිව්වත් වගේ අපි හැමෝම හොඳ නළු නිළියෝ තමා. ඔස්කාර් නොගැහුවට ඔස්කාර් මට්ටමේ රංගනයක් අපි හැමෝටම කරන්න පුළුවන්. හැබැයි මේ රංගනය වැරදියි කියලා කියන්නත් අමාරැයි. මොකද ඒක අවස්ථානුකූලව සිද්ධවෙන වැඩක්. 

කෙනෙක්ගේ පර්සනැලිටිය කියලා අපි දකින්නේ මේ මුහුණු එකතුවේ මුහුව කිව්වොත් හරියටම හරි. හැඟීම්බර විය යුතු වෙලාවට හැඟීම්බර වෙන ප්‍රමාණය, නිර්භීත වෙන්න ඕනෙ, එඩිතර වෙන්න ඕනෙ වෙලාවට ඒ නිර්භීත එඩිතර බවේ ප්‍රමාණය, ආදරණීය වෙන්න ඕනෙ වෙලාවට ආදරණීය බවේ ප්‍රමාණය වගේ දේවල් අනුව (ඒ ඒ මූණු අනුව) අපි අනිත් අයගේ පර්සනැලිටිය තේරුම් ගන්නවා. 

ඇත්තටම මේ මූණු ගලවලා ඇත්ත මූණෙන් සමාජයේ ජීවත් වෙන්නත් අපිට පුළුවන්කමක් නෑ. එහෙම ඉන්න ගියොත් වෙන්නෙම කොන්වෙන්නයි. හැබැයි අපි ජීවත් වෙන්නෙත් අපි වටේ ඉන්න අනිත් හැමෝම වගේ ජීවත් වෙන්නෙත් එක එක මූණු දාගෙන කියලා තේරුම් ගන්න එකනම් සෑහෙන වැදගත්. 

  ජා