2018 මාර්තු 31 වන සෙනසුරාදා

වසර 92 සිල්මාතාව මරාදැමු නරුමයා කවුද?

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 93

ලුණුගම්වෙහෙර නව නගරයේ අඩිසීය පාරේ පිහිටි සුභද්‍රා සිල් ආරාමයේ වාසය කළ සුභද්‍රා නැමැති වයෝවෘද්ධ සිල් මාතාව මරණයට පත්ව තිබුණේ ඉකුත් (24) සෙනසුරාදා අලුයම් කාලයේදීය. සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ මෙය සාමාන්‍ය මරණයක් නොව ගෙල සිරකරමින් සිදුකළ මිනීමැරුමක් බවය. වයස අවුරුදු 92ක් වූ සුභද්‍රා මාතාව දියණියන් තිදෙනකුගේ මවකි. දියණියන් විවාහ වී වෙනත් ප්‍රදේශවල ජීවත් වූ නිසා මැය බොහෝ කාලයක සිට තනිවම ජීවත් වූවාය. එයින් වසර තිස් දෙකක් පමණ ඇය සිල්මාතාවක් වශයෙන් හුදෙකලා ජීවිතයක් ගත කළාය. ලුණුගම්වෙහෙර අඩිසීය ප්‍රදේශයේ උපන් ගම වූ ඇයට ගම හුරුපුරුදුය. පිටස්තර කරදරයක් හිරිහැරයක් නොවුණු ඇය සිය නිවසේම රැඳී සිටියාය. වයෝවෘද්ධ තත්ත්වයෙන් පසු වූ ඈ ඝාතනය වන්නට වසර ගණනාවකට පෙර සිටම හැරමිටියක ආධාරයෙන් ගමන් කළ අතර සෑම අවස්ථාවකම ස්වභාවයෙන්ම කොන්ද කුදු වී සිටියාය. එසේ වුවද ඇයට විශේෂයෙන් උපස්ථාන කිරීමට ප්‍රදේශවාසීන්, ඥාතීන් හෝ ඇගේ දියණියන් පැමිණියේ නැත. හැකි පමණින් ඇවැසි කටයුතු ඇය විසින්ම සිදුකර ගත්තාය.

පර්චස් 40ක ඉඩමක පිහිටි පුංචි නිවසේ කල්ගෙවූ ඇය සිල්මාතාවක වුවද නිවස පරිශ්‍රයේ විශේෂ පෙනුමක් නොවීය. පන්සලක හෝ ආරාමයක මූලික ලක්ෂණ හෝ නොවූ නිවෙස සාමාන්‍යය. උපාසිකාවකගේ ස්වරූපයෙන් තනිවම ජීවත් වූ ඇයගෙන් ගම්මුන්ට කිසිදු බාධාවක් නොවීය. අවුරුදු 92 ක් වුවද යහපත් මානසිකත්වයෙන් කටයුතු කළාය. ඇගේ වැඩිමහල් දියණිය ප්‍රේමාවතී වූවාය. සිල්මාතාව ඝාතනය වන්නට මාස තුනකට පමණ ඉහතදී පැමිණ ගිය ඇයද මව සමඟ වැඩි ඇසුරක් පැවැත්වූයේ නැත. 

කාලයක සිට සිල්මාතාවගේ එකම අදහස වී ඇත්තේ නිවස ඉදිරිපිට බුදු මැඳුරක් සාදාගැනීමටය. ඒ පිළිබඳ දැනගෙන තිබූ සිල්මාතාවගේ ඥාති පුත්‍රයෙක් ඊට උපකාර කළ බව කියැවිණි. ඒ අනුව බුදු මැඳුරකට සුදුසු ස්ථානයක් ගොඩනංවා තිබූ අතර එහි බුදුපිළිමයක් තැන්පත් කර තිබුණේ නැත. එහෙත් සිල්මාතාව පියවර ගෙන තිබුණේ මාර්තු 26 වැනිදාට බුදුපිළිමයක් තැන්පත් කර බුදු මැඳුර විවෘත කිරීමටය. ඒ සඳහා ගමේ අසල්වැසියන්ට දන්වා ආරාධනය කර තිබූ බවද වාර්තා විය. බුදු මැඳුර විවෘත කිරීමට තිබුණේ තවත් දින 4 කි. සුපුරුදු පරිදි නිවසේ කල්ගෙවූ සිල්මාතාව අඳුර වැටෙත්ම ගේ තුළට වූවාය. වෙනදා මෙන් ගෙදර මිදුල කෙළවර ලී කඩුල්ල හරස් කළාදැයි නිච්චියක් නැත. කාමරයට වැදුණු ඇයට කාමරයේ දොර අගුළු දැමුවාද මතක නැත. මේ අතර කල් ඇතුවම ඇය නින්දට වැටුණාද යන්න දකින්නට කිසිවෙක් සිටියේ නැත. මෙසේ ගෙවුණේ පසුගිය 22 වැනිදා රාත්‍රියයි.

පසු දිනට උදාවූයේ 23 වැනි සිකුරාදා දිනයයි. පුරුදු ලෙසින් සිල්මාතාව නිවසේ හෝ අසල්වාසියේ පෙනෙන්නට නොසිටියාය. මේ පිළිබඳව සෝදිසි කර තිබුණේ අසළ නිවෙසක කාන්තාවකි. ඇය දකින විටත් වැට කඩුල්ල හැරදමාය. ගෙදර දොර විවෘත කර තැබූ විලසමය. ඇය සුභද්‍රා මාතාවට හඬ නැගුවද පිළිතුරක් හෝ නොවීය. ගේ අවට වැසිකිළියෙත් නොවූයෙන් ගෙට එබිකම් කළාය. කාමරයේ ඇඳ මත වැතිර උන් ඇයට කතා කළද හැලහොල්මනක් නොවීය. මේ නිසා කිට්ටුවට ගිය කාන්තාව අත සිරුරට තබා සෙලවූවාය. ඇගේ සිරුර අයිස් කුට්ටියක් තරමට සීතලය. සිල්මාතාව මරණයට පත්ව ඇතැයි දැනුණේ එවිටය. වහා පිටවූ කාන්තාව අසල්වාසීන්ට සහ ඥාතීන්ට තොරතුරු දන්වන්නට ක්‍රියා කළාය. මේ අතර ඥාතීහු පැමිණ සිද්ධිය ග්‍රාමසේවකවරයාට සහ පොලීසියට දන්වා හදිසියේ වූ මරණයක් නිසා සිරුර රෝහල වෙත රැගෙන ගියහ. එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අතර වෛද්‍ය වාර්තාවේ නිගමනය වූයේ සිල්මාතාවගේ මරණය සාමාන්‍ය මරණයක් නොව මුඛය සහ නාසය සිරකිරීමෙන් පසුව හුස්ම හිරවීම හේතුවෙන් බෙල්ල බිඳී සිදුවූ මරණයක් ලෙසය.

එතෙක් වේලා සාමාන්‍ය මරණයක් වශයෙන් විශ්වාසය තැබූ ඥාතීන් සහ ගම්වාසීන් පමණක් නොව ලුණුගම්වෙහෙර පොලීසියේ නිලධාරීන්ද විස්මයට පත්වූයේ ඉන් පසුවය. සිල්මාතාවගේ මළසිරුර තිබූ කාමරය නිවස හෝ අවට කිසිදු සැකසහිත සාක්ෂියක් නොවීය. මරණයට පත් අයගේ සිරුරේ කිසිදු වෙනසක් හෝ සීරීමක් නොවීය. මරණය පසුපස තවම ඇත්තේ අබිරහසකි.

එහෙත් වාර්තා වන පරිදි කාන්තාව නින්දට යාමේදී හෝ විශේෂයෙන් රාත්‍රියට ලී කඩුල්ල වැසීම, ඉදිරිපස හා පසුපස දොර වැසීම මෙන්ම කාමරයේ දොර වැසීම පුරුද්දකි. එහෙත් ඝාතනය වූ දින ඇය ඒ සියල්ල සිදුකර තිබුණේ නැත. රාත්‍රියට ඇය නිවසේ දොර අරිනවා නම් ඒ සිය ඥාතියකුට පමණය. එදින කිසිදු ඥාතියෙක් පැමිණියේ නැත්නම් ඝාතකයා කවරෙක්ද? සිල්මාතාව ඝාතනය කිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද? ඇය සතු එකම වස්තුව පර්චස් 40 ඉඩම පමණය. සිල් ආරාමයේ වෙනත් වටිනා යමක් නොමැති නම් ඝාතනය ගැටලුවකි. සිල්මාතාව වයෝවෘද්ධ වුවද හොඳ සිහිනුවණින් යුක්ත වූවාය. යම් කාරණයකට අනවසරයෙන් ආරාමයට පැමිණි පුද්ගලයෙක් සිල්මාතාව හඳුනාගැනීම නිසා තොරතුරු වසං කිරීමේ චේතනාවෙන් එවැනි අයෙක් මේ අපරාධය සිදුකළාද? මෙවැනි ගැටලු රාශියක් පොලීසිය හමුවේ පවතී.

මෙවැනි විශේෂ අන්ත ඔස්සේ ලුණුගම්වෙහෙර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.පී. දසනායක සහ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මුනිදාස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විමර්ශන සිදුකරති.
 
►සමන්ත ප්‍රදීප් විල්තෙර