2018 මාර්තු 17 වන සෙනසුරාදා

දිස්ත්‍රික් 6ක ලක්ෂ ගණනාවක් පිපාසෙන් ; හාමතෙන්

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 0

අද වෙනකොට අපි අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ. හැතැප්ම ගාණක් දුරට යන්න ඕන බොන්න වතුර ගේන්න. කිසිම දෙයක් හරියට කරගෙන යන්න විදිහක් නැහැ. කාෂ්ටක අව්වට  පොළව වේලිලා ඉරි තලලා තියෙන්නේ.
නියඟය මේ දිනවල වැඩිපුරම කථාවන මාතෘකාවක් බවට පත් වී ඇත්තේය. තැනින් තැන වැසි වැටුණ ද වසර දෙකකට ආසන්න කාලයක් පැවතෙන නියඟය නිමා කිරීමට තවමත් වැස්ස සූදානම් නැත. ඒත් සමඟම තවත් මාතෘකා කිහිපයක් කරළියට පැමිණ ඇත.

ඒ පුරන් වී යන කුඹුරු, පාළු වූ හේන්, නියඟයට හසු වූ වගා මෙන්ම දිස්ත්‍රික්ක හයකට පමණ බලපා ඇති දැඩි නියඟය නිසා ජල හිඟයට මුහුණ දෙන සතා සිව්පාවුන් පිළිබඳවය. මෙරට කෘෂි කර්මාන්තයෙන් විශේෂයෙන්ම කුඹුරු ගොවිතැනින් මෙම ප්‍රදේශ වැඩියෙන් ආවරණය වෙයි. නමුත් දරුණු නියඟය නිසා මේ වනවිට එම තත්ත්වය සහමුලින්ම වෙනස් වී ගොසිණි. වර්ෂයේ යම් කාලයකදී මෙරටේ නියඟයක් ඇති වීම සාමාන්‍යය තත්ත්වයකි. එදා වැසි නැති කාලවලට ඔරොත්තු දෙන්නට රජරටට හැකියාව තිබුණේය. ඒ රජරට වැව් බැඳි රාජ්‍යයක් වූ නිසාය. එහෙත් එදා බැඳි වැව් අද නියඟයට පෑදී ගොසිණි. රජරටට පමණක් නොව උතුරට මෙන්ම වයඹට ද මෙම තත්ත්වය එකසේ බලපාමින් තිබේ. කුඹුරු අක්කර දහස් ගණනක් පුරන් වී ගොසිණි. එවන් වටපිටාවක් තුළ වැව් බැඳි රාජ්‍යයේ ගොවි මහතකු මෙන්ම උතුරැ මැද පළාත් මහජන සංසදයේ සම ලේකම් ටෙරන්ස් ගාමිණි මහතා නියඟය හේතුවෙන් රජරට කෘෂි කර්මාන්තය මුහුණ දී ඇති තත්ත්වය මෙසේ පැහැදිලි කළේය.

පහුගිය අවුරුදු දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ රජරට ගොවීන්ට ගොවිතැන අහිමිවෙලා තියෙනවා. මේ ආකාරයට ගොවීන්ට මේ වනවිට පිට පිට කන්න පහක් හයක් වගා කරගන්න බැරිවෙලා තියෙනවා. ඒ වගේම අද ගොවීන්ට යැපෙන්න වෙලා තියෙන්නේ සහනාධාර මත. බොන්න වතුර හොයන්න ඕන. අද මේ රජරට ගොවියන් කබලෙන් ළිපට වැටිලා ඉන්නේ. වේල් තුනටම බත් කාලා හිටපු අපිට අද කඩෙන් හාල් ගෙනත් කන්න තරමටම මේ නියඟය දරුණු වෙලා තියෙන්නේ. හරියට වැස්සක් දෙකක් වැටෙනකම් අපිට මේ දුක විඳින්න වේවි.

වසර පහ හයකට වරක් නියඟයට මුහුණ දෙන්න සිදුවීම ශ්‍රී ලංකාවේ දේශගුණික රටාවේ එක්තරා ලක්ෂණයකි. නමුත් අද වනවිට තිබෙන තත්ත්වය ඉතා බැරැරුම්ය. වැව් සිඳී ඇත. ළිං සිඳී ඇත. සමහරැ බීමට වතුර ටිකක් සොයා සැතපුම් ගණනක් ඇවිදිති. නියඟයෙන් බැට කෑ පුත්තලම මහකුඹුක්කඩවල ටී. ආර්. එම්. කේ. තෙන්නකෝන් මහතා දේශයට මෙලෙස අදහස් දැක්වීය.

අද වෙනකොට අපි අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ. හැතැක්ම ගාණක් දුරට යන්න ඕන බොන්න වතුර ගේන්න. කුඹුරු ඔක්කොම පාළු වෙලා ඉරි තලලා තියෙන්නේ. කිසිම වගාවක් කරගන්න බැහැ. ගස්වල කොළ කහපාට වෙලා වේලිලා ගිහින් තියෙන්නේ. මේ ප්‍රදේශයේ ගොවිතැනෙන් ජීවත් වුණු ජනතාව තමයි ගොඩක් හිටියේ. නමුත් ඒ ඔක්කොටම අද වෙනත් රස්සාවලට යන්න වෙලා වතුර හොයාගෙන. විසකුරු සතුන් එහෙම කැලෙන් එනවා. පොඩි අය ඉන්න තැන්වල ඒ ගැනත් අවධානයෙන් ඕන ඉන්න. අපිට කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. මොනවා කරන්නද කියලා තමයි අපි මේ දස අතේ කල්පනා කරන්නේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පසුගිය මස 25 වැනිදා නිකුත් කෙරුණු වාර්තා අනුව දිස්ත්‍රික්ක හයක පුද්ගලයන් දෙලක්ෂ අනූපන්දහසක් පමණ පීඩාවට පත්ව සිටිති. පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 66,436ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 17194ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 3189ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 4789ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 250ක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 150ක් වියළි කාලගුණ බලපෑම නිසා පීඩාවට පත්ව සිටිති.

මේ අතර පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අනුරාධපුරයේ ප්‍රදේශ ගණනාවක ගොවීන්ට කන්න කිහිපයක වගාව අහිමි වී තිබේ. විශේෂයෙන් මහවිලච්චිය සහ මහකනදරාව වැව් යටතේ වගාවන් සිදුකරන ගොවීන්ට අඛණ්ඩව කන්න පහක් වගාවන් සිදු කිරීමට ඉඩකඩ අහිමිව තිබේ. ඒ ප්‍රමාණවත් ලෙස ජලය මෙම වැව්වල එකතු නොවීම හේතුවෙනි. එළඹෙන යල් කන්නය ද මේ වනවිට පවතින තත්ත්වය අනුව මඟහැරීමේ අවදානමට ලක්ව ඇත. පදවිය වැව, හුරුළුවැව, නාච්චදුව, රාජාංගනය වැව, වාහල්කඩ වැව, මානක්කට්ටිය වැව, නුවරවැව, තිසා වැව, බසවක්කුලම වැව ආදි දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරි ජලාශ යටතේ ද ඉකුත් කන්න හතරක් තිස්සේ සමස්ත භුමිය වගා කිරීමේ ඉඩකඩ උදාවූයේ නැත. 

අනුරාධපුරයේ ගොවිජන සේවා බල ප්‍රදේශ 41 ක ග්‍රාමීයව පිහිටි කුඩා කොටු වැව් සහ සුළු වාරිමාර්ග යටතේ වගාව ඉකුත් කන්න කිහිපය තුළ 10%නොඉක්මවු බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. කන්න කිහිපයක් තිස්සේ අතහැරී තිබූ හේන් වගාව මෙවර මහ කන්නයේ යම් පමණකට ගොඩ ගිය ද සමහර තැනෙක වැසි නොලැබීමෙන් පීදී ආ බඩඉරිඟු වගාව ආදිය මැලවී ගිය බව ගොවීහු කියති. කලාවැව කේන්ද්‍රීයව පවතින මහවැලි එච් කලාපයේ මෙවර මහ කන්නයේ වගාව ද සමස්ත භුමියෙන් අඩකට මඳක් වැඩි ප්‍රමාණයකට සීමා විය. එච් කලාපයේ නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය පැවසුයේ එළැඹෙන යල් කන්නයේ වගාව පිළිබදව තවමත් නිශ්චිත අදහසක් පැවසිය නොහැකි බවය.  
මතුව ඇති තත්ත්වය හේතුවෙන් විශේෂයෙන් ග්‍රාමීය කුඩා වැව් සිදී යෑමෙන් ස්නානය සහ සනීපාරක්ෂක කටයුතු සදහා ජලය සපයා ගැනීම සමහර ප්‍රදේශවලට ගැටලු සහගත වී ඇත. විශේෂයෙන් කැබිතිගොල්ලෑව, කහටගස්දිගිලිය, හොරොව්පතාන, මහවිලච්චිය, තන්තිරිමලය, පලාගල ආදි ප්‍රදේශවල ජනයා මේ හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටිති. පානීය ජලය සපයා ගැනීම ද ගැටලුසහගත වී ඇත. බවුසර් මගින් ජලය සැපයීමට පියවර ගෙන තිබුණද ප්‍රමාණවත් නොවීම පිළිබද ගැටලු එහිදී ද මතුව තිබේ. 

පවතින අධික නියඟය සහිත කාලගුණය හේතුවෙන් පුත්තලම දිසාවේ ද දසදහස් ගණන් ජනතාව පීඩාවට පත්වී සිටින්නේ වසර දෙකකට වැඩි කාලයක සිටයි.

තවමත් මේ දිසාවට නිසි වර්ෂා පතනයක් නොලැබීම තුළ කන්න හතරක් ගොඩ මඩ වගා කටයුතු කිරීමට නොහැකිව ගොවිහු අසරණ වී සිටිති.

වසර දෙකක කාලයක් තුළ වරින්වර සුළු වැසි ඇද හැලුන ද එම වැසි මහපොලොව තෙමන්නටවත් ප්‍රමාණවත් නොවීම තුළ වැව් අමුණු ජලාශ සිඳී වියලී ගොස් ඇත.

බත බුලතින් තම දෛනික දිවි පෙවත ගෙවූ ගොවීන්ට තාවකාලිකව වෙනත් රැකියාවක් සොයා ගැනීමට සිදුවී තිබේ. වැව් අමුණු සිඳීයාම හේතුවෙන් දෛනික කටයුතු සඳහා ජලය සොයා ගැනීමට බොහෝ දුර ගමන් කිරීමට ජනතාවට සිදුවී ඇත. බීමට ලබා ගන්න ජලය ලීටරයක් සඳහා රුපියල් තුනක් පමණ වැය කිරීමට සිදුවී ඇති අතර රැකියා අහිමි ජනතාවට ජලය මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. පුත්තලම දිස්ත්‍රික්කයටම තදින් බලපා ඇති නියඟය මහජනතාවට පමණක් නොව සතා සිවුපාවුන්ටත් එලෙසම දැනී ඇත. නියඟයෙන් පීඩාවට පත්වී ඇති ජනතාව කොතෙක්දැයි නිශ්චිතව කිවහැකි ආකාරයේ  සමීක්ෂණයක් සිදුකිරීමට කිසිම ආයතනයකට නොහැකිවී ඇත. ආපදා කළමනාකරණ ආයතනය සදහන් කරන ප්‍රමාණයට වඩා විශාල පිරිසක් නියඟයෙන් පීඩාවට පත්වී සිටින බවට ඇතැම් පාර්ශ්ව චෝදනා නගති. බොහෝ ප්‍රදේශවල සංචාරය කළවිට දැන ගැනීමට හැකිවූයේ කිසිම සමීක්ෂකයකු නොගිය ප්‍රදේශ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඇති බවයි.

►හසිත් අංජන 
පසුබිම් වාර්තාතඹුත්තේගම ප්‍රදීප් රණතුංග
පුත්තලම රෝවන් පෙරේරා