2018 මාර්තු 10 වන සෙනසුරාදා

හීනටිකුඹුර පුදබිම අසූචි වළක් වෙයිද?

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

හීනටිකුඹුර පුදබිම දුගඳින් පුරවමින් අපගේ හුස්ම ගැනීමේ අයිතියත් අපට අහිමි කරන... අසූචි පිරිපහදු කිරීමේ ව්‍යාපාරය වහාම නවත්වනු... අසූචි කුඹුරට යැවීම නවතා දමනු... ගම වනසන මළපහ පද්ධතිය වහාම ඉවත් කරනු...  මෙවැනි වැකි සහිත පුවරු රැගත් ප්‍රදේශවාසී ජනතාව දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය 2 වැනිදා පෙරවරැවේ උතුරු තලංගම හීනටිකුඹුර වෙල්යාය අසල දී නිහඬ විරෝධතාවයක් පැවැත්වීමට ගම්වාසීහු එක්ව සිටියෝය. අනතුරැව මේ වනවිට ඉහත කී පුවරු හීනටිකුඹුර ප්‍රදේශයේ ප්‍රදර්ශනයට තබන්නට ප්‍රදේශවාසීන් ක්‍රියා කර තිබේ.

කෝට්ටේ රාජධානිය සමයේ දළදා වහන්සේට ආහාර පූජාව සඳහා හීනටිහාලේ දානය සපයන්නට හීනටි වී වගාකර තිබුණේ වර්තමාන උතුරැ තලංගම ප්‍රදේශයේ ස්ථානයකය. එසේම මෙම වෙල්යායෙන් ලැබූ හීනටි වී අස්වැන්න එවකට රජවාසලට පිළිගන්වා ඇති බවද පුරාවෘත්ත පවතී. මේ හේතුවෙන් එකී වෙල්යාය සහ ප්‍රදේශය හීනටිකුඹුර වශයෙන් ප්‍රසිද්ධව ඇති බවත් එය කලපලුවාව - කොස්වත්ත මාර්ගය පසෙක පිහිටා ඇති බවත් කියැවේ. අදත් හීනටිකුඹුර වශයෙන් ප්‍රසිද්ධ වෙල්යාය අසබඩ සැළලිහිණි සංදේශයේ සඳහන් වල්අම්බලම පිහිටා තිබී ඇති බවටත් මතයකි.

මෙම ඓතිහාසික වැදගත්කමින් යුත් හීනටිකුඹුර වෙල්යාය ගොඩකර කුඹුරුයාය පමණක් නොව ප්‍රදේශයේ සමස්ත පරිසරයම ගඳ ගස්වමින් විනාශ කරන අසූචි පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සූදානමක් ඇතැයි හීනටිකුඹුර වෙල්යාය සුරුකීමේ සංගමය චෝදනා කරයි.

හීනටිකුඹුර වෙල්යාය පිහිටා ඇත්තේ කොළඹ නගරයට ආසන්න තලංගම කොස්වත්ත සිට කලපලුවාව දෙසට යන මාර්ගය පසෙකය. බත්තරමුල්ල දියත උයන උද්‍යානයට පෙනෙන දියවන්නා ඔය කෙළවර මෙහි එක මායිමකි. අක්කර 250 ක් පමණ වෙල්යායේ අක්කර 20 යි පර්චස් 31ක භූමි ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය සඳහා යොදවන්නට කටයුතු සිදුකෙරෙමින් ඇති බවට හීනටිකුඹුර වෙල්යාය සුරැකීමේ සංගමය පවසයි. සුන්දර වෙල්යායක් වන හීනටිකුඹුර තෙත් බිම් පරිසර සංවර්ධන කලාපයක් වශයෙන් පෙන්වා නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙකී කටයුත්ත සිදුකරන්නට කටයුතු කළ ද අදාළ වෙල්යාය අවට විශාල වශයෙන් ජනාවාස පවතින බැවින් අදාළ ව්‍යාපෘතිය එම ස්ථානයට නුසුදුසු බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.
වෙල්යාය අවට නිවාස සහ පදිංචිකරුවන් රාශියක් සිටින අතර හීනටිකුඹුර, වල්පොළ, විජිතපුර මාවත, ආරියසිංහලවත්ත, අග්ගොන, අම්බලන්වත්ත, හිඹුටාන පටුමග, මහයියාවත්ත, රුවන්පුර ආදී ප්‍රදේශ කුඹුරුයාය දෙපස පවතී. මේ හැර කොස්වත්ත, අංගොඩ, හිඹුටාන, කලපලුවාව ආදී ප්‍රදේශවල ජනතාව පවා මේ ස්ථානයේ ඉදිකෙරෙන බව කියන අසූචි පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියට එරෙහිව විරෝධතාවයට එක්ව සිටියෝය. විරෝධතාවය අතරතුර එම ස්ථානයට පැමිණි කඩුවෙල ප්‍රදේශීය ලේකම්වරිය වන නාගරික කොමසාරිස්වරිය පවසා තිබුණේ අදාළ ව්‍යාපෘතිය පිළිබඳ නිශ්චිත දැනුම්වත්භාවයක් නොමැති බවත් ඒ පිළිබඳ බලධාරීන්ට දන්වා ඉක්මන් විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවත්ය.

කුඹුරට අසූචි ටැංකි දාන එකට කාටද එකඟ වෙන්න පුළුවන්

ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ යෝජිත ව්‍යාපෘතියක් වන හීනටිකුඹුර ජලපවහන හා මළාපවහන ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දැක්වූ හීනටිකුඹුර පුරාණ විහාරයේ විහාරාධිපති වරාපිටියේ ආනන්ද හිමියෝ මෙසේ පැවසූහ.

දළදා වහන්සේට බත සැපයූ කුඹුර ගොඩ කරලා අසූචි පිරිපහදු කම්හලක් ඉදිකරන්නයි මේ සූදානම. මේ කුඹුරුයාය කෝට්ටේ රාජධානිය සමයේ සිට පැවතෙන එකක්. එවකට දළදා වහන්සේට හීනටිබත්වලින් දානය පිරිනැමීමට හීනටි වගා කළේ මේ පන්සල ඉදිරිපස කුඹුරු යායේ. ඒ නිසයි මේ ගමට හීනටිකුඹුර කියන්නේ. කුඹුරට අසූචි ටැංකි දානවා කියන්නේ ගමටම අසූචි දානවා වගේ වැඩක්. ඒ සඳහා දැනටමත් කුඹුරුයාය ගුවනෙන් ඡායාරෑප අරගෙන මැනලා තියෙනවා කියලා ආරංචියි. එක එක නිලධාරීන් එනවා අපට කරුණු කියන්න. නමුත් අපි ගම්වාසීන් කවුරුත් විරුද්ධයි මේ ව්‍යාපෘතියට. ඒ අයගෙ සැලසුම හරියට මේක නවසීලන්තය වගේ හදන්න. ඒකට මේ ගම්වාසීන් රුවටෙන්නේ නෑ. මෙහෙම දෙයක් හැදුවොත් ප්‍රදේශයේ ඉඩම් මිල බහිනවා. මිනිස්සු ගම දාලා යයි. අයිසින් කේක් ගෙඩියක් වගේ පෙන්නුවාට ඒවට රැවටෙන මිනිස්සු නෑ...

මේ අතර යෝජිත මළපවහන ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වන හීනටිකුඹුර වෙල්යාය සුරුකීම සංවිධානයේ කැඳවුම්කරැ උපාලි ලියනගේ මහතා,

මේක පෞරාණික කුඹුරු යායක්. වැහි දවසට අවටින් ගලන වතුර බැහැලා ගිහින් එකතු වන ස්ථානයක්. අවුරුදු කීපයක සිට කුඹුර පුරන්වෙලා තිබුණට සශ්‍රීක තෙත් බිමක්. අවට ගෙවල් සේරම හදලා තියෙන්නේ වෙලට මුහුණපාලා. කුඹුර අවට ඉතාම ජනාකීර්ණයි. නමුත් නිදහස් පරිසරයක්. ඒ වගේ තැනකට අසූචි පිරිපහදු කරන කම්හලක් හදන එක විහිළුවක්නෙ. ඒ වගේ දෙයක් ගමට, පරිසරයට, මිනිස්සුන්ට අහිතකරයි. ජනශුන්‍ය තැනක කරන්න අවශ්‍ය දේ මේ මිනිස්සු ගොඩක් මැද කරන්න හදනවා. ඊට විරැද්ධවයි අප මේ විරෝධතාවය පටන් ගත්තේ.

ගැටලු රැසක් මතුවෙනවා

හීනටිකුඹුර වෙල සුරුකීමේ සංවිධානයේ සභාපති ජයන්ත පියරත්න මහතා මෙසේ පැවසීය.

හීනටිකුඹුර තෙත් බිමක් වශයෙන් නම් කරලා තිබෙනවා. අවට පරිසරය නේවාසික ප්‍රදේශයක්. විශාල වශයෙන් ජනතාව පදිංචිවෙලා ඉන්නවා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මේකට අවසර දීලා තියෙන්නේ ජල ව්‍යාපෘතියකට අවසර දෙන විදිහට. ශක්‍යතා වාර්තා අරගෙනවත් නෑ. මේ ක්‍රමය ලෝකයේ දියුණු රටවලට හොඳයි. මේක මෙතන හදලා අනාගතයේ දී ගැටලු මතුවෙනවා. මුලදී හොඳට තියෙයි. ඊට පස්සෙ අවට පදිංචි ජනතාවට මොකද වෙන්නෙ? රත්මලාන සොයිසාපුර, රද්දොළුගම, ජයවැවගම වගේ තැන්වල මේ ව්‍යාපෘති තියෙනවා. දැන් ඒවායේ නිසි කළමනාකරණයක් නෑ. අවට ජනතාවට ගැටලු රැසක් මතුවෙලා. ඒවාට අවශ්‍ය නියමිත තාක්ෂණය හා නඩත්තුවට අවශ්‍ය මුදල් නැතිකමින් ගමේ මිනිස්සුන්ට ප්‍රශ්න ඇතිවෙලා. මිනිස්සුන්ට කියලා තියෙන්නේ මෙතන ඔසු උයනක් හදනවා කියලා. මේකට ගමේ අපි හැමෝම විරුද්ධයි

මේ පිළිබඳ අදහස් දැක්වූ සංගමයේ උප සභාපති මුදිත් මීමනගේ මහතා මෙසේ පැවසීය.

හීනටිකුඹුර වෙල ගොඩකරලා අසූචි පිරිපහදු මධ්‍යස්ථානයක් ආරම්භ කරන්නට පිඹුරුපත් සකසමින් ඉන්නවා. මෙතන හරිම ජනාකීර්ණයි. දැනටමත් පෞද්ගලික ඉදිකිරීම් ආයතනයක් එම කුඹුර ගොඩකරමින් ඉදිකිරීමක නිරතවෙලා ඉන්නවා. මේක තෙත් බිමක් විදිහට නම් කරලා තියෙනවා. මේ සඳහා ප්‍රදේශවාසීන් විරුද්ධයි. ඒකට අපි මේ විරෝධතාවය පටන් ගත්තේ. මේකට බලධාරීන් අවධානය යොමු නොකරනවා නම් විශාල වශයෙන් ජනතාව ඒකරාශි වී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙනවා.

හීනටිකුඹුර වෙල පිළිබඳ ගැටලුව නිසා පැවැත්වූ විරෝධතාවය හේතුවෙන් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කොට තිබුණි.

 කතාව/සේයාරූ
සමන්ත ප්‍රදීප් විල්තෙර