2018 මාර්තු 03 වන සෙනසුරාදා

සුද්දන් අතරේ නැගලා යන tuk tuk Trishaw

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 237

අද වනවිට ලංකාව පුරා ටුක් ටුක් ට්‍රයිෂෝ ප්‍රවාහන සේවයක් ව්‍යාප්ත වෙමින් පවතී. විශේෂයෙන් කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල දිවෙන මෙම අපූරු රථය ඉතා අලංකාරයෙන් යුක්ත වූ ත්‍රිරෝද රථයකි. ලාංකිකයන්ටත් වඩා මෙම ටුක් ටුක් ට්‍රයිෂෝ සේවයට වැඩිපුර ඇල්මක් දක්වන්නේ විදේශිකයන්ය.

1930 වසරේදී ජපානයේ නිෂ්පාදිත වූ මෝටර් රික්ෂෝව පසුකාලයේදී දකුණු ආසියාතික රටවල්වල ප්‍රධාන නගරයන්හි ප්‍රධාන ප්‍රවාහන සේවය ලෙසින් ප්‍රචලිත විය. මේ නිසා ටුක් ටුක් ට්‍රයිෂෝ ලෙසින් හඳුන්වන මෙම ප්‍රවාහන සේවය මේ වනවිට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතී.

&2015 වසරේ අවසන් කාලයේදී තමයි මෙම ටුක් ටුක් ට්‍රයිෂෝ සෆාරි සර්විස් ආයතනය ආරම්භ කළේ. මෙම ආයතනයේ ප්‍රධානියා වන්නේ ජිමාල් උදයංග මහත්මයා. කොළඹ නගරයට පැමිණෙන විදේශිකයන්ට නැරඹීමට ස්ථාන විශාල ප්‍රමාණයක් නැහැ. බොහෝ විදේශිකයන් කොළඹට පැමිණෙන්නේ තැන් කිහිපයක් බලන්නයි. නමුත් කොළඹට එන විදේශිකයන්ට වෙනත් විදිහේ අත්දැකීමක් ලබලා දෙන්න තමයි මේ ආයතනය ආරම්භ කළේ.
කොහුවල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ටුක් ටුක් ට්‍රයිෂෝ සෆාරි සේවයේ කුසල් වැදිසිංහ මහතා දේශයට එසේ අදහස් දැක්වීය.

මේ වනවිට ටුක් ටුක් ට්‍රයිෂෝ වැඩි වශයෙන් ප්‍රචලිත වන රට වන්නේ තායිලන්තයයි. බැංකොක් නගර වැසියන්ගේද ප්‍රධාන ජීවනෝපායක් වන්නේ ටුක් ටුක් ට්‍රයිෂෝ සේවයයි. විශේෂයෙන් බැංකොක් වෙත පැමිණෙන විදේශිකයන් තම ගමන් බිමන් මෙන්ම සාප්පු සවාරි යන්නේද ටුක් ටුක් ට්‍රයිෂෝ සේවාවෙනි. අද වනවිට බැංකොක් නගරයේ ටුක් ටුක් ට්‍රයිෂෝ 20,000ක් පමණ ප්‍රවාහනයේ යෙදේ.

වර්තමානයේදී ලංකාවේ තායිලන්තය තරම්ම ටුක් ටුක් ට්‍රයිෂෝ සේවය ප්‍රචලිත නැතත් විදේශිකයන්ගේ වැඩි නැඹුරුවක් ඒ වෙතම යොමු වී තිබෙනු දැකිය හැක.
කොහුවල ටුක් ටුක් ට්‍රයිෂෝ සෆාරියේ මේ වනවිට අලුතින් අලංකාර වූ ටුක් ටුක් ට්‍රයිෂෝ අටක් පමණ සේවයේ යොදවා තිබේ. ඒවා හරි අපූර්වත්වයකින් නිර්මාණය වී තිබේ.
අද අපි මේක අවුරුදු දෙකක් තිස්සේ කරගෙන යනවා. මුල් කාලවලදී අපේ ටුක් ටුක් ට්‍රයිෂෝ මනාළ යුවළ ගමන් කරනා මංගල රථය සඳහාත් ලබා දුන්නා. නමුත් මේ කාලයේදී විදේශිකයන්ගේ පැමිණීමත් එක්ක ඒ ඇනවුම් අපි බාරගන්නේ නැහැ. මෙම ආයතනයේ අපි ට්‍රයිෂෝ අටක් තියෙනවා. ගාල්ලේ ට්‍රයිෂෝ දෙකක් තියෙනවා... කුසල් වැඩිදුරටත් පැවසීය.

ගාලු නගරය විදේශිකයන් බොහෝ සංචාරය කරන නගරයකි. මේ නිසාම ටුක් ටුක් ට්‍රයිෂෝ සේවයට ගාලු නගරයෙන්ද ලැබෙනුයේ විශාල ඉල්ලුමකි. ඇතැම් දිනවල ඉල්ලුමට අනුව ට්‍රයිෂෝ දීමට නොමැතිකමින් විදේශිකයන් ආපසු හැරී යන අවස්ථාද එමටය. මේ ඉල්ලුම නිසාම ඉතා ඉක්මනින් තවත් ට්‍රයිෂෝ කිහිපයක්ම ගාලු නගරයට වෙන්කරලීමේ අඩිතාලම මේ වනවිට සැකසෙමින් පවතී. නමුත් එය ලේසි පහසු කටයුත්තක්ද නොවේ. ත්‍රීවීලරය නැවත සකසා වෙනස් කරලීමට අවසර ලබාගත යුතු අතර සාමාන්‍ය ත්‍රීවිලරයකට වඩා පහසුකම් කිහිපයක් අලුතින් ටුක් ටුක් ට්‍රයිෂෝ වට එකතු කෙරේ.

කොළඹ අපි අපටම වෙන්වුණු ගමන් මාර්ගයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අප අපේ විදේශිකයන්ට පිටකොටුව දෙවැනි හරස්වීදිය හරහා කොළඹ වටා තැන් කිහිපයකට ගෙන යනවා. ඒ අතරින් ගංගාරාම පන්සලටද ගෙනයනවා. විදේශිකයන් ගංගාරාම පන්සලට හරි කැමතියි. ඒ වගේම තමයි මුහුදු වෙරළට හරි කැමතියි. ඒ නිසා ගෝල්ෆේස් එකත් ඒ ගමන් මාර්ගයේ තවත් එක් ස්ථානයක්. කුසල් මහතා සඳහන් කරයි.

ටුක් ටුක් ට්‍රයිෂෝ රථයේ තවත් සුවිශේෂීකමක් වන්නේ ඉහළ වහළය ඇරිය හැකි පරිදි සකස් කර තිබීමයි. බොහෝ විදේශිකයෝ ආවරණය නොවූ රථවාහනවල ගමන් කිරීමට වැඩි කැමැත්තක් දක්වති.
ටුක් ටුක් ට්‍රයිෂෝ එක මාර්ගයේ ගමන් කරද්දී මාර්ගයේ ගමන් කරන මිනිසුන්ගේ අවධානය වැඩියි. ඒ නිසා ඒ අය දෙපාරක් තුන්පාරක් හැරි හැරී බලනවා. ඒ බැලීම බොහෝ විදේශිකයන් ප්‍රිය කරනවා. ඒ අය මාර්ගයේ ඉන්න අයට අත වනනවා. ඒ අය එක්ක හිනා වෙනවා. ඒකත් වෙනම අත්දැකීමක්. ට්‍රයිෂෝ එකේ ඉහළ ඇරීමට හැකිවන සේ නිර්මාණය වෙලයි තියෙන්නේ. බොහෝ විදේශිකයන් ටුක් ටුක් ට්‍රයිෂෝ එකේ වහළය ඇරී තියෙනවට කැමතියි. සමහර විදේශිකයන් වැස්සටත් එය ආවරණය කරන්නේ නැහැ.

ටුක් ටුක් ට්‍රයිෂෝ සෆාරියේ සවාරිය යන විදේශිකයන්ට එදිනට සිංහල ක්‍රමයට සැකසූ අපූරු දහවල් ආහාර වේලක් හෝ රාත්‍රී ආහාර වේලක්ද ලබාදේ. එයටද ඔවුන් දක්වන්නේ විශාල සතුටකි. සිංහල හාලෙන් පිසූ සිංහල කෑමවේල කන ඇතැම් විදේශිකයන් නැවත නැවතත් ටුක් ටුක් ට්‍රයිෂෝ සෆාරියේ යාමටද ප්‍රියතාවයක් දක්වති. බොහෝ විදේශිකයන් අප රටේ පවතින අව් රශ්මියට කැමතිය. බොහෝමයක් දෙනා දහවල් කාලයේදී මුහුදු වෙරළේ දිගා වී සිටීමට ප්‍රියතාවයක් දක්වති. මේ නිසාම මේ ගිනි ගහන මද්දහනයේදීද ටුක් ටුක් ට්‍රයිෂෝ රථයේ විදේශිකයන් ගමන් කරනුයේ ඉහළ ආවරණයද ඉවත්කර විවෘතව තබාගෙනය.

මෙම ටුක් ටුක් ට්‍රයිෂෝ රථයේ සාමාන්‍ය ත්‍රීවීලරයකට වඩා හාත්පසින්ම වෙනස් රථයක් ටුක් ටුක් ට්‍රයිෂෝ රථයේ විදේශිකයන්ට බීම දමාගෙන යන්න අයිස් පෙට්ටියක් තියෙනවා. ඒ අය කැමති ගීත අසන්නට හැකි වන සේ DVD යන්ත්‍රයක්ද තියෙනවා. අවශ්‍ය කරන කෑම බීම තබාගත හැකි වන සේ ට්‍රේ එකක්ද අසලම තියෙනවා. ආසන පටි සහිත ඉතා සුවපහසු ආසනවලින්ද මෙම ට්‍රයිෂෝ රථය සමන්විතයි. බොහෝ වෙලාවට මෙම රථයේ ගමන් කළ හැක්කේ විදේශිකයන් දෙන්නෙක්ට පමණයි. කණ්ඩායම් වශයෙන් යද්දී අපි එකපෙළට අපේ රථ සියල්ලම ගමන් කරනවා. ඒ යාමටත් ඔවුන් හරි කැමතියි. බොහෝවිට අපි මෙම සේවාව පවත්වාගෙන යන්නේ කොළඹ අවට විතරයි. දුරබැහැර ප්‍රදේශවල නොයාමට හේතුව වන්නේ ත්‍රිරෝද රථයකින් දුරබැහැර යාමේදී සිදුවන අපහසුතාවය නිසයි.
කුසල් වැදිසිංහ වැඩිදුරටත් පැවසීය.

මේ කාලයේදී ටුක් ටුක් ට්‍රයිෂෝ සෆාරි සේවයට වැඩිපුර කැමැත්තක් දක්වන්නේ යුරෝපීය රටවල්වල විදේශිකයන්ය. විශේෂයෙන් ඕස්ට්‍රේලියාව, අමෙරිකාව, එංගලන්තය වැනි රටවල්වල විදේශිකයන් මෙම ගමන් පහසුවට වඩාත් කැමැතිය. වසර දෙක තුළ කිහිප වතාවකදීම ටුක් ටුක් ට්‍රයිෂෝ සේවයෙන් ගමන් බිමන් ගිය විදේශිකයෝ කීප දෙනෙක්ද සිටිති. ඇතැම් විදේශිකයන් හිරු එළියට ප්‍රියය. ඔවුන් වැඩිපුර දහවල් කාලයේදි ටුක් ටුක් ට්‍රයිෂෝ සෆාරි සවාරියේ යෙදෙති. තවත් විදේශිකයන් සවස් කාලයට ප්‍රියය. එවැන්නන් වැඩිදුර ඇල්මක් දක්වන්නේ සවස් කාලයේ කොළඹ නගරය පුරා සවාරි යාමටය.

ටුක් ටුක් සෆාරි සේවයේ රියැදුරන්ද බොහෝ මිත්‍රශීලිය. ඔවුන්ටම ආවේනික වූ නිල ඇඳුමට බොහෝ විදේශිකයෝ ප්‍රියතාවයක් දක්වති. යන සෑම තැනකදීම තම කැමරාවලින් මතක සටහන් ලබාගන්නට අමතක කරන්නේද නැත. ඒ අතරතුරේදී තමන් ගමන් ගන්නා ටුක් ටුක් ට්‍රයිෂෝ මෙසේ ඡායාරූපයක්ද ලබාගන්නටද අමතක නොකරති.
අද වනවිට ටුක් ටුක් ට්‍රයිෂෝ සේවය තායිලන්තය, ඉන්දියාව, බංගලිදේශය, නයිජීරියාව, ඊජිප්තුව වැනි රටවල්වල මහත් සේ ජනප්‍රිය වෙමින් පවතී.


► දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00