2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

මේ කපේට දියුණු වෙයිද?

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

පොල් ගෙඩිය බිඳිනකොට පෙරළෙන පැත්ත අනුව

අලුත බැදපු කසාද ජෝඩුවගේ පවුල් ජීවිතේ

තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,

පෝරුවෙදි මනමාලිට ඔළුව කැක්කුමක් ආවොත්

ඒකෙන් ඒ කෙල්ලගේ පතිවත ගැන

තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,

මධුසමය දවසේ ඇඳ රෙද්ද ලේවලින් රතු පාට වෙනකම්

බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක්,

තමන්ගේ රට ඇතුළෙදිත් මවු භාෂාවෙන් කථා කරන එක

මදිපුංචිකමක් 

කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,

ඡන්දෙට අපේක්ෂකයෝ තෝරද්දි කුලේ අනුව ලිස්ට්

එක හදන උන් ඉන්න රටක්,

පාර අතු ගාන මනුස්සයා පොඩි මිනිහෙක් විදියටත්

දොස්තර මහත්තයා මහා ලොකු මිනිහෙක් විදියටත් 

දකින මිනිස්සු ඉන්න රටක්,

හිතලා තීරණයක් ගන්නවා වෙනුවට

කාගේ හරි වචනෙකට තීරණ ගන්න

මිනිස්සු ඉන්න රටක්,

හොරකමට බය නැති හොරකමත් සාධාරණීකරණය කරන

මිනිස්සු ඉන්න රටක්,

නීතියක් තිබ්බට ඒක හරියට ක්‍රියාත්මක

කරන් නැති රටක්,

රට වෙනුවෙන් තමන්ට වගකීමක්

තියෙනවා කියලා පිළිනොගන්න

මිනිස්සු ඉන්න රටක්,

කුණු දාන එක අපේ වැඩක්

කුණු අයින් කරන එක ආණ්ඩුවේ වැඩක්

කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,

වැරැද්දට විරුද්ධ වෙන එක

කොහේවත් යන ලෙඩක් ඇඟේ දා ගන්නවා කියලා

හිතන මිනිස්සු ඉන්න රටක්,

හැම දේකම තියෙන්නේ

හොඳක් නරකක් නෙමෙයි

පවක් පිනක් කියලා

හිතන මිනිස්සු ඉන්න රටක්,

උත්සාහ කරලා වරදින එකාට

හිනාවෙන්න බලාගෙන ඉන්න

මිනිස්සු ඉන්න රටක්,

අතීතේ ගැන පුරසාරම් දෙඩෙව්වට

වර්තමානේ හිස් වෙච්ච

මිනිස්සු ඉන්න රටක්,

ලෝකෙන් ණයට අරන් හරි

කන කෑමවල ගණන් අඩු කරන්න

ඕන කියලා

හිතන මිනිස්සු ඉන්න රටක්,

උඹලා හිතනවද,

මේ කපේට දියුණු වෙයි ද ?

මේ කපේට වෙනස් වෙයිද ?

- සහන් කොඩිකාර -