2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

මෙහෙම ගියොත් ආර්ථිකේ හබක්

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

පළාත් පාලන මැතිවරණයෙන් පසු ආණ්ඩුව පවත්වාගෙන යාම පිළිබඳ විවිධ අර්බුද ඇතිවෙමින් පවතී. මැතිවරණය අවසන් වී මේ වනවිට සති දෙකකට ආසන්න කාලයක් ගත වී තිබුණ ද රටේ ඉදිරි දේශපාලන ගමන් මග පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ ව්‍යාකූල තත්ත්වයකි. මෙම ආණ්ඩුව දිගටම පවතීද, නොඑසේනම් අලුත් ආණ්ඩුවක් බලයට පත්වේද එහි ව්‍යූහය කුමක් වේද ආදිය පිළිබඳ විවිධ කතාබහ පවතී.

රට තුළ පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය රටේ ආර්ථික ගමන් මග කෙරෙහි ඉතාම අහිතකර ලෙස බලපාන බව මේ වනවිට පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය දිගටම පැවතුනහොත් රට විශාල හානිදායක තත්ත්වයකට අවතීර්ණ වනු ඇතැයි ඇතැම් දෙනෙක් බිය පළ කරති. එයට හේතුව වන්නේ මේ වනවිට රට ආර්ථික වශයෙන් මෙන්ම සමාජමය වශයෙන්ද පහළට ගමන් කිරීමය. දේශපාලන අර්බුදය ක්‍රමයෙන් යළි සකස් කළ හැකි වුවද සිදුවන ආර්ථික හානිය නිසා රටට වන අයහපත විශාල වනු ඇත. එය ප්‍රතිපූර්ණය කිරීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවනු ඇතැයි මැදහත් ආර්ථික විශ්ලේෂකයෝ බිය පළ කරති.

ආණ්ඩුව අස්ථාවරය යන කටකතාව මේ වනවිට අප රටේ පමණක් නොව විදේශවලද ප්‍රචලිතව ඇති අතර එහි එක් ප්‍රතිඵලයක් වශයෙන් විදේශ ආයෝජකයන්ට රටට පැමිණ කර්මාන්ත ආරම්භ කිරීම පිළිබඳ දෙවරක් සිතීමට සිදුව තිබේ. එසේම කොටස් වෙළඳපොළ කඩාවැටෙමින් තිබෙන බවද අනාවරණය වෙයි. විදේශ ආයෝජකයන් ඉවත්වන පරිසරයක් නිර්මාණය වී තිබේ. එසේම මෙරට ගිණුම් හිමි විදේශිකයන් සිය මුදල් ඉවත් කරගෙන යාමේ ප්‍රවණතාව ඉහළ යමින් තිබේ. විදේශ ප්‍රේෂණ ලැබීම් ද පහළ යාමට ඉඩ ඇත. විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් තම මුදල් ශ්‍රී ලංකාවට එවීමේ ප්‍රවණතාව අඩුව ඇති අතර ඔවුහු එසේ මුදල් එවීම ප්‍රමාද කරමින් සිටිති. එයට හේතුව රටේ මුදල් ඒකකයේ විදේශ වටිනාකම පිළිබඳ ඇති අවිනිශ්චිතභාවයයි.

රුපියලේ විදේශ අගය අඩුවීම මෙම සති දෙක තුළදී වඩාත් වේගවත් වී ඇති බව දැකගත හැකිය. අමෙරිකානු ඩොලරය හා සාපේක්ෂිතව රුපියලේ අගය 155 ඉක්මවා අවප්‍රමාණ වෙමින් පවතී. ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ නුදුරු දිනවලදී රුපියලේ අගය 160 දක්වා පහළ බසිනු ඇත කියාය. රුපියල අවප්‍රමාණ වීම නිසා විදේශ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන අතර ඒ හේතුවෙන් ආනයනය කරන භාණ්ඩවලට වැඩි මුදලක් ගෙවීමට සිදු වීම, දේශීය භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යයි. ජනතාවගේ ජීවන වියදම වැඩිවන අතර උද්ධමනය ද ඉහළ අගයක් ගන්නවා ඇත.

එසේම රුපියලේ අගය අවප්‍රමාණ වීම විදේශීය ආයෝජකයන්ගේ ආගමනයට ද බාධා පැමිණේ. එයට හේතුව ඔවුන්ගේ ආයෝජන වැය ඉහළ යාමය. රුපියලේ අගය ස්ථාවර කිරීම උදෙසා විදේශ සංචිත දියකර හැරීමට ආණ්ඩුව ක්‍රියා කිරීම මේ දිනවල සිදු වූ අතර එහි ප්‍රතිඵල වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය පහළ බැසීම සිදු වේ. රටේ යම් අර්බුදකාරී අවස්ථාවක විදේශ සංචිත පාවිච්චි කර අවශ්‍ය මිලදී ගැනීම් කළ යුතු නිසා විදේශ සංචිත එක්තරා ස්ථාවර තත්ත්වයක පවත්වාගෙන යා යුතුය. ඒ නිසා රුපියල ශක්තිමත් කිරීමට සංචිත යොදා ගැනීම ආර්ථික ස්ථාවරත්වයට බාධාවකි. එසේම එහි ප්‍රතිඵලය තාවකාලිකය.

ඇතැමුන් උවමනාවෙන්ම මෙම දේශපාලන අර්බුදය ඇති කළේ එමඟින් ස්වකීය පෞද්ගලික අපේක්ෂා ඉටු කර ගැනීමට බව පවසන එක්සත් විශ්ව විද්‍යාල ආචාර්යවරැන්ගේ සංගමය අවධාරණය කරන්නේ බඩට ප්‍රථම රට ගැන සිතන පාලනයක් රටට අවශ්‍යව ඇති බවය. එම සංගමය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට ස්වාධීන මතධාරියකු ලෙස එක්වෙමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ පවසා සිටියේ මේ වනවිට රට තුළ කෘත්‍රිම අර්බුදයක් නිර්මාණය වී තිබෙන අතර එම තත්ත්වය රටේ පැවැත්මට අහිතකර නිසා ඉක්මනින් යථා තත්ත්වයට පත් කළ යුතු බවය.

අද උද්ගතව ඇති දේශපාලන හා ආර්ථික අර්බුදය පිළිබඳ අදහස් දක්වන රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු මෙසේ ප්‍රකාශ කරයි. 

මෙම ආර්ථික අර්බුදය පිළිබඳ කතා කිරීමට මත්තෙන් අද රටේ පවතින අයහපත් ආර්ථික තත්ත්වය ගැන සලකා බැලිය යුතුයි. මෙම තත්ත්වය ඇති වීමට පෙර සිට රටේ ආර්ථිකය අයහපත් විය. රටේ ආර්ථික වර්ධනය පහළ බසින අතර මේ වසරේ එය සියයට 4ටත් වඩා අඩුවේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. රටේ දේශිය ආදායම එකතු කිරීමේ පසුගාමීත්වය, ස්වභාවික ආපදා, ඇමැති මණ්ඩලය ඇතුළු සුවිශාල රාජ්‍ය සේවය නඩත්තුව, විශාල ණය මුදලක් ගෙවීමට සිදුව තිබීම පවතින අයහපත් ආර්ථික තත්ත්වයට හේතු වෙයි.

2018 වනවිට ට්‍රිලියන 1.9ක පමණ ණය ගෙවන්නට සිදුව තිබේ. පසුගිය කාලයේ ලබා ගත් සුවිශාල ණය ගෙවන්නට පටන් ගන්නට වෙන්නේ මේ වසරේ සිටයි. එසේම මේ වනවිට පළාත් පාලන ආයතනවල නියෝජිත සංඛ්‍යාව දෙගුණ වෙලා තිබෙනවා. එම ආයතන නඩත්තුවට විශාල මුදලක් වැය කළ යුතුය. මෙම වැය අඩු කළ යුතුව තිබියදී වැඩි කරලා තිබෙන බව පෙනේ. එසේම විදේශ අපනයනය අපේක්ෂා කළ මට්ටමට පැමිණ නැත. අපනයන අඩු වී ආනයන වැඩි වීම නිසා ඉදිරියේදී ගෙවුම් ශේෂ හිඟය තව දුරටත් ඉහළ යනු ඇත. ආයෝජන පැමිණීමද පසුගාමී වී තිබේ. මෙලෙස ආදායම අඩු වීම සහ වියදම වැඩිවීම නිසා අද වනවිට විශාල අර්බුදයක් මතුව තිබේ.

එසේ තිබියදී දැනට ඇතිව ඇති දේශපාලන අර්බුදය දිගටම ඇදී යාම නිසා රටට සිදුවෙමින් පවතින ආර්ථික පරිහානිය තවත් වර්ධනය වී තිබේ. මෙම අයහපත් දේශපාලන තත්ත්වය නිසා රටට දිගු කාලීන සහ මධ්‍ය කාලීන වශයෙන් ද කෙටි කාලීන ලෙසද විශාල ආර්ථික හානියක් සිදු වෙමින් පවතී. ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ දිගු කාලීන හා මධ්‍ය කාලීන සැලසුමක් රජයට නොමැත. පාලනයේ අස්ථාවරභාවය නිසා එවැන්නක් සකස් කළ නොහැක. මුල් කාලයේදී යම් සැලසුමක් තිබුණු අතර එ.ජා.ප.ය Vision 2025 වැනි ආර්ථික සැලසුම් ඉදිරිපත් කළද ඒවා සක්‍රීයව පවතින බවක් පෙනෙන්නට නොමැත. එම සැලසුම් හුදු වචනවලට පමණක් සීමා වූවා පමණි. ආණ්ඩුවේ පවතින අස්ථාවරභාවය නිසා ඉදිරියේදීවත් දිගු හෝ මධ්‍ය කාලීන ආර්ථික සැලසුමක් ක්‍රියාත්මක කිරීමට අපහසුය.

පළාත් පාලන මැතිවරණවලින් පසුව පවතින ආණ්ඩුව ඉවත් කිරීමට එක්තරා කොටසක් උත්සාහ කරන අයුරු පෙනේ. පාලනයේ අවිනිශ්චිතතාවයක් උද්ගතව ඇති නිසා දේශීය හා විදේශීය ආයෝජකයන් ව්‍යාපාර පටන් ගැනීමට පසුගාමී වීම කෙටි කාලීනවට වඩා දිගු හා මධ්‍යකාලීනව අහිතකර වී තිබේ. අනාගත ආයෝජන පහළ බසී.

කෙටි කාලීනව සිදු වෙමින් පවතින අයහපත ද විශාලය. මේ වනවිට කොටස් වෙළෙඳපොළේ දෛනික පිරි වැටුප රුපියල් මිලියන 300 දක්වා පහළ බැස ඇත. මෙයට පෙර මිලියන 900ක පමණ පිරිවැටුපක් තිබුණි. ඉදිරියේදී තව දුරටත් පහළ යනු ඇත. රටේ ආර්ථිකයට නිශ්චිත දිසාවක් නොමැති නිසා කොටස් වෙළෙඳපොළේ කොටස් මිල සහ ඉල්ලුම පහළ වැටීම මෙයට හේතුවයි. ආණ්ඩුවේ බැඳුම්කරවල විදේශ ආයෝජකයන් ආයෝජනය කිරීම අඩුව තිබේ. සුරැකුම්පත්වල ආයෝජනය කිරීමද පහළ ගොස් ඇත. සුරුකුම්පත් හිමියන් ඒවා ඩොලර් බවට පරිවර්ථනය කරගෙන ආපසු ගෙනයාමේ ප්‍රවණතාව වැඩි වී ඇත. පසුගිය සතිය තුළ ඩොලර් බිලියන 2.1ක් විදේශ ආයෝජකයන් අලෙවි කර තිබේ.

මෙලෙස විදේශ විනිමය පහළ යාම නිසා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම වේගවත් වී ඇත. පසුගිය මාස 2 තුළ අපේ රුපියල සියයට 1.2කින් පිරිහී තිබේ. විදේශවලින් ආනයන කිරීමේදී විශාල රුපියල් ප්‍රමාණයක් වැයවීම රටට පිරිමැසිය නොහැකි පාඩුවකි. අපනයනය කරන අය ඒවාට ලැබෙන ඩොලර් ආදායම රුපියල් නොකර රඳවා ගෙන තිබීම නිසා ඒ මුදල් රටට ගලා ඒම ප්‍රමාද වී ඇත. එයට හේතුව ශ්‍රී ලංකා රුපියල තව දුරටත් රටට බාල්දු වුවහොත් එය ඔවුනට වාසි සහගත වන නිසාය.

රටේ දේශපාලන අස්ථාවරභාවය නිසා රාජ්‍ය පරිපාලනය ද අස්ථාවර වී ඇත. නිලධාරීන් තීරණ ගැනීමට බිය වීමද කෙටි කාලීනව ආර්ථිකය බිඳ වැටීමට හේතු වී තිබේ. මෙම තත්ත්වය ඉක්මනින් සමනය කර ඉදිරි පියවර සඳහා පරිපාලනය යථා තත්ත්වයට පත්කළ යුතුව තිබේ.

පවතින තත්ත්වය පිළිබඳ විග්‍රහයක යෙදෙන ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති සුනිල් විජේසිංහ

දැන් රටේ ඇතිව ඇති ගැටලුකාරී දේශපාලන තත්ත්වය සෑම අංශයකටම බලපානවා. අද වෙන්නේ මොකක්ද? හෙට කුමක් සිදු වෙයිද යන්න ගැන බොහෝ දෙනා දැඩි අවිනිශ්චිත තත්ත්වයකින් ඉන්නේ. මේ පරිසරය නැති වී සියල්ල ස්ථාවර තත්ත්වයට පත්වීම අප්‍රමාදව සිදු විය යුතුය. අවුරුදු 100 – 200කට පෙර තිබූ තත්ත්වයෙන් නොවේ අපේ රට තියෙන්නේ. මුළු ලොවටම රට සෑම අතින්ම සම්බන්ධයි. ආනයන, අපනයන, බැංකු සහ මූල්‍ය කටයුතු, නිෂ්පාදනය, අලෙවිය ආදි සියල්ලටම මුළු ලොවම සම්බන්ධයි. බොහෝ රටවලට තනිවම ජීවත් වෙන්න අමාරුයි. ගෝලීය ආර්ථිකයක් ඇත්තේ.

අපේ ආර්ථිකය අද මුළුමනින්ම පවතින්නේ ආනයන, අපනයන මතයි. අපට ස්වයංපෝෂිත ආර්ථිකයක් නැහැ. ඇතැම් කර්මාන්තවල ධාරිතාවට වැඩි වශයෙන් විදේශ රටවල් සම්බන්ධයි. තේ, රබර්, ඇඟළුම් ආදී සියලුම අපනයන පිටරටවලට සම්බන්ධයි. අපි පාවිච්චි කරන භාණ්ඩ, ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් ආනයනය කරනවා. රටවල් රැසකට සම්බන්ධ වූ ආර්ථිකයක් අපට තිබෙන්නේ.

එසේ වුවත් රටේ පාලනය අස්ථාවර වුවහොත් එවැනි රටක් සමඟ ගනුදෙනු කරන්නට වෙනත් රටවල් කැමැති නැහැ. ඒ රටවලුත් බලනවා අප වැනි දුර්වල රාජ්‍යයන් අතහැරලා ස්ථාවර රටවල් කරා යොමු වීමට. අපේ ආනයන සහ අපනයනකරුවන් රඳවා තබා ගැනීමට ප්‍රධානතම සාධකය නම් රටේ ස්ථාවරභාවයයි. අස්ථාවර රටවලින් භාණ්ඩ ගෙන්වා ගැනීමට බොහෝ රටවල් කැමැති නැහැ. භාණ්ඩ ආනයන අපනයන ගිවිසුම්වලට එළඹීමට, ආයෝජන ගිවිසුම් අත්සන් කිරීමට කිසිවකු ඉදිරිපත් වෙන්නේ නැහැ. එයට හේතුව කුමක් වේවිද යන්න නොදන්නා නිසායි. ඒ නිසා ඔවුන් වෙනස් ස්ථාවර දේශාපාලන වාතාවරණ ඇති රටවල් කරා ඇදී යාම වැළැක්විය නොහැකියි.

එසේම ඩොලරය සමඟ අපේ රුපියල බාල්දු වීමද දේශීය හා විදේශීය වශයෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇති වීමට හේතු වෙනවා. එක අතකට අපට ආනයනය කරන භාණ්ඩවලට විශාල රුපියල් ප්‍රමාණයක් ගෙවන්නට සිදුවීම නිසා රට තුළට එන එම භාණ්ඩවල මිල ඉහළ යනවා. ඒ මත ඒවා රට තුළ මිල කිරීමේදී වැඩි මිලක් සටහන් වෙනවා. විශේෂයෙන් ඉන්ධන වගේ අත්‍යවශ්‍ය ජනතාවගේ ජීවිතවලට තදින්ම බලපාන දේවල මිල ඉහළ ගියහොත් එය රටේ සෑම අංශයකටම අහිතකර වෙනවා. එසේම අප වැඩි වශයෙන් ගෙන්වන කිරිපිටි සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමෙන් ජනතාවගේ ජීවන වියදම ඉහළ යනවා.

ඒ නිසා අද පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කළ යුතුය. එසේ නොමැති වුවහොත් රට තුළ වාණිජ ව්‍යාපාරවලට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයටද අහිතකර වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ප්‍රගමනයට බාධාවන අතර ඒවායින් යැපෙන දහස් සංඛ්‍යාත ජනතාවගේ ආර්ථික තත්ත්වයට අහිතකර වෙනවා. ඔවුන්ගේ ජීවන ගැටලු වැඩි වෙනවා.

► යසවර්ධන රුද්‍රිගු