2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

කඹ ඇදිල්ලකින් ගෙල හිර වෙන ළමා ආරක්ෂක අධිකාරිය

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 206

ලෝකෙන් උතුම් රට වශයෙන් එදා සැලකුණු සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ ළමා පරපුරම අද සිටින්නේ අවදානම් අඩියකය. කුඩා දරුවකුට පවා ගෙදරින් එළියට බැස නිදහසේ ගමන් කළ නොහැකි තරමට නරුමයෝ රජ කරමින් සිටිති. මහාධිකරණය තුළ පසුගිය කාලයේ ළමා අපයෝජන නඩු 4000කට අධික සංඛ්‍යාවක් විභාග වෙමින් පැවතුණි. ජාතික ළමාරක්ෂක අධිකාරිය 1998 දී ජනාධිපති කාර්යාලය යටතේ වෙනම පනතක් මගින් පිහිටුවන ලද්දේ  එවන් ළමුන්ගේ සුභසාධනය හා රැකවරණය සඳහාය. වර්ෂ 2006 දී වෙනම අමාත්‍යාංශයක් යටතේ (ළමා සංවර්ධන හා කාන්තා කටයුතු) මේ අධිකාරිය ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියට 1990 දී අත්සන් තැබීමෙන් පසුව ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියක් සකස් කළ අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එය ක්‍රියාත්මක කිරීමේ ආයතනය වේ.

නමුත් පසුගිය සතියේ මේ ආයතනය පුවත් මවන්නට පටන් ගත්තේ ළමා සුරැකුම උදෙසා පාරට බැස්ස නිසා නොවේ. අධිකාරියේ සභාපතිනිය හා අමාත්‍යාංශයේ ලේකම්වරිය අතර හටගත් කඹ ඇදීමක් නිසාවෙනි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධානියා එහි සභාපතිනියයි. උප සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ 12 දෙනෙක් යටතේ අධිකාරිය ක්‍රියාත්මක වේ. පසුගිය අප්‍රේල් මාසයේ එහි සභාපතිනිය ලෙස නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය පත් කළ අතර ඊට පෙර සිටියේ ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මියයි.

පසුගියදා අර්බුදයක් හටගත්තේ ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් සම්බන්ධයෙනි. නිල බලයට අනුව සභාපතිනිය විසින් කැඳවිය යුතු රැස්වීමක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් නිත්‍යනුකූල නොවන අන්දමින් කැඳවා ඇතැයි සභාපතිනිය නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය චෝදනා කරන්නීය. 

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ගෙනයන දූෂණ විරෝධී වැඩපිළිවෙළ මා අගය කරනවා. මමත් එම ප්‍රතිපත්තියේම තමයි කටයුතු කරන්නේ. ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සම්බන්ධව අනීතිකව පවත්වන්නා වූ රැස්වීම් සඳහා කිසිලෙසකත් සම්බන්ධ වන්නේ නෑ. සභාපතිනිය සඳහන් කර සිටී.

සභාපතිනිය වැඩිදුරටත් පවසා සිටින්නේ වර්තමානය වන විට ඇතැම් පාර්ශ්වයන් විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ස්වාධීනත්වයට හානි පමුණුවමින් සිටින බවයි. “මා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත හා එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව නිත්‍යනුකූලව කටයුතු කරනවා. මගේ කාලය තුළ මේ ආයතනය දේශපාලන මැදිහත්වීමකින් තොරව ස්වාධීන රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යනවා.”

ළමා ආරක්ෂක අධිකාරියේ පසුගිය වසර 20ක ඉතිහාසයේ සියලුම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පවත්වා ඇත්තේ එම ආයතනය තුළදීය. එවකට මේ රැස්වීම් සම්බන්ධ කිසිදු ගැටලුවක් පැනනැගී නැත. එහෙත් පසුගිය 7 දා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය අමාත්‍යාංශයේ දී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවා තිබුණි. එම රැස්වීමට සභාපතිවරිය සහභාගි නොවුණේ එය අනීතික බව සඳහන් කරමිනි. එමෙන්ම එම රැස්වීම සම්බන්ධව අමාත්‍යාංශ ලේකම්වරිය තමන් සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නැති බවද සභාපතිනිය සඳහන් කරයි. පසුගිය 7දාම සභාපතිනිය වන නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ළමා ආරක්ෂක අධිකාරී කාර්යාලයේ රැස්වීමක් කැඳවා තිබුණි. නමුත් එයට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වැඩි ප්‍රමාණයක් සහභාගි වුණේ නැත. සභාපතිනිය පවසන්නේ අමාත්‍යාංශ ලේකම්වරිය අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට බලපෑම් කර සහභාගි වීම වළක්වා ඇති බවයි. ගණපූර්ණයක් නැතිවීමෙන් රැස්වීම පැවැත්විය නොහැකි විය.

මේ රැස්වීම් අවුල සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු ඇමැතිනියගේ පාර්ශ්වයෙන් ද කරුණු දක්වා තිබේ. ඇමැතිනියගේ මාධ්‍ය ලේකම්වරයා පවසන්නේ 2017 දෙසැම්බර් සහ 2018 වර්ෂය සඳහා වන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වාර දෙකක් ගණපූර්ණයක් නොමැති වීම නිසා ව්‍යර්ථ වූ බවයි.

2018 වර්ෂය සඳහා ළමා ආරක්ෂක අධිකාරියේ ක්‍රියාකාරී සැලසුම්, ප්‍රසම්පාදන සැලැස්ම, මුදල් රෙගුලාසි අනුව බලය පැවරීම යන කරුණු සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් ලැබී නොමැත. ඒ නිසා ආයතනයේ වැටුප් ගෙවීම සහ ආයතනය පවත්වාගෙන යාම පිළිබඳව ගැටලු මතු විය. එසේම ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ගේ සුබසාධනය සම්බන්ධව ගැටලු ඇතිවීමට ඉඩ තිබෙන නිසාත්, ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අනුකූලව හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් අධිකාරිය වෙත නිකුත් කරන ලද පොදු හෝ විශේෂ විධිවිධානවලට අනුකූලව ළමා ආරක්ෂක අධිකාරි පනතේ 12 වැනි වගන්තිය ප්‍රකාරව අමාත්‍යතුමිය විසින් අමාත්‍යාංශයේ ලේකම් වෙත ලබාදුන් උපදෙස් පරිදි සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පවත්වන මෙන් උපදෙස් දුන් බවය. එම රැස්වීමට සභාපතිනිය සහභාගි නොවීම නිසා නියෝජ්‍ය සභාපති නීතිඥ එච්.එම්. අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාමාජික අධ්‍යක්ෂවරුන්ගේ ගණපූර්ණත්වයෙන් සාකච්ඡාව සාර්ථකව පැවැත්වූ බවත් එහි සඳහන්ය. එහිදී 2018 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම හා මුදල් රෙගුලාසි අනුව බලය පැවරීම යන කරුණුවලට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාදුන් බවත් මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
අමාත්‍යාංශය පවසන්නේ එලෙස මැදිහත් වූයේ ළමා ආරක්ෂක අධිකාරියේ පරිපාලන හා සංවර්ධන කටයුතු බිඳවැටීම වළක්වා ගැනීම සඳහා බවය. නමුත් ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය පවසන්නේ එහි ස්වාධීනත්වයට හානි පමුණුවන මැදිහත්වීම් සිදුවන බවකි.

මේ අවුල් නිසා සිදුවන්නේ ආයතනයේ කටයුතු මන්දගාමී වීම බව කිවයුතු නොවේ. ළමා ආරක්ෂක අධිකාරිය එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් කමිටුවේ නිර්දේශ මත පිහිටවූ ආයතනයකි. එය ස්වාධීන රාජ්‍ය ආයතනයක් විය යුතු බව සැබෑවකි. එම ආයතනය නිතිපතා ඉටුකරන කාර්යයන් සංඛ්‍යාව ඉමහත්ය. ඒ සඳහා නිලධාරීන් විශාල පිරිසක් යොදවා ඇත. ඉහළ පුටුවල සිදුවන මෙවැනි කඹ ඇදීම් නිසා ආයතනයේ කටයුතු වේගයෙන් කරගෙන යාමේ බාධා පැමිණේ. ඉතින් කළ යුත්තේ අදාළ බලධාරීන් මැදිහත් වී උද්ගත වී ඇති තත්ත්වය ළමුන්ගේ යහපත උදෙසා හෝ සමනය කිරීම නොවේද?

►කුසුම්සිරි
සේයාරූ : අන්තර්ජාලයෙනි