2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

කොත්මලා ඔයට පිම්මේ බැස්ස ගම්පහ ජෝඩුව

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

ඉරිදා දවසට මාර්ගයේ වාහන තදබදය අඩුව පැවතියද සංචාරක ආකර්ෂණය දිනාගත් නුවරඑළිය නගරය ඊට වෙනස්ය. පිවිසුම් මාර්ග ඔස්සේ බොහෝ රථවාහන නගරයට ඇතුළු වෙද්දී නගරයෙන් පිටවන වාහන ගණන ඉතා සීමිතය. නගර සීමාව ඉක්මවා යන කිසිදු රථයකට බාධාවක් නැත. සීතල කඳු හෙල් අතරින් මැවෙන මේ අපූරු සුන්දරත්වය මැද තලවාකැලේ මාර්ගය දිගේ ධාවනය වන රතු පැහැති සුසුකි වර්ගයේ මෝටර් රථයකි.

ආදරය, සතුට, විනෝදය මැද ඉරිදා දිනය සීතල නුවරඑළියේ හෝටල් කාමරයක ගත කළ තරුණ යුවළ ඉරිදා පස්වරුවේ ගමන් කරමින් සිටියේ තලවාකැලේ මාර්ගය ඔස්සේය. මෝටර් රථයේ ඉදිරි අසුනේ සිටි ජෝඩුවට අවට පරිසරයේ අපූරුව සොඳුරු සිතුවමක් සේ පෙනෙන්නට ඇත. තේ වතු මැදින් කඳු හෙල් අතරින් ගමන් කරන මෝටර් රථයට ඉදිරියෙන් කිසිදු බාධාවක් නැත. අධික වේගයෙන් නිදහසේ ධාවනය වන රථය හැටන් මාර්ගයේ ලිඳුල, බෙයාවෙල් ප්‍රදේශය පසු කරමින් සිටියේය.

රතු පාට කාර් එකක් වේගයෙන් පල්ලමේ එනවා දැක්කා. නුවරඑළිය පැත්තේ ඉඳන් හැටන් පැත්තට යන්න ආපු වාහනය පාරේ වැරදි පැත්තෙන් තමයි ආවේ. පාරෙන් දකුණු පැත්තෙන් ගිය වාහනය වේගයෙන් පහළට පෙරළුණා. කොත්මලා ඔයට යනකම්ම පෙරළෙනවා මම දැක්කෙ නෑ. පෙරළුණු තැනට ගිහින් බැලුවත් කාර් එක පේන්න තිබුණෙ නෑ. මම වත්තේ හිටපු අයට කෑගහලා කීවාම ඒ අයත් ආවා...

පසුගිය 18 ඉරිදා සවස 3ට පමණ නුවරඑළිය හැටන් මාර්ගයේ ලිඳුල, බෙයාවෙල් ප්‍රදේශයේ දී අධික වේගයෙන් ගමන් කළ මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන කොත්මලා ඔයට පෙරළීම සියැසින් දුටු කාන්තාවක එසේ පැවසුවාය.
මංතීරු දෙකකින් යුත් ප්‍රධාන මාර්ගයේ පැමිණි රථය මීටර් කීපයක් පුරා ගොස් තිබුණේ විරුද්ධ මංතීරැව හරහාය. සැණෙකින් දකුණු පස ප්‍රපාතයට පෙරළී ගිය මෝටර් රථය මීටර් 90 ක් පමණ පහළට ඇදවැටී නතර වී තිබුණේ කොත්මලා ඔයට වැටීමෙනි. ඒත් සමඟ මෝටර් රථය කොත්මලා ඔයේ නොපෙනී ගියේ එම ස්ථානයේ ගැඹුර අඩි 25 – 30 පමණ වන නිසාය.

ප්‍රදේශය පුරා තේ වතු පමණක් වූයෙන් නිවෙසක් හෝ ආසන්නයේ නොවීය. එහෙත් හදිසි අනතුර දැක තිබුණේ ප්‍රදේශවාසී කාන්තාවකි. ඇයගේ කෑමොර දීම හේතුවෙන් තේ වතුවල සේවය කරමින් සිටි කම්කරුවන් ඇතුළු පිරිසක් එහි රැස් වී මෝටර් රථය පෙරළී ගිය ස්ථානය ඔස්සේ කොත්මලා ඔයට බැසගත්තෝය. අනතුර සම්බන්ධයෙන් ලිඳුල පොලීසියට දැනුම් දීමක් කර තිබූ අතර නුවරඑළිය පොලිස් කිමිදුම් කොට්ඨාස නිලධාරීහු ද එහි කැඳවනු ලැබ සිටියහ. පොලිස් නිලධාරීන්ගේ හා ප්‍රදේශවාසී ජනතාවගේ මැදිහත් වීමෙන් කොත්මලා ඔයේ ගිලී තිබූ මෝටර් රථයේ සිරවී සිටි යුවළ සොයාගැනීමට හැකි විය. ඔවුහු ගොඩට ගෙන ලිඳුල රෝහල වෙත රැගෙන යනු ලැබූහ. ඒ වන විටත් යුවළ ජීවිතක්ෂයට පත්ව සිටි අතර WP-CAC 3098 දරන අනතුරට පත්ව තිබූ මෝටර් රථය ගොඩගැනීමට පිරිසට බොහෝ වෙහෙස වීමට සිදුවිය.

ජීවිතක්ෂයට පත් වූ තරුණිය විසින් මෝටර් රථය පදවා ඇති බවත් අධික වේගය පාලනය කරගත නොහැකි වීමෙන් අනතුර සිදුවන්නට ඇති බවටත් පොලීසිය සැක කරයි. තරුණියගේ පාදයක් බිඳීගොස් තිබූ බවත් අනෙක් පුද්ගලයාගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති බවත් ඉන් පසුව දෙදෙනාට ජලය පෙවී හුස්ම හිරවීමෙන් මියගොස් ඇති බවද අනාවරණය විය.

පොලීසිය හෙළිකරගත් පරිදි අනතුර හේතුවෙන් ගම්පහ සමූපාකාර සමිතියේ මුදුන්ගොඩ ශාඛා කාර්යාලයේ සේවය කළ කළමනාකාර සහකාරිනියක වූ පියුමිශානි ප්‍රසාදි පෙරේරා (24) සහ එම කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරියකු වශයෙන් කටයුතු කළ වසන්ත වනසිංහ (34) යන දෙදෙනා මියගොස් සිටියහ. මියගිය වසන්ත යක්කල කිරිඳිවැල පාරේ පදිංචි විවාහක දෙදරු පියෙක් විය. අනෙක් තරුණිය ගම්පහ නැඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. වහා ක්‍රියාත්මක වූ පොලීසිය මරණකරුවන් හඳුනාගෙන ඔවුන්ගේ ඥාතීන්ට දන්වා පිරිස ලිඳුල රෝහල වෙත ගෙන්වා මරණ පරීක්ෂණ කටයුතුවලින් පසුව සිරුරු ඔවුන් වෙත බාරකිරීමට ක්‍රියා කළේය. 

අනාවරණය වූ කරුණු අනුව ක්ෂේත්‍ර නිලධාරියකු වශයෙන් සේවය කළ වසන්ත සිය නිවෙසින් පිටත්ව තිබුණේ එදින අලුයම 1.22ට බව බිරියගේ ප්‍රකාශයේ සඳහන් විය. ඔහු යතුරු පැදියකින් ගොස් තිබුණේ කුරැණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයකට යන බව සිය බිරියට පවසමිනි. ඊට පෙර දින (17) පස්වරුවේ ඔහුට දුරකතන ඇමතුමක් පැමිණි බවත් එයින් කතා කළ දෑ පිළිබඳව තමන්ට ඇතිවූ සැකයක් හේතුවෙන් සැමියාගේ ගමන සිය සොහොයුරාට දැන්වූ බවත් සැමියා පාන්දර ගිය ගමන පිළිබඳව ද සැක පහළ වූ බවත් ඇය පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබිණි. තම වැඩිමහල් සොහොයුරා සමඟ එක්ව සැමියා ගිය ගමන සොයා බැලුවද බිරියට තොරතුරක් දැනගන්නට ලැබී නැත. පස්වරුවේ සැමියාගේ සේවා ස්ථානයේ අයෙක් දුරකතන ඇමතුමකින් දන්වා තිබුණේ ලිඳුල ප්‍රදේශයේ අනතුරක් සිදුව ඇති බවත් එතැන වසන්ත සිටිනවාද සොයා බලන ලෙසටත්ය. මෙහිදී ඇය වැඩිදුරටත් කියා තිබුණේ තම දරැපැටවුන් දෙන්නා රජකු මෙන් දුටු තාත්තා මියගොස් ඇති බව රෑපවාහිනී ප්‍රවෘත්ති විකාශයකින් දුටු බවය.

අනතුරින් මියගිය පියුමිශානි ප්‍රසාදිනී යන තරුණිය අවිවාහකය. ඇගේ පියා පැවසූ ආකාරයට ඇය එදින අලුයම 4.30ට පමණ ඇගේ මෝටර් රථයෙන් පිටත්ව ගොස් තිබුණේ නුවරඑළිය ප්‍රදේශයේ අවමංගල උත්සවයකට යන බව ප්‍රකාශ කරමිනි. ඇය ලබාගත් වැටුපෙන් නිවසක් පවා ඉදිකර තිබියදී පවුලේ වැඩිහිටියන් ඇයට විවාහ යෝජනා කීපයක් ගෙන ආවද ඊට එකඟ නොවූ ඇය තනිවම කල්ගෙවමින් සිට ඇත. ඊට ප්‍රධාන හේතුව වී තිබුණේ දරු දෙදෙනෙක් සිටින විවාහක පුද්ගලයෙක් වූ වසන්ත සමඟ පැවති ආදර සබඳතාවය බවට සැක මතුව තිබේ.

දැන හෝ නොදැන වෘත්තියෙන් කළමනාකරණ සහකාරියක වූ ප්‍රසාදිනී අනවශ්‍ය පෙම් කතාවක පැටලී සිටියාය. ආදරණීය බිරිය හා දරු දෙදෙනා අතහැර අනියම් ඇසුරක් පැතූ වසන්තට අවසානයේ සිදුවූයේ විශාල ලෝක අපවාදයකට මැදිව පෙම්වතිය හා මරැ වසඟයට යාමටය.

► සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරූ - රංජිත් රාජපක්ෂ