2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

දවසින් දවස දියවෙන මුතුපංතිය දූපත

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 186

ලංකා සිතියමින් මැකී යමින් පවතින මුතුපංතිය දූපතේ නොවිසඳෙන ගැටලුවක අතරමංවී සිටින අනාගතය කුමක්වේදැයි සිතමින් ජීවත්වන ධීවරයන් පිළිබඳ  ගවේෂණයක නිරතවූ අපට ගැටලුවට විසඳුමක් ලෙස කළ යුත්තේ කුමක්දැයි ධීවර ප්‍රජාවගේ මුවින්ම අසා දැන ගන්නට හැකිවිය. දියවෙමින් පවතින මුතුපංතිය දූපතේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් ගොඩබිමට වන්නට පිහිටා ඇති අක්කර 125 පමණ රජයට අයත් භූමියෙන් කොටසක් හෝ ලබා ගැනීම ධීවරයින්ගේ අරමුණ වී ඇත.

ඒ පිළිබඳ සොයාගිය ගමනේ ආරම්භය මෙසේ විය. හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි මෙම දූපත පිහිටා ඇත්තේ පුත්තලම හලාවත මාර්ගයේ කිලෝමීටර තිහක් පමණ ගිය පසු දකුණට හැරී තවත් කිලෝමීටර පහක් පමණ ගිය පසුය. පවුල් 130ක් පමණ ජීවත්වන මෙම ධීවර ගම්මානය වසර ගණනක පටන් දියවෙමින් පැවතීම හේතුවෙන් කළුගල් වැටි යොදා ආරක්ෂා කිරීමට වෙරළ සංරක්ණ දෙපාර්තමේන්තුව කොතෙක් වෙහෙස දැරුවද මුහුදු ඛාදනය නැවැත්වීමට නොහැකි වී තිබේ.

ක්‍රමයෙන් දියවී යන දූපතෙහි අද වනවිට ඉතිරි වී ඇත්තේ ඉතාමත් සුළු භූමි ප්‍රමාණයකි. මහ මුහුදින් සහ කලපුවෙන් වටවූ මෙම දූපත් ගම්මානය නුදුරේදී මහ මුහුදට බිලිවීම වැළැක්විය නොහැකි බවට ධීවරයන් පවසන්නේ වර්තමානය වනවිට දැඩි ලෙස සිදුවන මුහුදු ඛාදනය හේතුකොට ගෙනය. පුත්තලම කොළඔ ප්‍රධාන මාර්ගයේ සිට මුතු පංතියට ළඟාවීම සඳහා මාර්ග කිහිපයකි. ඉන් කෙටිදුර මාර්ගය ලෙස හඳුනාගත්තේ ආනවිලුන්දාව වැව් බැම්මේ සිට සුරුවිල වැව් බැම්ම මතින් ගනේගොඩ වෙල්යාය මැදින් පාරු ඇළ දක්වා දිවෙන දුෂ්කර මාර්ගයයි.

දියවී යන මුතු පංතියේ කතාව සියැසින් බලා වාර්තා කිරීම සඳහා ගමන් ඇරඹූ අපට පුත්තලම සිට කිලෝමීටර 27 ගමන් කර දකුණට හැරී තවත් කිලෝමීටර තුනක් පමණ උඩප්පුව දෙසට ගමන්කර පාරු ඇළ හරහා ඉදිකර ඇති පාලම අසලින් වමට හැරී වෙල්යාය මැදින් දුෂ්කර මාර්ගයක් ඔස්සේ මුතු පංතියට යා හැකි ප්‍රධාන මාර්ගයේ පාරු ඇළ හරහා ඉදිකර ඇති අලුත් පාලම මතින් ධීවර ගම්මානයට ළඟාවීමට හැකි විය.

කලපුවෙන් සහ මුහුදින් වටවී ඇති සුන්දර පරිසර පද්ධතියක පිහිටි ස්ථීර නිවාස මෙන්ම කලපුව ආශ්‍රිත ඉස්සන් කර්මාන්තය පවත්වාගෙන යන ආකාරය නෙත ගැටුණද අප සවන් ගතවූයේ මහා දිය රළ වෙරලේ හැපීමෙන් නැගෙන මොරහඬ පමණි. වෙනත් කිසිම ශබ්දයක් නෑසෙන තරමට මුහුදු රළ වියරු වී ඇති ආකාරය වෙරළ දෙසට යාමේදී දර්ශනය විය. මාදැලක් ගොඩට ඇදෙමින් තිබුණි. දෑතේ වීරියෙන් මාදැල අදින ධීවරයින්ගේ මුවඟින් නැගෙන හඬ ඉස්මතු නොවූයේ මුහුදු රළ ශබ්දය ඊට වඩා සිය ගුණයකින් ඉස්මතුවී තිබීමයි.

නිවාස, වැසිකිළි, ගහකොළ බොහොමයක් මහ මුහුදට බිලිවී හමාරය. තවත් නිවාස කිහිපයක ආසන්නයටම මුහුද ළඟාවී ඇත. ගම්මානයේ සංචාරය කළ අපට දැක ගැනීමට හැකිවූයේ කිලෝමීටර හතරක් පමණ දුරට මීටර සියයක් පමණ පළලට ඉතිරි වී ඇති ගම්මානයයි. එක් පසකින් කලපුව පිහිටා ඇති අතර අනෙක් පසින් මුහුද පිහිටා ඇත. ඉදිකර ඇති ස්ථීර නිවාස ඇත්තේ මුහුදු වෙරළට ආසන්නයේමය. වසර ගණනාවකට පෙර නිවාසවලට සිට කිලෝමීටරයක් පමණ දුරකින් තිබූ මුහුද දියවෙමින් නිවෙස් අසළට ළඟා වූ බව ධීවරයෙක් පැවසීය.

මුහුදු ඛාදනය තරමක් හෝ අඩු කර ගැනීම සඳහා තවත් කළු ගල් වැටි කිහිපයක් යෙදීමට රජය පියවර ගෙන ඇති බව ධීවරයන් පැවසුවද එය ස්ථිර විසඳුමක් නොවන බව පැහැදිලි ලෙස සිත්නට තරම් කරුණු අපට පෙනිණි.

ගල්වැටි යොදා ඇති ස්ථාන කිහිපයක මුහුදු රළ දරුණු වී විශාල වළවල් හෑරී ඇති ආකාරය ධීවරයෝ අපට පෙන්වූහ. ගල් වැටී යෙදීම මුදල් අපතේ යන තාවකාලික විසඳුමකි. වෙනත් කළ යුතු දෙයක්ද නොමැත. ගල් වැටි යෙදීමේදී මුහුදු ඛාදනය වැළැක්වෙන ආකාරයට යෙදීම වැදගත් වෙයි. මුහුදු ඛාදනය වැළැක්වීමට කිසිවිටක නොහැකිය. ස්වභාවික ක්‍රියාවක් ලෙස දිනෙන් දින ගොඩබිම මුහුදට බිලිවෙයි. ස්ථීර විසඳුමක් ලෙස සිදුකළ යුතු එකම කාර්යය වන්නේ වෙරළට වැලි පොම්ප කිරීම පමණි. ඒ සඳහා වැය කළ යුතු මුදල අති විශාලය. මහා ධන සම්භාරයක් වැය කරමින් ගල්වැටි යෙදූවද එම ගල්ද මුහුදුබත්වීම හැර අන් දෙයක් සිදුනොවේ. කළ යුතුව ඇති එකම ස්ථීර විසඳුම වූ වැලි පොම්ප කිරීම තුළින් හැර මුතු පංතිය දූපත ආරක්ෂා කර ගැනීමේ වෙනත් කිසිම ක්‍රමවේදයක් නොමැත.

එම දූපත ආරක්ෂා කර ගත්තද සිදුකර ඇති ස්ථීර ඉදිකිරීම් හැර වෙනත් කිසිම ඉදිකිරීමක් සිදුකිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත නොහැකි තරමට ගම්මානයේ භූමි ප්‍රමාණය අඩු වී ඇත.

තරුණ පරම්පරාව විවාහ වීමෙන් පසුව ජීවත්වීමට ස්ථානයක් නොමැතිකම හේතුවෙන් පිටස්තර ගම්වලට යන බවත් එසේ ගිය පසු දුර බැහැර සිට ධීවර කටයුතු කිරීමට පැමිණීමට ඇති නොහැකියාව හේතුවෙන් වෙනත් රැකියාවල එළඹ සිටින බවත් ඒ හේතුවෙන් ධීවර කර්මාන්තකරුවන් ප්‍රමාණය අඩුවෙමින් පවතින බවත් පරම්පරා ධීවර කර්මාන්තය වැළලී යාමට එය ප්‍රධාන හේතුවක් බවත් ධීවර කාන්තාවක් වූ මරිය රීටා මව පැවසීය.

මාදැල් හිමියකු වූ මුතු ධීවර ප්‍රජාමූල සංවිධානයේ සභාපති සරත් ප්‍රනාන්දු මහතා

“මේ ගැටලුව වසර කිහිපයක ඉඳලා තමයි දරුණු වුණේ. මේ ගම්මානයේ සුළුපන්න, තෙප්පම්, මාදැල්, කර්මාන්තය සිදුකරන පිරිස් ජීවත්වනවා. මුහුද සේදී සේදී ගමත් සෝදාගෙන යනවා. බොහොම කෙටි කාලයකින් මුතුපංතිය කියන දූපත තිබුණ තැනක්වත් හොයා ගන්න හම්බ වෙන එකක් නැහැ. දෙවැනි පරම්පරාවට ජීවත් වෙන්න භූමියක් නැහැ. ගම ආසන්නයේ තිබෙනවා ඉස්සන් වගාවට රජයෙන් බදු අරගෙන අතහැර දමා ගිය ඉඩමක්. අපි ඉල්ලන්නේ මේ පවුල් 150 ට අක්කර කාල ගානේවත් ලබා දෙන්න කියලා.”

තරණයකු ලෙස ධීවර කර්මාන්තයේ නිරතවන අෂාන් උෂේන්

“තරුණ තරුණියන් විවාහ වීමෙන් පසු ගම අතහැර යනවා. නිවසක් ඉදිකර ගන්න තැනක් නැති එක තමයි ඒකට හේතුව. අපි කවුරුත් රජයේ රැකියා කරන්නේ නැහැ. පරම්පරාවෙන් අපි කරන්නේ ධීවර රැකියාව.මේ ගම අතහැරලා දුරගිය අපේ තරුණ ධීවරයින් නැවත ඒ කර්මාන්තය කරන්න මෙහෙ එන්නේ නැහැ. මේ ළඟින් ඉඩම් කෑල්ලක් ලැබුණොත් අපේ කර්මාන්තය රැක ගන්න පුළුවන් එහෙම නැති නිසා තමයි දිනෙන් දින අපේ රටේ ධීවරයින් කර්මාන්තය අතහැර යන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අපේ ගැටලුවට විසඳුම් ලැබෙයි කියලා. ගොඩාක් අය අපේ ගමට ආවා මාධ්‍යයත් ආවා. නමුත් අද තමයි ගැටලුවට විසඳුම මොකක්ද කියන එක කියන්න ලැබුණේ. අපි ඉල්ලන රජයේ ඉඩම ලබා දෙන්න කියලා බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

රෝවන් පෙරේරා - පුත්තලම