
ගීත රචකයෙක් වූ මදුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය මට දැන් හමුවන්නේ කවියෙකු ලෙසය. ඒ එකසිය තිස් අට කාව්‍ය කෘතිය තුළිනි. කිණිහිරය මත තබා බර මිටියකින් තලනා විට නැඟෙනා ගිනිපුපුරු සේ ඔහුගේ කවි බොහෝ වේදනා විඳ ඉපැදී ඇතැයි සැක කළ හැකිය. මේ කුණු වී දුගඳ හමන අඳුරු සමාජයට ඔහුගේ කවි ගිනිපුපුරු තරු එළියක් වනු ඇත.
කවියා කළ යුත්තේ තමාට පැවැසීමට ඇති දේ සංක්ෂිප්තව පවසා සිතන්නට අවකාශයක් තබා නිහඬ වීමය. ගී පද රචනයකදී නම් ඒ කෙටි නිර්මාණය තුළ සංවේදනා දැනවිය යුතුය. එහෙත් කවියාට ගීය පද රචකයාට වඩා දුරක් යා හැකිය. එහෙත් එයද දැනවිය යුතු තැනින් නතර කළ යුතුය, යන්න මගේ පෞද්ගලික මතයයි. අකුරු සහ වචන තිබුණද දුරක් දිවයාමෙන් අනුභූතිය මෙන්ම මලේ ගුණ සුවඳ පවා වල්වැදෙයි. මඟහැරෙයි. මේ සීමා මායිම හඳුනාගැනීම ඉතාම වැදගත්ය.
මේ දිවි සසරේ කුමන පථයන්වල ධාවනයේ යෙදුණද සියල්ලන්ටම අවසානයේ උරැම වන්නේ එකම පථයක් නොවේදැයි ඔහු “කොබා මා මිතුර” කවෙන් ප්‍රශ්න කරයි. එම කවිය තුළ කවියෙන් ඔබ්බට ගිය සමාජ යථාර්ථයක් මම දකිමි. කවීන් එසේ විය යුතුය.
ජීවිතේ එක්තරා කලකට ඉහතදී
එකම කක්ෂයක් වටා කැරකුණු අප
දැන් කැරකෙන්නේ වෙන වෙනම කක්ෂවල
ඒත් අපි එකම ඉරක් වටේ තනි තනිව කැරකෙන
එකම සෞරග්‍රහ මණ්ඩලේ ග්‍රහලෝක බව
තේරැම් යන්නෙ අපට අප හමුවුණු දාට
අනෙක මේ කවියේ වූ සුවිශේෂීත්වය වන්නේ තමාට අවැසි දේ කියන්නට ඔහු උපයෝගී කරගන්නා ශක්තිමත් රූපකයයි.
කලර් ඇස් මට හමුවන්නේ පළමු වරටය. අප නිරන්තරේ භාවිත කරනා කලර් ලයිට්ස් නොකියා ඊට ඇස් යනුවෙන් යෙදීම කවියාගේ දැක්ම පිළිබඳව උදාහරණ සපයයි.
අදත් පෝලිමේ තිබ්බා පැය ගණනක්
ගලා ගියා අසරණ දාඩිය බිඳුවක්
තෙත හිතක් නැති කලර් එළියක්
කරයි ජීවිතය විඳින්ට පමාවක්
ඔහුගේ කවි අතර මා සිත තදින් පැහැරගත් නිර්මාණයක් වූයේ කුරිරු වැස්සක් ය. පොඩි එවුන්ට මුහුද බලන්නට නොහැකි තරමට වැස්ස දරුණුය. පුංචි එවුන්ට මුහුද මඟහැරේ. පොඩි එවුන් මුහුද ගැන චිත්‍ර අඳින්නෙත්, වාක්‍ය හයේ රචනා ලියන්නෙත් කෙලසද කියා කවියා ප්‍රශ්න කරයි. තරුණ මධුශාන්තගේ මේ මොන්ටිසෝරි ප්‍රශ්න කිරීම සැබැවින්ම සුන්දරය. ඔහු කවිය අවසන් කරන්නේ ඊට වඩා බරක් අප ඉදිරියේ හෙළමිනි. ඔහු කිසිවිටෙකත් අනුභූතියෙන් නොමිදෙන බැවින් කවිය ශක්තිමත්ය.
සුරංගනා කතා ලියන්නටම හොඳ
මාතෘකා තියේවි අද වගේම හෙටත්
නොදකිනා තුරැම පොඩිවුන් නිල් අහස
ගහකොළ උස කඳුවැටි සහ මහ මුහුද
ඔහු පවසන්නේ අත්විඳි පසුව බොහෝ ෆැන්ටසි ඒ ස්වභාවයෙන් මිදෙනා බවද?
මීට සමාන සමාජ යථාර්ථයක් ඔහු දිරාගිය කය කවියෙන් අපට ගෙන එයි. ඔහු ඒ කවියෙන් යෝජනා කරන්නේ දූ දරුවන් සුරංගනා ලෝකවල අතරමං නොකරන ලෙසය.
සිඟිති දූ දරු කැල වටරවුමෙ ඉන්දවාගෙන
කියාදුන් කතාවක් අසා උන් හිනැහෙන විට
දන්නවානම් ලෝකෙ සුරංගනාවියන් නැති බව
සුරංගනාවියන් ගැන ලියුවෙත්
දිරාපත් වෙන මිනිසෙක් බව
මේ සමාජ සංස්ථාව තුළ වූ විවිධ මාතෘකා ඔස්සේ තම පෑන මෙහෙයවන මධුශාන්ත ගහකොළද අමතක නොකරයි. ස්වභාවධර්මයා දෙස දයාර්ද්‍රව බලන ඇසක් ඔහු සතුය. බෝගස සහ කොහොඹ ගස උපයෝගී කරගනිමින් ඔහු ගොඩනඟනා කවිය අන් සිත් අන් අරුත් ගැන්වූවාට මා ඉතාම ප්‍රිය කරන්නේ එය බෞද්ධාගම ඉදිරියට සුරකින අපේ හාමුදුරුවන් යයි කියාගන්නා පිරිසගේ ඛේදාන්තය ඉන් අපූරුවට නිරූපණය කරනා බැවිනි.
බෝගස්වලට මල් පිදුවාට
ඇහැක් ඇරලවත් බැලුවෙ නැති
කොහොඹ ගස්වල කොළ මතයි
ලෙඩ හැදුණාම නිදාගත්තෙ
මේ ප්‍රථම අස්වැන්නෙන් පසුව ඔහු තව තව අස්වනු පූදන බව මට විශ්වාසය. එසේම ඔහු ආපසු ගමට යන්නේ රැගෙන ආ දෙයට වඩා වැඩි යමක් උපයාගෙන බවද මට විශ්වාසය. (එකසිය තිස් අට කාව්‍ය කෘතිය මරදාන සූරිය ප්‍රකාශනයකි)
මලික් තුසිත ගුණරත්න