2018 ජනවාරි 20 වන සෙනසුරාදා

ඉරුවාරදයටත් ආයුර්වේද ප්‍රතිකාර

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 268

ආයුර්වේදයේ දී නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කිරීමත්, රෝගී පුද්ගලයාගේ රෝගී බව දුරුකිරීමත් අරමුණ බව සඳහන් කර ඇත. මෙහිදී රෝග පිළිබඳව විස්තර කිරීමේ දී ශිරෝ රෝගවලට ප්‍රධාන තැනක් ලබා දී ඇත. ශිරෝ රෝග එකොළහක් පිළිබඳව ආයුර්වේදයේ දී විස්තර වේ. 

එයින් එක් රෝගයක් ලෙසින් අර්ධවභේදකය හැඳින්විය හැක. රෝග ලක්ෂණ සැසඳීමේ දී මිග්‍රේන් (Migrain) රෝග ලක්ෂණය හා බොහෝදුරට සමානකම් දැක්වෙයි.

අර්ධවභේදකයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ හිසෙහි එක් අර්ධයක ඇතිවන තදබල වේදනාවයි. කලබලකාරී ජීවන රටාව, අක්‍රමවත් ආහාර රටාව, මානසික ආතතිය, අවිවේකී බව, නින්ද අඩු බව, දේශගුණය වෙනස් වීම වැනි හේතුන් නිසා මෙවැනි රෝග තත්ත්වයන් ඇතිවිය හැක.

මෙම රෝගයෙන් පෙළෙන බොහෝ දෙනකුට ඒ ඒ පුද්ගලයාට ආවේණික හේතුන් මත රෝගය උත්සන්න වීම සිදුවේ.

එනම්:-

ආහාර රටාවේ වෙනස්කම්

මත්පැන් භාවිතය

ස්ත්‍රී පාර්ශවයේ ආර්තව චක්‍රයේ අක්‍රමිකතා ඇතිවිට, ආර්තවහරණය අවස්ථාවේ දී සිදුවන හෝර්මෝන විෂමතා නිසා සහ උපත් පාලන ඖෂධ භාවිත කිරීම ආදී අවස්ථාවන්හිදී මේ තත්ත්වය ඇතිවේ.

පාරිසරික මෙන්ම මානසික ආතතිය, ජානමය සාධක මත හටගන්නා රෝගයක් වන අතර මෙම රෝගය කාන්තා පාර්ශවය අතර බහුලව දක්නට ලැබේ. තදබල හිසේ වේදනාව සමඟ වමනය ඇතිවීම බහුල වන අතර තද ආලෝකය දෙස බැලීමට ඇති නොහැකියාව, ඝෝෂාකාරී ශබ්දයට ඔරොත්තු දීමට නොහැකි වීම මෙම රෝගයේ තවත් ලක්ෂණ වේ.

මේ සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ආයුර්වේදයේ දක්නට ඇත. රෝගියාගෙන් රෝගියාට නිවැරදි පරීක්ෂාවෙන් පසු දෝෂතාවය අනුව ප්‍රතිකාර පද්ධති වෛද්‍යවරයා විසින් තීරණය කරයි.

අභ්‍යන්තර ඖෂධ ප්‍රතිකාරවලට අමතරව බාහිර පාවිච්චියට සුදුසු ඖෂධීය තෛල මගින් ශීර්ෂ අභ්‍යංශය (Head massage), හිසට විවිධ ආලේප වර්ග ගැල්වීම (ශිරෝලේප), නස්න කර්ම, ශිරෝධාර ප්‍රතිකාර අවස්ථානුකූලව සිදුකරනු ලබයි. එමඟින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙම රෝග තත්ත්වය විශේෂයෙන් පාරිසරික සාධක මත රඳාපවතින රෝග තත්ත්වයක් බැවින් රෝගයට හේතුවන කරුණුවලින් වැළකී සිටීමට රෝගියා උනන්දු විය යුතුය.

නියමිත වේලාවට ආහාර ගැනීම, රෝග තත්ත්වය ඇතිවීමට බලපාන ආහාර වර්ග වන චොක්ලට්, අච්චාරු වර්ග, ඇතැම් කිරි ආහාර, මත්පැන් වැනි දේවල් වලින් ඈත්වීම මෙන්ම විවේකය මගින් ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරීත්වයන් නිසිපරිදි පවත්වාගැනීමට හැකිවෙයි. එය නැවත නැවත රෝගය හටගැනීමෙන් වැළකී සිටීමට උපකාරී වේ.

කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය
සෙත්සුව ආයුර්වේද රෝහල