2018 ජනවාරි 20 වන සෙනසුරාදා

වැලට වඩා ගෙඩි බර වෙන කොළඹ මහ නගර සභාව

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 164

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට පිළිගත් දේශපාලන පක්ෂ නවයක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් තරගවදී. මේ අනුව අවසානයේදී කොළඹ මහ නගර සභාවට මන්ත්‍රීවරුන් එකසිය දහතුන් දෙනකු තේරී පත්වීමට නියමිතය.

අතීතයේ සිටම කොළඹ නගර සභාව සීමාවේ විවිධ ජාතීන්වලට අයත් ඡන්ද දායකයෝ ජීවත් වෙති. මේ හේතුවෙන් කොළඹ නගර සභාවට තරගවදින අපේක්ෂකයෝ ද විවිධ ජාතීන් නියෝජනය කරති. මින් පෙර කොළඹ නගර සභාව තුළට පළාත් පාලන මැතිවරණයේදී තේරී පත්වූ මන්ත්‍රී සංඛ්‍යාව වනුයේ පනස්තුනකි. නමුත් මෙවර කොළඹ නගර සභාවට මන්ත්‍රීවරු එකසිය දහතුන්දෙනෙකි.

මෙතරම් මන්ත්‍රීන් පිරිසකට ඉඩකඩ තිබෙන රැස්වීම් ශාලාවක් මෙතෙක් කොළඹ මහ නගර සභාව තුළ නොමැතිවීම හේතුවෙන් ඒ සඳහා තාවකාලික රැස්වීම් ශාලාවක් ලෙසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව තෝරාගෙන ඇත. මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් මෙවර එකතුවෙන කොළඹ නගර සභාවේ ඉතිහාසය ඉතා ඈත අතීතයට දිවයන්නකි.

එකල කොළඹ නගරය වරාය මෙන්ම ජල ගැල්මට යටවෙන පහත් ගොහොරැ බිමක ගොඩ නැගුණු නගරය බොහෝ දිගු ඉතිහාසයක් පවතී. කොළඹ ගැන සොයා බැලීමේදී වැඩිපුරම එකල ජීවත් වූයේ මුස්ලිම් ජනතාව බව පෙනී යයි. කුළුබඩු වෙළඳාමේ නිරත වූ අරාබි වෙළෙන්දෝ කැලණි මිටියාවතේ කුරුඳු නිපදවන ප්‍රදේශයේ මධ්‍යස්ථානය වූ කොළඹ වරාය සමීපයේ සිය ගබඩා තබාගෙන වෙළඳාමෙහි නිරත වූහ.

1866 දී කොළඹ නාගරික සභාව පිහිටුවීමෙන් පසුව කොළඹ ලාංකිකයන්ගේ ප්‍රධාන වෙළෙඳ නගරයක් බවට පත්විය. පෘතුගීසීන් මෙරට පැමිණීමට පෙර කොළඹ පිළිබඳව සඳහන්ව ඇත්තේ ඉතා මඳ වශයෙනි. මුස්ලිම් පදිංචිකරැවන්ගෙන් වැඩි කොටසක් අරාබි පෙළපත්වලින් පැවැත ආ පිරිසක් වූහ. පෘතුගීසීන් විසින් මොරොස් යනුවෙන් ද බ්‍රිතාන්‍යයන් විසින් මුවර්ස් යනුවෙන්ද මෙම පදිංචිකරැවන් හැඳින්විණි. මෙම මුස්ලිම් ජාතිකයන් ධනවත් ජාතියක් වූ අතර ඔවුහු වැඩිවශයෙන්ම කුරුඳු, මුතු, මැණික්, ඇත් දල වෙළෙඳාම් කටයුතුවල නිරතව සිටියහ.

කොළඹ යන නාමයට විවිධ මත හේතු විය. මෙම ප්‍රදේශය සිංහලයන් හැඳින්වූයේ කොළඹ, කොළොන්තොට යන නම් වලිනි. ඇතැම් ජාතිකයෝ මෙම ප්‍රදේශය කාලෙන්බෝ නමින් ද හැඳින්වූහ. පෘතුගීසීන් මෙම ප්‍රදේශය හැඳින්වූයේ කොලුම්බු ලෙසින් වූ අතර රොබට් නොක්ස් ඇතුළු අනෙකුත් පැරැණි ගත්කරුවෝ පෘතුගීසීන් හැඳින්වූ ආකාරයටම කොලුම්බු ලෙසින් හැඳින්වූහ. කාලයාගේ අැවෑමෙන් එය ඉංග්‍රීසියෙන් කලම්බු ලෙසින් ද (Colombo) සිංහල භාෂාවෙන් කොළඹ ලෙසින් ද තහවුරු විය. 

කොළඹ නගරයට බටහිර දිග්භාගයේ ඒ කාලයේ ස්වදේශකයින් අඹ ගස යන නමින් හඳින්වූ ගසක් තිබිණි. අඹ ගසේ සාමාන්‍යයෙන් පළ හට ගැනුණත් මේ ගසේ ඇත්තේ කොළ පමණක් නිසා ගස කොළ - අඹ ලෙසින් හැඳින්විණි. මේ නිසා ඇතැමුන් මේ ගස තිබූ නගරය කොලම්ඹ ලෙසින් හැඳින්වූ අතර ඇතැමුන්ගේ අදහස වූයේ කොලොම්බස්ට ගෞරව කරනු පිණිස කොළම්බ ලෙසින් නම් තැබූ බවය. ප්‍රධාන ආණ්ඩුකාරවරයාගේ නිල නිවස පිහිටා තිබුණේ ද මෙම ප්‍රදේශයේය. 

1865 වර්ෂයේදී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව වෙන පනතක් ඉදිරිපත් කරමින් ආරම්භක කතාව සිදුකරනු ලැබූ ආණ්ඩුකාර සර්. හර්ක්‍යුලස් රොබින්සන් මහතා මෙසේ ප්‍රකාශ කර ඇත.

මහ නගර සභාවක් සංස්ථාපනය කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන මෙම ආඥාපනතට මහජනයා දැක්වීමට පටන්ගෙන ඇති සැළකිල්ල අමුතු විදිහේ සතුටක් ගෙන දෙන්නක් වුව ද, අත්හදා බැලීමක් වශයෙන් අප කරනු ලබන මෙම ක්‍රියාවලියට මහජනතාව විසින් සිය නියෝජිතයින් පත්කරනු ඇතැයි විශ්වාස කරමි යනුවෙන් සඳහන් කළේය.

1865 නොවැම්බර් මස 25වැනි දින ප්‍රසිද්ධ කරන ලද නිවේදනයක් කොළඹ නගර සභාවේ නගර සීමාවක් නියම කෙරිණි. 1865 දෙසැම්බර් මස 8 වැනි දින නාගරික මන්ත්‍රීවරුන් වශයෙන් ඉදිරිපත් වීමට සුදුසුකම් ලබා ඇති ගෘහ මූලිකයන්ගේ ලේඛනයක් පිළියෙල කිරීම් සඳහා කමිටු රැස්වීමක් කච්චේරියේ දී පැවැත්විණි.

මෙම රැස්වීම සඳහා සී. ඒ. ලෝරන්ස්, ඒ. ඇම්. පර්ගියුසන්, ජේ. ඩී. අල්විස්, දොස්තර එම්. ඩබ්ලිව් විල්ෆ්‍රඩ්, සී. ඩයස්, අබ්දුල් කාදර් මරික්කාර් සත්මෝගම් වැනි මහත්වරු සහභාගී වූහ.

ඔවුන්ට අයත් වූ ප්‍රදේශ වශයෙන් ප්‍රධාන වශයෙන් වෙන්කර දක්වා ඇත්තේ මෙසේය.

සී. එල්, ෆර්ඩිනන්ඩස් (කොල්ලුපිටිය), දොස්තර එම්. ඩබ්. විල්ප්ෆ්‍රඩ් (කොම්පඤ්ඤවීදිය), ඇම්. ජේ. ද සේරම් (සන්තබස්තියම), ඇම්. තම්බයියා (ශාන්ත පාවුළු), ඇම්. සී. ලූස් (මරදාන), ජේ. ඩී. අල්විස් (නිව් බසාර්)
කොළඹ නාගරික සභාවේ ප්‍රථම සභාපතිවරයා වූ චාර්ලිස් පීටර් ලෙයාඩ් (1866 – 1877) ලංකා සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් විය. ඔහු වසර 30 තිස්සේ බස්නාහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්ත පදවිය දැරීය. සර් චාර්ල්ස් ලෙයාඩ්ගෙන් පසුව සභාපති ධූරය උසුලන ලද්දේ ඇම්. ආර්. සෝන්ඩර්ස් මහතාය. ඔහු ද සිවිල් නිලධාරියෙක් විය. වික්ටෝරියා රැජනගේ ජුබිලි උත්සව අවස්ථාවේ ඔහුට නයිට් නාමයක් ද ප්‍රදානය කරන ලදි. පළමු ලෝක මහ සංග්‍රාම කාලයේදී නගරාධිපති පදවිය දැරුවේ ආර්. ඩබ්ලිව්. බර්ඩ් මහතාය ඉන්පසුව එම තනතුර ටී. රීඩ් මහතා දැරීය. ඔහු තම සේවා කාලයෙන් පසුව කම්කරු මන්ත්‍රීවරයකු වශයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඇතුළත් විය.

මේ අනුව එදා මෙදා තුළ කොළඹ නගර සභාව ඉතා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි. අද වෙද්දී මෙම නගර සභා මන්ත්‍රී ධූරවලට තේරී පත් වී පසුව පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අපමණය. ඒ අතරින් ඉතා ප්‍රසිද්ධ ඇමැතිවරු කිහිපදෙනෙක් ද සිටිති. මේ අතරින් විශේෂිත කරුණ වන්නේ රටේ ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන සහ පසුව ජනාධිපති පදවියට තේරී පත් වූ ආර්. රණසිංහ ප්‍රේමදාස කොළඹ නගර සභාවේ මන්ත්‍රී ධූර හොබවා පාර්ලිමේන්තුවට ගිය නායකයන් වීමයි. වත්මන් කතා නායක කරු ජයසූරිය, ඇන්. ඇම්. පෙරේරා, විමල් වීරවංශ, සිරිසේන කුරේ, වාසුදේව නානායක්කාර, මොහොමඩ් මහරුෆ්ද කොළඹ නගර සභාවේ මන්ත්‍රී ධූරවලට පත් වී පසුව පාර්ලිමේන්තුව නියෝජනය කළහ.

මන්ත්‍රීවරුන් පනස් තුන්දෙනකු මෙතෙක් කොළඹ නගර සභාවට තේරී පත් වූ අතර මෙවර කොළඹ නගර සභාවට මන්ත්‍රීවරුන් එකසිය දහතුන්දෙනකු පත්වීම හේතුවෙන් ගැටලුව වන්නේ මෙම පිරිසට එකවර රැස්විය හැකි ස්ථානයක් මෙතෙක් කොළඹ නගර සභාව තුළ නොමැති වීම බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා පවසයි.

කොළඹ මහ නගර සභාවේ දැනට අපිට ඉඩ ප්‍රස්තාව තියෙන්නේ මන්ත්‍රීවරු පනස්තුන්දෙනෙක් සඳහා පමණයි. මේක ඓතිහාසික නගර සභා කාර්යාලයක්. නමුත් නව ඡන්ද ක්‍රමයට අනුව මන්ත්‍රීවරු එකසිය දහතුන්දෙනෙක් තේරී පත් වීමට නියමිතයි. මේ නගර සභා ගොඩනැගිල්ල තුළ එකසිය දහතුන්දෙනෙක් සහ නිලධාරීන් මණ්ඩලයක් සඳහා අසුන්ගෙන වැඩ කරන්න පුළුවන් ස්ථානයක් නෑ. ඒ නිසා පත්වන නිලධාරීන්ගේ පළවෙනි සභා රැස්වීම් වාරය අපිට මේ නගර සභා භූමියෙන් පිට වෙනත් ස්ථානයක පැවැත්වීමට සිදු වෙනවා. මේකට සුදුසුම පහසුකම් තියෙන තැන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවයි. ඒ නිසා අපි මේ වෙද්දී ඒ කටයුතු එම ස්ථානයේ කරන්න කතිකා කරගෙන තියෙනවා. සභාවේ පළමු රැස්වීමේදී මේ ගොඩනැගිල්ල තුළ නව සභා ශාලාවක් ස්ථාපිත කරන්න මූලිකව සැලසුම් කර ඇති සැලැස්ම ඉදිරිපත් කරනවා. ඒ අය ඒ යෝජනාවට කැමැතිනම් වත්මන් නගර සභා ගොඩනැගිල්ල තුළම සභා ශාලාවක් ගොඩනගන්න පුළුවන්. ඊට දළ වශයෙන් එයට මාස තුනක කෙටි කලක් ගතවේවි. මේ වනවිට නගර සභාව තුළ සේවක සේවිකාවන් ඉතා හොඳ කාර්යක්ෂම සේවයක් සපයනවා. සේවක සේවිකාවන් නමදහසකට ආසන්න ප්‍රමාණයක් කොළඹ නගර සභාවේ සේවය කරනවා. යැයි ද ඔහු සඳහන් කළේය.

(විශේෂ ස්තූතිය, ඩී. පී. ප්‍රසන්න මහතා, ප්‍රවෘත්ති නිලධාරී, කොළඹ මහ නගර සභාව)

 දිශානි ජයමාලි කරුණාරත්න