2018 ජනවාරි 13 වන සෙනසුරාදා

ඉන්දියානු පත්තර පිටු අතරේ වැල්වැටිතුරේට කුඩු

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

තොරතුරට අනුව සෝදිසි මෙහෙයුම ආරම්භ කළේ මයිලන්කර්නි වෙරළ තීරය ආශ්‍රිතවය. පැය කීපයක සෝදිසිය අතරතුර යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් ඇතුළු වී තිබුණේ මයිලතැන්න පොදු සුසාන භූමිය පරිශ්‍රයටය. එහිදී සැක සහිත පාර්සල් කීපයක් සොයාගෙන තිබුණේ පස්වරු 2.30ට පමණය.

සැකකරුවෙක් හෝ නොමැතිව තිබූ පාර්සල් කීපය සෝදිසි කිරීමේදී එහි මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට හඳුනාගෙන විමර්ශනය කිරීමේදී කේරළ ගංජා කිලෝ 82 ග්‍රෑම් 725ක්, අබිං කිලෝ 3 ග්‍රෑම් 600ක් සහ හෂීස් කිලෝ 3 ග්‍රෑම් 900ක් හමු වී තිබුණි. එම වැටලීම සාර්ථකව අවසන් කර තිබියදී යළිත් පස්වරැවේ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකි. එමගින් වාර්තාකර තිබුණේ ද වැල්වැටිතුරෙයි තොණ්ඩමනාරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය තොගයක් තිබෙන බවට තොරතුරකි.
පැය කීපයකට කළින් සෝදිසි මෙහෙයුමේ අත්දැකීම් සහිතව ක්‍රියාත්මක වූ නිලධාරීන් පිරිස මිනිත්තු කීපයක් තුළදී තොණ්ඩමනාරු ප්‍රදේශය වටලමින් සෝදිසි මෙහෙයුමක් දියත් කළේය. වෙලාව පස්වරැ 5.30 පමණ වෙද්දී තොණ්මනාරු පාලම අසල කැලෑ රොදක සඟවා තිබූ සැක සහිත පාර්සල් කීපයක් සොයා ගැනිණි. පරික්ෂාවේදී අනාවරණය කර ගැනුණේ එහි කේරළ ගංජා කිලෝ 17යි ග්‍රෑම් 760ක් අඩංගු බවය. මෙම සෝදිසි මෙහෙයුම් දෙකේදී අත්අඩංගුවට ගනු ලැබූ කේරළ ගංජා, අබිං හා හෂීස් ඇතුළු කිලෝ 90ට අධික මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනකට අධිකය.

පාර්සල් සියල්ල ඉතා ආරක්ෂිත ලෙස අසුරා තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු පවසති. ඒවා පළමුව ඉන්දියාවේ මුද්‍රිත පුවත්පත් පිටුවලින් ඔතා ඇති අතර අවසානයේ ඉටි රෙදිවලින් ආවරණය කර ඇති සහ ටේප් ආධාරයෙන් සීල්කර තිබුණි. එලෙස සැකසූ පසුව ජලයේ ගිල්වා තැබුව ද නොතෙමෙන තරම්ය. දැනට වාර්තා වී ඇති ආකාරයට මේ මත්ද්‍රව්‍ය තොගය දකුණු ඉන්දියාවේ සිට මෙරට ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් විසින් ගෙන්වා තිබෙන්නකි. 

බොහෝවිට මේ මත්ද්‍රව්‍ය තොගය කොළඹ ප්‍රදේශයට රැගෙන යන්නට තිබූ එකක් බවට සැක කෙරෙන අතර සෝදිසි මෙහෙයුම අතරතුර ප්‍රදේශයේ ගැවසුණු බව කියන සුඛෝපභෝගී මෝටර් රථයක් පිළිබඳ අවධානය යොමු වී තිබේ. ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් විසින් ධීවරයන් ලෙස වෙස් ගන්වන තැරුව්කරුවන් බෝට්ටු මගින් මුහුදට යවා මෙරටට මත්ද්‍රව්‍ය තොග ගෙන්වා ගන්නා අතර එම තැරැව්කරුගේ වගකීම භාණ්ඩ වෙරළට ගෙන ඒම පමණි. එතැන් සිට විවිධ ක්‍රමවේද ඔස්සේ ප්‍රවාහනය කරන බව වාර්තා වේ. මේ අතර සැකකාර ධීවරයකු වන තවකුට්ටි නැමැත්තා සැකපිට අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මකය. ඔහු සිය ජංගම දුරකථනය නිවසේ තබා පැනගොස් සිටී.

කෝටි තුනකට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයේ ඉදිරි විමර්ශන වැල්වැටිතුරෙයි පොලීසිය සිදුකරන අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්, කලාප අණදෙන නිලධාරී වවුනියාව ප්‍රදේශ බාර පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත යාපනය ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී උපාලි පියනන්ද සහ දෙවැනි කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කරැණාතිලක ඇතුළු නිලධාරීහු වැටලීමට දායක වූහ.

මේ අයුරින් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කොකේන් හා හෙරොයින් මත්කුඩු කිලෝ 928 ග්‍රෑම් 229ක් හෙට (15) කටුනායකදී විනාශ කිරීම සිදු කෙරේ. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී වීමට නියමිත බවත් මේ වනවිට නඩු කටයුතු අවසන් කර තිබෙන මත්ද්‍රව්‍ය තොගයක් මෙසේ විනාශ කරන්නට සූදානම් බවත් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලව ආරච්චි මහතා සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවලා වසර තුනක් වෙනවා. මේ කාලයේදී අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු අවසන් කළ මත්ද්‍රව්‍ය තොගයක් මෙහිදී විනාශ කිරීමට සූදානම්. ජනතාවටත් ගැටලුවක් ඇති අල්ලන මත්ද්‍රව්‍යවලට මොකද වෙන්නේ කියලා. නීතිමය කටයුතු අවසන් වූ පසුවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව භාණ්ඩ ආරක්ෂිතව ගබඩා කරනවා. ඇතැම් අවස්ථාවලදී රස පරීක්ෂණ වාර්තා ලබා ගැනීමේ අපහසුතා තිබුණා. ඊට අවශ්‍ය සම්පත් ලබාදීලා දැන් කඩිනම් කර තිබෙනවා. ඒ අනුව මේ විනාශ කිරීමේ කටයුත්ත හෙට කටුනායක ආයෝජන කලාපයේ ඉන්සි එකෝ සයිකල් ආයතනයේදී සිදු කරනවා. ඒ අවස්ථාවට ජනාධිපතිතුමා, විනිසුරුවරුන්, රස පරීක්ෂකවරුන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් ද සහභාගී වෙනවා. මේ කටයුතු සිදුවන්නේ පොලිස් විදශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යටතේ යැයි ද වෛද්‍ය සමන්ත කිතලව ආරච්චි මහතා ප්‍රකාශ කළේය.

මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ පළමු පියවර වන්නේ ඒවා ජලයේ දිය කිරීමය. ඊට ඇවැසි තාක්ෂණික පහසුකම් සහිත ආයතනය පෞද්ගලික අංශයෙන් තෝරාගෙන ඇත. ඉන්පසුව දියර බවට පත්කළ මත්ද්‍රව්‍ය සියල්ල විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යටතේ පුත්තලම සිමෙන්ති කම්හලට රැගෙන යාමට නියමිතය. එහිදී එම දියරය 1200 C0 අධි උෂ්ණත්වයක් යටතේ විනාශ කිරීමට සූදානම් කර තිබේ. හෙරොයින් හා කොකේන් ජලයේ දිය කිරීමෙන් පසුව එහි පලක් නොවන බවත් 1200 C0 ක් තරම් අධික උෂ්ණත්වයක් තුළ දැවීමට ලක්කිරීමේදී සම්පූර්ණයෙන් විනාශ වන බවත් එම නිසා මේ පියවර අනුගමනය කරන බවත් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලව ආරච්චි මහතා සඳහන් කළේය.
මේ වැටලීම් සාර්ථකව කරගැනීම සඳහා පොලීසියේ ක්‍රියාත්මක ප්‍රජා පොලිස් කමිටුවලින් මනා මෙහෙයක් සිදුව ඇත. එම කමිටු ව්‍යාප්ත කිරීම හා ඒ පිළිබඳ ජනතාව දැනුවත් වීම මත්ද්‍රව්‍ය නිවාරණයට පහසුවකි. මේ වැටලීම් සාර්ථක කරගැනීමට ඕනෑම කෙනකුට තොරතුරැ ලබා දීමෙන් දායක විය හැකිය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර