මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකය ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේ රාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරැය. ඒ ගයිඩ් මහත්තුරු සංචාරකයන් ඇසුරේ ලද නෙක අත්දැකීම් ඇසුරෙන් ලියවෙන ලිපි පෙළක පස්වැනි පියවරයි මේ. ගයිඩ්ලාගේ සයිඩ් කතා සමඟ මේ සති අන්තයේ ඔබ මුණගැහෙන්නේ ජෝ ලිවේරාය.
කෑම ඉල්ලන යාල ගැමුණු
යාල කවදත් සංචාරකයන් අතර ජනප්‍රියම තැනකි. දින හත අටක සංචාරයක් තුළ යාලට ගොස් අලියෙකු කොටියෙකු දකින්නට අකමැති වන්නේ එහෙමත් සංචාරකයෙකි. එනිසා ජෝලාගේ සංචාරයන් තුළ යාල ගිය වාර සංඛ්‍යාව සිය ගණනකි. ඒ සෑමවිටම අලුත් යමක් ඔවුන්ගේ සංචාරයක එක්නොවුණ ද යාල ගැමුණුගේ ක්‍රියාකාරකම් නිසා එවැනි සංචාර තරමක් බියකරු වීමට ද ඉඩ තිබේ.
ගැමුණු කියන්නේ කලහකාරී සතෙක් නෙමෙයි. හැබැයි සෑහෙන කාලයක ඉඳන් ඌ ජීප්වලින් එන මිනිස්සු දෙන කෑම කන්න හුරු වෙලා ඉන්නවා. ඉතින් ඌ කරන්නේ ජීප් එකක් දැක්කොත් එතැනට ඇවිත් හොඬේ ඇතුළට දාලා කෑම හොයන්න ගන්නවා. කෑම හොයාගෙන ආපහු හොඬේ ආපහු එළියට අදින්න හදද්දි ගොඩක් වෙලාවට උගේ දළ ජිප් එකේ හිරවෙනවා. දවසක් මට ඔය අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වුණා අපි ඉද්දි.
කැරපොත්තෝ සහ හූනෝ
සංචාරකයින් සමඟ හෝටලයක නවාතැන් ගන්නාවිට ගයිඩ් මහතුන්ට ද සංචාරකයින්ට ලැබෙන සැළකිල්ල ඒ අයුරින්ම හෝටල් කාර්ය මණ්ඩලයෙන් හිමිවේ. සංචාරකයින්ට හිමිවන ආකාරයේම සුඛෝපභෝගී කාමරයක් ද ඔවුන්ට ලැබේ.
හෝටලේට ගිහින් කාමර බෙදාගත්තා කියලා අපිට කිසිම වෙලාවක අපේ කාමරේට එක එල්ලේ යන්න හම්බවෙන්නෙ නෑ. අඩුම තරමේ පැය භාගයක්වත් අපි ලොබියට වෙලා කල් මර මර ඉන්න ඕනෙ.
ඒ මොකෝ ඒ?
ඇයි ඉතින් ගෙස්ට් කෙනෙක් මොකක් හරි කම්ප්ලේන් එකක් අරගෙන ආවොත් ඒවා විසඳන්න වෙනවනෙ.
කම්ප්ලේන්ස්?
ඔව්. අපි වගේ නෙමේ. කාමරේක හූනෙක් කැරපොත්තෙක් හිටියත් එයාලට ඒක ලොකු ප්‍රශ්නයක්. කෙළින්ම කඩාගෙන බිඳගෙන අපි ගාවට දුවගෙන එන්නේ. එක්කෝ අර සතාව අයින් කරලා දෙන්න කියනවා. එහෙමත් නැත්නම් වෙන කාමරයක් ඉල්ලනවා. ඒවා නම් අපිට හරිම සාමාන්‍ය දේවල් දැන්.
ඉතින් ඔය හෝටල්වල හූනෝ කැරපොත්තෝ ඉන්න පුළුවන්ද?
ඇයි බැරි? අනික ඔය කැලෑ කිට්ටුව තියෙන සමහර හෝටල් කාමරවල හූනෝ කැරපොත්තෝ විතරක් නෙමේ ගෙම්බොත් ඉඳලා අහුවෙන වෙලාවල් තියෙනවා.
කෝච්චි කතන්දර
අපේ රටේ පොදු ප්‍රවාහන පද්ධතිය ගැන බහුතර ලාංකිකයන් තුළ ඇත්තේ කලකිරීමක් බව අමුතුවෙන් කිව යුතු නැත. උපන්දා සිට බස් රථයේ දුම්රියේ ගමන් කරන අපේ රටේ සාමාන්‍ය පන්තියේ මිනිසුන් තුළ පවා ඒ කලකිරීම විශාල ය. කලට වේලාවට ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක වන යුරෝපයේ සිට එන සංචාරකයින්ට ලංකාවේ ප්‍රවාහනය තුළ තිබෙන අකාර්යක්ෂම බව කලකිරීමකට වඩා පුදුමයකට හේතුවකි.
එක දවසක් මම නානු ඔය ඉඳන් ඇල්ලට යන්න ගෘෘප් එකක් එක්ක නානු ඔය ස්ටේෂන් එකට වෙලා හිටියා. අපි ටිකට් අරගෙනයි තිබුණෙ. කෝච්චිය ඇවිත් නානු ඔයෙන් නැවැත්තුවම අපි කට්ටිය නැග ගත්තා. ටික වෙලාවකින් කෝච්චියේ ගාඩ් බැහැලා යනවා මම දැක්කා. කෝච්චි ගමන් අතරතුරේදී ගාඩ්ලා මාරුවෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඉතින් මාත් එච්චර ගණන් ගත්තේ නෑ. අන්තිමේ ඉන්නවා ඉන්නවා කෝච්චිය පිටත් වෙන්නෙ නෑ. පස්සෙ බැලින්නම් ඇල්ලට යන්න හිටපු කෝච්චිය ගාඩ් කෙනෙක් නැහැ කියලා නානු ඔයෙන් නවත්තලා. ඕක මම සුද්දොන්ට කිව්වම එයාලාට හරිම පුදුමයි.
ඉතින් අන්තිමට මොකද කරගත්තෙ?
මගේ එක පුරුද්දක් තියෙනවා, කෝච්චිය ස්ටේෂමෙන් පිට වෙනකල් මම අපේ බස් එක පිටත් කරන්නෙ නෑ. ඒ නිසා බස් එක ස්ටේෂන් එක අවට තිබුණා. ඒ හින්දා හොඳට ගියා. හැබැයි ඉතින් මඟදි කෝච්චි කැඩුණු වෙලාවට තමයි සංසාරෙ එපා වෙන්නෙ.
අමුතු ප්‍රශ්න
සංචාරයේ අවසාන දවස ජෝ බොහෝ විට වෙන්කරන්නේ සංචාරකයින්ගෙන් නැඟෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමටය. එදිනට ඔහු කතාකරන්නේ අඩුවෙනි. සංචාරකයින්ගෙන් එල්ලවන නා නා ප්‍රකාර ප්‍රශ්නවලට උත්තර දීමට ඔහු කාලය වෙන්කරගනී.
උත්තර දෙන්න බැරි විදිහේ උභතෝකෝටික ප්‍රශ්න නම් මගෙන් මේ වෙනතුරු අහලා නෑ. හැබැයි ඔය වෙද්දි එයාලා අහන්නේ ටිකක් අමුතු ප්‍රශ්න තමා. අපේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආදායම කීයද? ඉන්කම් ටැක්ස් කීයක් ගෙවනවද? ඔය වගේ ප්‍රශ්න තමා අහන්නෙ.
සුද්දන්ට සුද්දෙ දැමිල්ල
අපි සංචාරක කර්මාන්තය ආරම්භ කර දශක ගණනාවක් පසු කර තිබුණ ද ඇතැම් පිරිස් තවමත් සංචාරකයින් දිහා බලන්නේ කීයක් හෝ කඩාවඩා ගත හැකි පිරිසක් ලෙසින් බව ජෝගේ හැඟීමයි; අත්දැකීමයි.
අපේ ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ සුද්දෝ ලංකාවට එද්දි සල්ලි ගෝනි ගණන් අරන් එනවා කියලයි. ඉතින් හැමවෙලාවෙම බලන්නේ කීයක් හරි හූරගන්නයි. එයාර් පෝට් එකේ ඉඳන්ම ඔය සෙල්ලම තියෙනවා. අපේ ගෘෘප්වල සුද්දන්ගෙ පවා බැගේජ් එයාර් පෝට් එකේදී බලෙන් ඇදලා අරන් තමන්ගේ වාහනවලට දාගන්න හදනවා. කීයක් හරි හොයාගන්න තමයි එහෙම කරන්නෙ. ඒත් ඒක ටුවරිස්ටලාට හරිම වදයක්. එහෙම වුණාම ඒ ගොල්ලෝ රටට ඇතුළු වෙන්නෙම නෙගටිව් හැඟීමකින්.
ජෝ දැනට ටුවර්ස් කීයක් විතර ගිහින් තියෙනවද?
ම්හ්.. මම ගණන් කරලා නම් නැහැ. හැබැයි මම දැන් ටුවර්ස් යන්න පටන් අරන් අවුරැදු තිස් හතකට වැඩියි. අසූවටත් ඉස්සෙල්ලායි මම ගයිඩින් පටන්ගත්තෙ. ඉතින් අවුරැද්දකට ටුවර්ස් දහයක් දොළහක් කියලා ගත්තොත් හාරසීයකට ආසන්න ප්‍රමාණයක් ගිහින් තියෙනවා. හැබැයි ඔය රවුන්ඩ් ටුවර්ස් විතරයි. නැව්වලින් එන ටුවරිස්ට්ලාගේ එක දවසේ දෙකේ ටුවර්ස් ගත්තම සෑහෙන ගාණක් තියෙනවා.*
අපිවත් බලලා යන්න එන්න
සංචාරය අතරතුර මුහුණ දෙන විශේෂ සිදුවීම් නිසාවෙන් ගයිඩ් මහතා සහ සංචාරකයින් අතර සාමාන්‍ය සම්බන්ධයකට එහා ගිය හෘදයාංගම මිතුරු සම්බන්ධතා ඇතිවන අවස්ථා ද නැතුවා නොවේ. එවන් අවස්ථා රැසක් ජෝගේ මතකයේ රැඳී තිබේ.
මම ඕලන්ද ගෘෘප් එකක් එක්ක සීගිරියට ගිහින් හිටියෙ. එතැන හිටපු එක පිරිමි කෙනෙක්ට හදිසි හාට් ඇටෑක් එකක් ආවා. ඒත් එහෙම කියලා ටුවර් එක කැන්සල් කරන්නත් බෑනේ. මම කළේ ඉක්මනට අපේ බැගේජ් වාහනේ ගෙන්නගෙන ඒ මහත්තයවයි එයාගෙ නෝනවයි අපේ රියැදුරු මහත්තයා එක්ක නුවර ඉස්පිරිතාලෙට පිටත් කළා. ඒ කරපු උපකාරෙට එයාලා ගොඩක් ස්තූති කළා. නෙදර්ලන්තෙට (ඕලන්දය) ආපු වෙලාවක අනිවාර්යයෙන්ම එයාලගෙ ගෙදර එන්න කියලත් ඉල්ලීමක් කළා.
ඉතින් ගියාද?
ඔව්. ඊට අවුරුදු කීපෙකට පස්සෙ මම යුරෝපෙ ටුවර් එකක් යද්දි ඕලන්දෙට ගිහින් මම ආපු බව දැනුම් දුන්නා. ඉතින් මාව එයාලගෙ ගෙදරට එක්ක ගෙන ගිහින් සතියක් එහේ නවත්තගෙන ඒ රටේ ගොඩක් තැන් බලන්න මාව එක්කන් ගියා. ඊට පස්සෙ වතාවකත් මම බිරිය එක්ක ඕලන්දෙ ගිය වෙලාවක අපි නැවතිලා හිටපු හෝටලයට මෙයාලා හැතැප්ම ගාණක් ගෙවාගෙන ඇවිත් අපිව බලලා ගියා. එයාලා ඒ තරම් කළගුණ දන්න හිත හොඳ මිනිස්සු.
මම සාමාන්‍යයෙන් යුරෝපෙට යන්නෙ ඕලන්දෙන් බැහැලා ට්‍රේන් එකේ. ඉතින් තව දවසක් මම බෙල්ජියමට යන්න මෙහෙන් පිටත් වෙද්දි ඕලන්ද ජාතික වයසක ලේඩි කෙනෙක්ට ඊමේල් එකක් දැම්මා. මම ඕලන්දෙ සිපොල් එයාර්පෝට් එකෙන් බහිද්දි ඒ ලේඩි එතැනට ඇවිත් හිටියා. මට ඇත්තටම පුදුමයි. ඊට පස්සේ පොඩි පාර්සලයක් මගේ අතට දීලා මෙන්න ඔයාගේ බ්‍රෙක්ෆස්ට් එක, මෙන්න ඔයාගේ ට්‍රේන් ටිකට් එක කියලා මගේ අතට දුන්නා. මම සල්ලි දෙන්න හැදුවට ගත්තෙත් නෑ. ඔයා අපි ලංකාවට ආවම අපිට හොඳට සැලකුවා. දැන් ඔයා මගේ ගෙස්ට්. මතක ඇතුව කෝච්චියෙදි නිදාගන්න එපා. හොරු ඉන්න පුළුවන්. පොඩි උපදේශයකුත් දීලයි ඒ ගෑනු කෙනා මට සමුදුන්නෙ.
(ජර්මානු සංචාරක මාර්ගෝපදේශකයෙකුගේ රසවත් අත්දැකීම් සමඟ ලබන සතියේත් නැවත හමුවෙමු.)
රජිත ජාගොඩ ආරච්චි -
සේයාරූ - සුමුදු හේවාපතිරණ සහ
චන්න කස්සප කෝරලේආරච්චි