
ප්‍රතිකාර ගැනීමට පැමිණෙන බොහෝ දෙනා පැමිණිලි කරන තත්ත්වයක් ලෙස යටි පතුල් හා විලුඹේ වේදනාව බහුලව දක්නට ලැබේ. වර්තමානයේ මිනිසාගේ ජීවන රටාව හා ඇවතුම් පැවතුම්වල වෙනස්කම් සමඟ මෙවැනි රෝග ප්‍රමුඛ වූවා විය හැකිය. අතීතයේදී මිනිසා සාමාන්‍යයෙන් පාවහන් පැළඳීම අනිවාර්ය අංගයක් නොවූ බැවින් හොඳින් පොළොව මත පය තබා ඇවිදීම නිසා යටිපතුල්වලට, පාදවලට අවශ්‍ය ව්‍යායාම නිසැකයෙන්ම ලබාගත් නමුත් වර්තමානය වනවිට ටයිල් ඇතිරූ ඉතාමත් මටසිලුටු තැන් මත නිතර ඇවිදීම, නිතර පාවහන් පැළඳීම නිසා මේ තත්ත්වයන්ට ඔරොත්තු නොදෙන ලෙස යටිපතුල් සම සිනිදුවීම මත සංවේදීතාවය වැඩිවී ඇත. සුළු හෝ යටි පතුලේ මාංශ පේෂීන් ආශ්‍රිතව සිදුවන සුළු වෙනසකට පවා සංවේදීතාවය වැඩිවෙයි. මේ හේතුව නිසාද යටිපතුල් වේදනාව, ඇවිදීමේ අපහසුව පිළිබඳව පැමිණිලි කරන රෝගීන් බිහිවීමට ඇත්තේ වැඩි ප්‍රවණතාවයකි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ද වාත කණ්ඨික, වාත රත්ත වැනි රෝග තත්ත්වයන්වලදී යටි පතුල්වල වේදනාව පිළිබඳ විස්තර කරනු ලබයි.
මීට අමතරව සන්ධිගත වාත අවස්ථාවන්වේදීද මෙවැනි වේදනාවක් ඇතිවිය හැකිය. විශේෂයෙන් නින්දෙන් පසුව උදෑසන අවදි වීමේදී, එක දිගටම සිටගෙන සිටීමේදී ද මෙවැනි වේදනා තත්ත්වයක් ඇතිවිය හැක. නමුත් ප්‍රතිකාර නොකර සිටීමෙන් හා රෝග තත්ත්වය කල්ගත වීමෙන් කලකට පසුව ඇවිදීමේදී දිගටම වේදනාව පවතින අවස්ථා දක්නට ලැබෙයි. බොහෝ අවස්ථාවන්හි එක් පාදයක පමණක් දක්නට ලැබෙන අතර දෙපයේම දක්නට ලැබෙන අවස්ථා ද ඇත.
කලාතුරකින් පාදවල ඉදිමීම හා හිරිය දක්නට ලැබෙයි. අධික ලෙස ඇවිදීම, දිවීම, රළු පෘෂ්ඨ මත බොහෝ වේලා සිටගෙන සිටීම යටි පතුලේ ව්‍යුහාත්මක වෙනස්කම් (Flat feet/ high arches) අති ස්ථුලතාවය, අධි අස්ථි වර්ධනයත් නිසා ද මෙවැනි වේදනාවක් හට ගනී.
ආයුර්වේදයේ වාත කණ්ඨක ලෙස හඳුන්වන මෙම තත්ත්වය මුල් අවස්ථාවේදී ප්‍රතිකාර කර සුව කළ හැකි අතර කල්ගතවූවිට ශල්‍ය කර්මයක් මඟින් ඉවත් කළ යුතුවෙයි. X කිරණ ඡායාරෑප මඟින් මෙම තත්ත්වය පැහැදිලිව දර්ශනය වෙයි.
සුවපහසුව නොවූ පාවහන් පැළඳීම නිසාද මෙවැනි තත්ත්වයක් අතිවිය හැකිය. එමඟින් සුවපහසු පාවහන් පිළිබඳව සැලකිලිකමක් විය යුතුය. උසට සරිලන බරක් පවත්වා ගත යුතුය. වේදනාව වැඩිවන ක්‍රියාකාරකම්වලින් වැළකිය යුතුය. එබැවින් විවේකයෙන් සිටීම ඉතා වැදගත් වේ. මද උණුසුම් ජලයේ ගිල්වා තබා සිටීම හෝ මද රස්නයෙන් පාද තැවීම් කිරීම, පාදවලට සුදුසු ව්‍යායාමවල යෙදීම (Stretching) කළ යුතු වේ.
ආයුර්වේදය වාත රෝග හා වාත කණ්ඨක ප්‍රතිකාර මඟින් මෙය පාලනය කරගත හැකිවේ. සුදුසුකම් ලත් වෛද්‍යවරයකුට පෙන්වා මේ සඳහා ඉතා ඉක්මණින් ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍යයි. ආයුර්වේදයට අනුව තෙල් ගෑමෙන් තැවීමෙන් මෙන්ම රෝග ලක්ෂණයන්ට අනුව පත්තු බැඳීමෙන් ද මෙම රෝගය සුව කර ගැනීමට පුළුවනි.
කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය
සෙත්සුව ආයුර්වේද රෝහල