2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

නත්තල් සේල්

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 398

බිස්නස් මදි..... හාෙඳයි..... නරකයි

වසරේ අවසන් සැණකෙළිය නත්තල නිමිත්තෙන් පවත්වන නානාප්‍රකාර වෙළෙඳසල් පිල් සොයා කොළඹ හා අවට සැරිසැරූ අපට දක්නට ලැබුණු කුඩා සහ මහා පරිමාණ ව්‍යාපාරික ස්ථාන රාශියකි. කොළඹ සිට හලාවත දෙසට යන ප්‍රධාන මාර්ගයේ සෑම නගරයකම පිහිටි ලොකු කුඩා රෙදිපිළි, තෑගි භාණ්ඩ සහ නොයෙකුත් ව්‍යාපාරික ස්ථානවල “සේල් ආරම්භ කර ඇත්තේ විශාල වශයෙන් මිල අඩුකිරීම් දක්වමිනි. කොළඹ සිට ගාලු පාරේ තත්ත්වය ද ඊට වෙනස් නැත. බොහෝ ව්‍යාපාරික ස්ථානවල “මහා සේල්* පුවරු දක්වා තිබුණේ 50ක මිල අඩු කිරීම් දක්වමිනි. මේ ආකාරයට විවිධාකාර ප්‍රතිශතයන්වලින් මිල අඩුකළා යැයි සඳහන් කළ පුවරු සහිත රෙදි සාප්පු, තෑගි භාණ්ඩ අලෙවිසල්, විදුලි උපකරණ හා ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනාගාර මඟදෙපසය. ඇතැම් ව්‍යාපාරික ස්ථානවලින් මිලට ගන්නා භාණ්ඩ නිවෙස් වෙත ප්‍රවාහනය නොමිලේ යැයිද දක්වා තිබුණි.

කොළඹට නුදුරු වත්තල, කිරිබත්ගොඩ, නුගේගොඩ, මහරගම ආදී නගරවල නත්තල් සිරිය පිරී ගොසින්ය. හිතුමතේ මහමඟ පැනයමින් දුවනා මිනිසුන් සොයන්නේ ලාබ සේල්ය. මේ නිසා ඇතිවන රථ වාහන තදබදය ගැන ඔවුන්ට වගක් නැත. කොළඹ පිටකොටුව ආශ්‍රිතව වීථි ගණනාවක් නත්තල් සැරසිලි වෙළෙඳාමෙන් පිරී ගොසිනි. මල්වත්ත පාර හන්දිය සිට කෙළින් වීදිය පුරා පදිකවේදිකාව සහ හන්දි අසළ පාට පිරුණු නත්තල් සැරසිලි අලෙවිසල්ය. එක් තට්ටුවක වෛවාරණ පැහැයෙන් බබළන බෝල, තරු, පබළු වැල් සහ දිලිසෙන රැළි වර්ගය. තව ලෑලි තට්ටුවක නත්තල් සීයාගේ අනුරුව, වෙස් මූණු සහ මුවන්ගේ රූපය කෙළින් වීදියේ පළමු හරස්වීදිය මංසන්ධිය අසල පිරී ඇත්තේ නත්තල් ගස්වලිනි, අඩි 2 සිට අඩි 20 දක්වා ප්‍රමාණවලින් අලෙවියට ඇති නත්තල් ගස් සියල්ල කෘතිමව නිපදවූ ඒවාය.

සෑම වසරකම පාහේ මේ ස්ථානයේ නත්තල් ගස් අලෙවි කරනා බව පාරිභෝගිකයන් දන්නා කරුණකි. එබැවින් එම ස්ථානයට ගැනුම්කරුවන්ගෙන් අඩුවක් නැත. “අපි අවුරුදු ගණනක් තිස්සේ නත්තලට මේ බිස්නස් එක කරනවා. තාත්තා තමයි පටන් ගත්තේ... දැන් දවස් කීපයක ඉඳන් මෙතන ඉන්නවා. හැබැයි තවම අපිට ලොකු සේල් එකක් නෑ. පේන විදිහට නම් ගිය පාරට වඩා බිස්නස් අඩුයි... මෙසේ කීවේ නත්තල් ගස් අලෙවියේ නිරතව සිටි අනාස් මහතාය. ඔහු කියාසිටියේ චීනයෙන් ගෙන්වූ කෘත්‍රීම නත්තල් ගස් සඳහා විශාල බදු මුදලක් ගෙවා ඇති බවත් ඊට සාපේක්ෂව භාණ්ඩ සඳහා මිල නියම කර තිබෙන බවත්ය.

ලංකාවේ නිර්මාණකරුවන්ට උදවු කරන්න කෙනෙක් ඉන්නවනම් චීනයෙන් බඩු ගේන්න ඕනැ නෑ

“වෙනදාට ගෙන්වන නත්තල් ගස්වලට වඩා මේක විශේෂයි. බැලූ බැල්මට ලස්සනයි. දිලිසෙන පෙනුමක් තියෙනවා. නත්තල් ඉවර වුණාමත් මේක ලස්සනට ගෙදර තියන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ලංකාවේ මේ ගස් හදලා විකුණන අය ඉන්නවා. නමුත් ඒවා චීන බඩුවලට ගණන් වැඩියි. හැබැයි බඩු වටිනවා. යැයි අනාස් මහතා පැවසීය.

පිටකොටුව කෙළින් වීදිය දිගේ ගිය අපට මල්වත්ත පාර මංසන්ධියේ ස්වයං රැකියාලාභීන් සඳහා වෙන්කළ ව්‍යාපාරික ගොඩනැගිල්ලේ දකින්නට වූයේ නත්තල් අලංකරණ ද්‍රව්‍ය සපිරි සුවිසල් තට්ටුවකි. එහි අලෙවිකරණයේ නිරත සේවකයන් කීපදෙනෙකි. එහි පවතින සැරසිලි ද්‍රව්‍ය සෙසු ස්ථානවලට වඩා වෙනස්ය. සැබැවින්ම ලස්සන නිර්මාණශීලී ඒවාය. ඒ වෙත ගිය අපට කතා කළේ එම ව්‍යාපාරයේ හිමිකාර “අස්මින් මහතාය.

“මම මෙතන කාලයක ඉඳන් මේ බිස්නස් එක කරනවා. මේ සැරේ බඩු ටික දැම්මේ ගිය මාසේ 10 වැනිදා. කලින්ම දැම්මේ ඔෆිස් සරසන්න කලින් බඩු ගෙනියන නිසා මට නම් ගියපාරට වඩා බිස්නස් එක හොඳයි. සෙනඟ හොයාගෙන ඇවිත් ගෙනියනවා. මගේ ළඟ මිල සාධාරණයි. ලොකුකමට කියනවා නෙවේ මේ පාර චීනයෙන් මේ සැරසිලි බඩු ගෙන්නුවේ මම විතරයි. කන්ටේනරයක් ගෙන්නලා යාළුවෙක් එක්ක දෙකට බෙදාගත්තා. ඒ නිසා මට අනිත් අයට වඩා අඩුවෙන් විකුණන්න පුළුවන්. මේ පාර අලුත් අයිටම් කීපයක් ගෙන්නලා තියෙනවා. මේ අතරේ ලංකාවේ නිර්මාණ කීපයක් විකුණනවා. ඒවා ටිකක් මිල වැඩියි. නමුත් හරි ලස්සන බඩු. ඒ වගේ නිර්මාණකරුවන්ට ලංකාවේ උදව් කරන්න කෙනෙක් නෑ. නැත්නම් අපිට චීනයෙන් බඩු ගේන්න ඕන් නෑ.

මේ ස්ථානයේ සැරසිලි ද්‍රව්‍ය තෝරමින් පොදිකන පාරිභෝගිකයන් රාශියකි. ඔවුන් අතරින් අපට කතා කළ සීදූව සිට පැමිණි ජී.එම්. ගාමිණී මහතා මෙසේ පැවසීය.
මම ගිය සතියේ ඇවිත් මෙතනින් බඩු ටිකක් අරගෙන ගියා. ගණන් අඩුයි කියලා තේරුණා. එදා අරගෙන ගියේ මගේ කාර්යාලය සරසන්න. මේ බඩු ලස්සනයි කියලා හිතුණු නිසා ආයම ආවා. ගෙදරටත් ගෙනියන්න හිතුවා. ලබන සතිය දිහාට අයෙම එනවා. දැනට රුපියල් 30,000ක විතර බඩු ගත්තා. ගොඩාක් තැන්වල බැලුවාට මෙතන තමයි අපිට ලාභ තැනකට තිබුණේ.
මේ අතර කෙළින් වීදිය, පළමු හරස් වීදිය, දෙවන හරස් වීදිය සහ බෑන්ක්ෂෝල් වීදිය ස්ථානවල විදුලි බුබුළු සහ සැරසිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳුන් රාශියකි. ඔවුන් කීපදෙනකුම අප හා කියා සිටියේ ගිය වසරට වඩා බිස්නස් අඩු බවත් තව දින කීපයකින් හොඳ අලෙවියක් බලාපොරොත්තු වන බවය.

පිටකොටුව පසු කර කොච්චිකඩේ දේවස්ථානය දෙසට ගිය අපට දකින්නට ලැබුණේ නත්තල් සැරසිලි අලෙවිසල් රාශියකි. එහිදී කැපීපෙනුණේ විවිධ ප්‍රමාණයන්ගෙන් නිර්මාණය කර ඇති ගව මඩු අලෙවිකරන බවය. ඒවා රුපියල් 350 සිට ඉහළට මිල නියම කර තිබුණි. එම ස්ථානයෙන් පිටත් වූ අප කොළඹ - නුවර පාරේ දෙහිවල ශාන්ත මරියා දෙව්මැදුර අසළට ගියෙමු. එහි ඉදිරිපිට පදිකවේදිකාව අසල නත්තල් සැරසිලි අලෙවිසලකි. වෙනත් සැරසිලිවලට වඩා එහි තිබුණේ විවිධ ප්‍රමාණයෙන් ලද ගව ලෙන්ය.

ව්‍යාපාර පවත්වාගෙන යමින් සිටියේ පුබුදු සංජීව මහතාය. ඔහු පැවසුවේ මෙවැන්නකි. “අපි සෑම අවුරුද්දෙම මේ සීසන් එකට නත්තල් සැරසිලි විකුණනවා. දැන් අවුරුදු 58ක් විතර මේක කරනවා. කලින් අපි කටුබැද්ද හන්දියේ කළේ. දැන් එතන අයියා කරනවා. මම දෙහිවලට ආවා. මම මෙතන වැඩිපුරම විකුණන්නේ ගව ලෙන් තමයි. අනික් තැන්වල ගව ලෙන් විකුණුවාට මේ වගේ නෑ. මම විකුණන්නේ අංගසම්පූර්ණ ගවලෙන්වලට වුවමනා ප්‍රතිමා සියල්ල තියෙනවා.
නත්තල් සමයේ කොළඹ සරණ නොයෙක් වෙළෙන්දන් සිටියත් කැපී පෙනෙන පිරිසක්ද ඒ අතර සිටිති. ඔවුන් ස්වභාවික නත්තල් ගස් නැතිනම් දේවදාර අතු විකුණන පිරිස්ය. ඔවුන් තවමත් කොළඹ ප්‍රදේශයේ දකින්නට නැතිමුත් නත්තල දිග කීපයක් නිසා වෙළෙඳාමේ නිරත වෙති. ඔවුන් හමුවී අතු මිලට ගැනීමට අවශ්‍යනම් කොළඹ විහාර මහා දේවී උද්‍යානය, නව නගර ශාලාව, රීඩ් මාවත යන ප්‍රදේශවලට යා යුතුය.

► කතාව/ සේයාරූ  සමන්ත ප්‍රදීප් විල්තෙර