
වර්තමානයේදී අප ජීවත්වෙන කාර්යබහුල කලබලකාරී සමාජ වටපිටාව තුළ හිසරදය, නැතහොත් හිසේ වේදනාව ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අත් නොවිඳි අයකු සිටීම ඉතා දුර්ලභ අවස්ථාවකි ඒ. අපගේ ශාරීරික මෙන්ම මානසික වෙනස්වීම් මත බහුලව ඇතිවන රෝග තත්ත්වයක් නිසාවෙනි.
සාමාන්‍යයෙන් හිසරදය භයානක රෝග තත්ත්වයක් ලෙස නොසැලකේ. මෙය වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් ලෙසද ඇතිවිය හැකිය. බහුලවම ඇති වන්නේ මානසික ආතතිය හා යම් රෝගයක් ආශ්‍රිතව කෝඨාරක ප්‍රදාහය නිසා ඇතිවන තත්ත්වයන්ය. මෙය ඉතා සරල රෝග අවස්ථාවක් වුවත් යම් අවස්ථාවන්හිදී භයානක රෝග තත්ත්වයක රෝග ලක්ෂණයක් ලෙසද ඇතිවිය හැක. එබැවින් ඒ පිළිබඳව අවබෝධය රෝගීන්ට ලබාදිය යුතුය. මන්ද යත් ජීවිත අවදානම් සහිත තත්ත්වයන්වලදීද යම් රෝග තත්ත්වයන් හිසරදය ලෙස බාහිරව පෙන්නුම් කරන අවස්ථාද තිබීමය.
බහුලව හිසරදය ඇතිවීමට හේතු:
• මානසික ආතතිය
• මානසික රෝග තත්ත්වයන්
• විජලනය
• ආසාත්මිකතා ඇතිවූ විට
• මළබද්ධය
• මත්ද්‍රව්‍ය ගැනීම හේතුවෙන්
• ඇස් පෙනීමේ දුර්වලතා
• ඇස්, කන්, නාසාවල වෙනත් විකෘතිතා
• අධික රුධිර පීඩනය
• අඩු රුධිර පීඩනය
• උණ
• හෘද රෝග
• වෙනත් ස්නායු රෝග
• මොළයට රැධිර සපයන රුධිර නාලිකාවල අවහිරතාවයන්
• මොළයේ ඇතිවන අර්බුද (Tumour)
මීට අමතරව ශාරීරික හේතූන් ලෙස පොදුවේ ගත්විට,
හිසට සම්බන්ධ රුධිර නාල, මස්තිෂ්ක ආවරණ ස්නායු, හිස් කබලේ ආවරණය, මාංශ පේශි, ඇස්, කන් හා ශ්ලේෂ්මල පටලවල විකෘතිතාවයන් හෝ ස්වභාවික ක්‍රියාකාරීත්වයේ අසාමාන්‍යතාවයක් හේතුවෙන්ද හිසරදය ඇතිවිය හැක.
ආයුර්වේදයට අනුව දෝෂ තත්ත්ව අනුව රෝග ලක්ෂණ වෙනස් වන අතර ඒ අනුව ප්‍රතිකාර තීරණය කෙරේ. සාමාන්‍ය රෝගී අවස්ථාවන්දී වුවත් එහි බරපතළ අවස්ථා පිළිබඳව පෙර සිටම අවබෝධයක් ඇතිව සිටීම ඉතා වැදගත් වේ.
සමාජයේ බහුලවම ඇතිවන හිසරදයට බොහෝ විට මානසික ආතතිය (Tension headache) හේතුවෙන් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි. මෙය දීර්ඝකාලීනව නොපවතින, ඇතිවන නැතිවන තත්ත්වයකි. නමුත් අපි අවධානය යොමු කරවිය යුත්තේ ජීවිත අවදානම් සහිත තත්ත්ව අවබෝධ කරගැනීම පිළිබඳවයි.
හිසරදය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සෑමවිටම බොහෝ අය සිතන බැවින් එවැනි අවදානම් තත්ත්වය පිළිබඳව කිසිවෙක් එතරම් තැකිමක් නොකරති. නමුත් අවසානයේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවේ. හිසරදය ඇතිවන වේලාව එහි ස්වභාවය හා තීව්‍රතාවය අනුව විවිධ නිගමනවලට පැමිණිය හැක.
එක්වර ඇතිවන ඉතා දරුණු හිසේ වේදනාව මොළයේ රුධිරය ගැලීමක් හේතුවෙන් ඇතිවිය හැක. හිසරදය සමඟ උණ, ගෙලෙහි තද බව, බර අඩුවීමක් වැනි ලක්ෂණ දක්නට ඇතිවිට ඒ පිළිබඳව විශේෂයෙන් සැලිකිලිමත් විය යුතුය. එසේම නිතරම පවතින හිසේ වේදනාවද නොසලකා හැරිය යුතු නොවේ.
අවුරුදු පනහට පසු ඇතිවන හිසරදය බොහෝවිට මොළයට රුධිරය සැපයුම අඩුවීම, රුධිර නාලිකා ආසාදනය (arteritis) මොළයේ පිළිකා තත්ත්වය නිසා ඇතිවිය හැකිය. මෙය සෑමවිටම එසේ නොවූවද අවධානය යොමු කළයුතු අවස්ථා ලෙස දැක්විය හැක.
ඒඩ්ස් ආසාදිත හෝ පිළිකා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම නිසා ඔවුන්ට ඇතිවන හිසරදයට හේතුව මස්තිෂ්ක ආවරණවල අසාධ්‍ය තත්ත්වයන් නිසාද ඇතිවිය හැක. එබැවින් නොකඩවා පවතින හිසරදයත්, නින්දට බාධා වන හිසරදයක් පවතී නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු මුණගැසිය යුතුය.
ප්‍රතිකාර:
• ආයුර්වේදයේ මේ සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ඇත.
• හැකි තරම් උණුසුම් ජලය පාලනය කරන්න.
• හිසට ආයුර්වේද තෙලක් යොදන්න.
• මේ සඳහා අභ්‍යන්තර ඖෂධීය ප්‍රතිකාර මෙන්ම බාහිර ඖෂධීය ප්‍රතිකාරද ඇත.
• හිසට තෙල් යොදා සම්බාහනය කිරීමෙන්ද හිසරදය අඩුකර ගත හැක.
• ශිරෝධාරා ක්‍රමය මගින්ද (හිසට තෙල් ධාරාවක් යෙදීමෙන්) හිසරදය සඳහා ප්‍රතිකාර ලබාදේ.
• හිසරදය ඇතිවිට සවස් කාලයේදී ස්නානය කිරීමෙන් වළකින්න.
• ඖෂධීය කොළ තම්බා ඒ හුමාලයෙන් දුම් අල්ලන්න.
ආයුර්වේද වෛද්‍ය කුමුදුනී ද සිල්වා
සෙත්සුව ආයුර්වේද රෝහල