2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

ඡන්දේ ඉල්ලලා රුපියල් 5000ක් ලාබ වුණා. වියදම බුලත් කොළ ටිකකට විතරයි

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66
වන්නිනායක ඇමැතිතුමා වාගේ දේශපාලනඥයෙක් හමුවෙලා නෑ. එතුමා පක්ෂග්‍රාහි නෑ. අවංක දේශපාලනඥයෙක්. දේශපාලනයෙන් හරි හම්බු කළේ නෑ. තිබුණ දේවල් වියදම් කළා. හැම ඉරිදාවකම කොට්ඨාස දිනයට බලල්ලට එනවා. රියැදුරැයි ඇමැතිතුමයි විතරයි කාරයේ එන්නේ. ගාඩ්ලා නෑ. වන්නිනායක මහත්තයා ඇන්දේ බූට්ස් කෝට් එකයි, කලිසමයි. කෑමවල විශේෂත්වයක් නෑ. කොට්ඨාස දිනේට ආපුහාම ඥාතීන් තමයි කෑම ගෙනත් දෙන්නේ. මොනවා දුන්නත් කනවා.
 
දැන් ඔය දැදුරු ඔයට උඩින් හදලා තියෙන පාලම වන්නිනායක ඇමැතිතුමාගේ කාලේ ඉඳිකළේ. පාලම විවෘත කරන්නේ හෙට කියලා වන්නිනායක මහත්තයා කොළඹ ඉඳලා බලල්ලට එන්ඩ ආවා. ඩ්‍රයිවර් මහත්තයයි ඇමැතිතුමයි විතරයි කාරයේ ආවේ. ඒ එනකොට දැදුරු ඔය ගලලා. අලුත් පාලම හදන්න කලින් ඊට පහළින් හදලා තිබුණු නැලවිල්ලෙන් තමයි වාහන පවා ආවේ ගියේ. දැන් නැලවිල්ලත් යට වෙලා. පාලම විවෘත කරන්නේ හෙට නිසා ඒක උඩින් යන්න දෙන්නෙත් නෑ. පාලමට මුරකායෙකුත් දාලා වන්නිනායක ඇමැතිතුමාගේ ඩ්‍රයිවර් කියලා තියෙනවා. සර් මුරකාරයාට කීයක් හරි දීලා පාලමෙන් යමු. කියලා. දැන් හොඳටම රෑත් වෙලා තිබිලා තියෙන්නේ. ඊට පස්සේ වන්නිනායක ඇමැතිතුමත් ඩ්‍රයිවර් අතට රුපියලක් දීලා තියෙනවා. ඩ්‍රයිවර් ඒක මුරකාරයට දුන්නට පස්සේ පාලමේ බාධකය අයින් කරලා දීලා තියෙනවා.
 
පහුවදා වන්නිනායක ඇමැතිතුමා පාලම විවෘත කරලා ඊට පස්සේ තිබුණු උත්සව සභාවේදී කීවා. අද මං මේ අලුත් පාලම තමුන්නාසේලා ඉදිරියේ නිල වශයෙන් විවෘත කළාට ඊයේ රෑ රුපියලක් දීලා මම මේක නොනිල වශයෙන් විවෘත කරයි ගියේ.යි කියලා කීවා.
 
මහව මධ්‍ය විද්‍යාලය විවෘත කරන උත්සවයට සහභාගී වෙන්න කියලා බෙදා හැරීමට පත්‍රිකාවක් ගැහුවා. ඒකේ කවි තමයි තිබුණේ. මධ්‍ය විද්‍යාලය විවෘත කළේ යූ.බී. වන්නිනායක මුදල් ඇමැතිතුමා ඒ පත්‍රිකාවේ තිබුණ කවියක් මට තාම මතකයි.
 
වන්නියේ පළාතේ ළමයින්            නඟවන්න
උසස් විදුහලක් ජයටම                  අරඹන්න
උළෙලක් සිදු කෙරේ මුළු දහිරිය     දෙන්න
විසිහත් වැනිදාට ඔබ මහවට          එන්න
 
වන්නිනායක ඇමැතිතුමා මේ පළාතට හොඳට වැඩ කළා. හොඳම දේශපාලනඥයෙක්. ඒත් අන්තිමට එතුමා ඡන්දයෙන් පරාජය වුණා. හැබැයි ඒ වෙලාවේ නම් එතුමා සෑහෙන්ඩ කළකිරුණා.
 
ඔබත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා නේද? මම රත්නමලල මහතාගෙන් ඇසුවෙමි.
 
ඒක වුණෙත් අහම්බෙන්නේ. මට දේශපාලනයට යන්ඩ වුවමනාවක් තිබුණේ නෑ. ප්‍රාදේශීය සභාවට තරග කරන්න අපේ ගම් පළාතෙන් දෙන්නෙක් ඉදිරිපත් වුණා. දෙන්නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුරෝහිතයන්. දෙන්නගෙන් කාට දෙන්න ද කියලා මන්ත්‍රීවරයාට තීරණය කරන්න බැරිව ගියා. මම එතකොට විශ්‍රාම ගිහින් හිටියේ. දවසක් මන්ත්‍රීතුමා මට එන්ඩ කියලා පණිවිඩයක් එවලා තිබුණා. මං හවසක මන්ත්‍රීතුමාගේ ගෙදර ගියා. ඒ ගියාට පස්සේ නොමිනේෂන් එකට මගේ අත්සන ගත්තා.
මං නොමිනේෂන් බාර දෙන්ඩ ගියේවත් නෑ. පෝස්ටර්, බැනර් ගැහුවෙත් නෑ. හැබැයි ගමේ අයට බුලත් කොළයක් දීලා කීවා මාත් ඡන්දයට ඉල්ලනවා කියලා. බුලත් කොළ ටිකට හැරෙන්නට ඡන්දයට කියලා මගෙන් ශත පහක්වත් වියදම් වුණේ නෑ. මිනිස්සුත් මට සල්ලි දෙන්න හැදුවා. මම ගත්තේ නෑ. ඔය ඡන්දය නිසා මම රැපියල් 5000ක ලාභයක් ලැබුවා. යි කියමින් හේ සිනාසෙන්නට විය.
 
ඊට කාරණා මොනවාදැයි මා විමසූ විට ඔහු දුන්නේ මේ පිළිතුරයි.
 
එතකොට පක්ෂයේ සභාපති වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය. ඇය ඒ සැරේ පළාත් පාලන මැතිවරණයට පක්ෂයෙන් තරග කළා සෑම අපේක්ෂකයෙකුටම පක්ෂ අරමුදලින් රුපියල් 10000 බැගින් දුන්නා. එස්.බී. නාවින්න මහත්තයා හරහා තමයි අපට ඒ මුදල් බෙදලා දුන්නේ. මට ලැබුණ මුදලින් රැපියල් 5000ක් මං කොල්ලන්ට අරක්කු බොන්ඩ කියලා දුන්නා. ඉතිරි 5000 මං තියාගත්තා. ඉතිං ඡන්දය නිසා මට රැපියල් 5000ක ලාභයක් තිබුණා.
 
ඡන්දයෙන් මම දිනුවා. අවුරුදු හතරක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස හිටියා. දේශපාලනය මට එපාම වුණේ ඔය කාලේදී. සභාවට ලැබෙන මුදල් ආණ්ඩු පක්ෂයේ අය බෙදා ගන්නවා. සභාපතිට, උප සභාපතිට වැඩි කොටසක්. බලය ඇති හැටියට තමයි බෙදා ගැනිල්ලේ තරම අඩු වැඩි වෙන්නේ. පසුපෙළ මන්ත්‍රීවරුන්ට නෑ. මාත් ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රී කෙනෙක්. ඉතිං අපට ගමට වැඩක් කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රී කියන හැම එකකටම එහෙයි කීවොත් හොඳයි. විරැද්ධ වුණොත් කැපිල්ල. ඕක තමයි අද දේශපාලනය. එතැනින්ම මට මන්තිරිකම් එපා වුණා.
 
ඔබ තවමත් අවිවාහකයි. ඇයි එහෙම වුණේ. අවසන්වරට ඔහුගෙන් ඇසුවෙමි.
 
හැමෝම හිතන්නේ ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටිලා මං විවාහ නොවී ඉන්නවා කියලා. එහෙම දෙයක් නෑ. විවාහයකට ගෙදරින් යෝජනා ගොඩාක් මුලදී ගෙනවා. ඒත් මුල සිටම විවාහ වීමට මගේ අදහසක් තිබුණේ නෑ. ඒ නිසා දිගටම තනිකඩව හිටියා.
සුවහසක් දරැවන්ගේ ජීවිත ආලෝකවත්කොට ඒ ගුරු භූමිකාව දෙස ආපසු හැරී බලමින් ආත්මීය වින්දනයක් ලබමින් විශ්‍රාම සුවයෙන් පසුවන මේ ඇදුරිදුට දිගා සිරි පතමින් මම ඔහුගෙන් සමුගතිමි.
 
 කතාව හා පින්තූර - ගල්ගමුව නිහාල් ජයවීර
ස්තුතිය - අතරගල්ල හදිසි මරණ පරීක්ෂක ඩබ්ලිව්.එම්. රත්නායක මහතාට.