2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

පොල්තෙල් භාවිතයට බයවෙන්න එපා

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 168

වර්තමානයේදී බොහෝ දෙනා ආහාර පිළිබඳව එතරම් සැලකිලිමත් බවක් දක්වන්නේ නැත. මේ හේතුවෙන් විවිධ රෝගාබාධවලට ලක්වන පිරිස විශාලය. විශේෂයෙන් බෝ නොවන රෝග බොහොමයකට හේතුව වැරදි ආහාර පුරුදුය. බොහෝ රෝග ඇතිවීම වැළැක්වීමට ආහාර අපට උදව් කෙරේ. එවැනි සුවිශේෂී අවධානයක් යොමුකළ යුතු ආහාරයක් ලෙසින් පොල්තෙල් හැඳින්විය හැක.

වර්තමානයේදී ආහාර අතර සුවිශේෂී සුපිරි ආහාර කාණ්ඩයක් ලෙස පොල්තෙල් දැක්විය හැක. එයට හේතුව පොල්තෙල් මගින් ශරීරයට ලැබෙන පෝෂණයයි. පොල්තෙල් මඟින් හෘද රෝග සහ වෙනත් රෝග ඇතිවිය හැක යන විශ්වාසය මත පොල්තෙල් හා පොල් සම්බන්ධයෙන් ලංකාවේ මෙන්ම ලෝකයේ මිනිසුන් අතර හා වෙනත් පර්යේෂකයින් අතර විවිධ ආකල්ප හා විවිධ මතභේද පවතී.

නමුත් වසර දහසකට අධික කාලයක සිට ලංකාවේ මිනිස්සු පොල්තෙල් අනුභව කරති. එහෙත් එකල අද මෙන් හෘදයාබාධ, අධික රැධිර පීඩන හෝ එවැනි සැලකිය යුතු වෙනත් බෝ නොවන රෝග තත්ත්වයන් ඇතිවී නොමැත. විශේෂයෙන් දකුණු පැසිපික් කලාප රටවල්වල මිනිසුන්ගෙන් 60%ක් කැලරි අවශ්‍යතාවයන් සපුරා ගනු ලබන්නේ පොල්තෙල් මගිනි. එහෙත් ඔවුන් ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විවිධ අධ්‍යයන වලින් හෙළිවී තිබේ. පොල්තෙල් අනුභවයෙන් හෘදයාබාධ සෑදෙන්නේද යන්න පිළිබඳවද විවිධ මතභේද පවතී. විශේෂයෙන් එක්තරා කාලයකදී පොල්තෙල් මඟින් හෘදයාබාධ අවදානම වැඩිවිය හැකි බව ලංකාවේ විවිධ මිත්‍යා ආකල්ප ගොඩනංවනු ලැබීය.

නමුත් එය සත්‍ය නොවේ. ආයුර්වේදයට අනුව වසර දහස් ගණන් තිස්සේ පොල්තෙල් සහ පොල් ආහාරයට ගත් අතර බොහෝ රෝග රැසකට ගුණදායක ඖෂධයක් ලෙස එදා සිටම අද දක්වා සැලකේ. සාමාන්‍යයෙන් පොල්තෙල්වල අඩංගු වන්නේ සංතෘප්ත මේද අම්ලයයි. විවිධ මතභේදවලට ප්‍රධාන හේතුව වන්නේ මෙම සංතෘප්ත මේද අම්ල ශරීරයට අහිතකර බවට නවීන වෛද්‍ය පර්යේෂණ මගින් දක්වා තිබීමයි. සාමාන්‍යයෙන් සංතෘප්ත මේද අම්ල මඟින් සිරුරේ කොලෙස්ටෙරොල් ප්‍රමාණයට අහිතකර බලපෑමක් එල්ල විය හැකි බවට බොහෝ දෙනෙකුගේ ආකල්පයයි.

සෑම පුද්ගලයෙකුගේම මොළය, වකුගඩු, අක්මාව වැනි තැන්වල කොලෙස්ටෙරොල් අඩංගුය. සිරුරේ සෛලවල මනා ක්‍රියාකාරීත්වයට සහ ඒ තුළින් නිරෝගී දිවියකට පොල්තෙල් අත්‍යාවශ්‍ය වේ.

සාමාන්‍යයෙන් විද්‍යාත්මකව කොලෙස්ටෙරොල් නිපදවිය හැක්කේ මිනිසාට සහ අනික් තුන්ට පමණි. ශාඛවලට එය කළ නොහැක. එබැවින් ශාක ලෝකයේ කිසිදු ශාඛයකට කොලෙස්ටෙරොල් නිපදවීමේ හැකියාවක් නැත. එබැවින් කිසිදු ශාකයක ශරීරයට අහිතකර කොලෙස්ටෙරොල් අඩංගු නොවේ. මිනිස් සිරුරේ පවතින කොලෙස්ටෙරොල් වලින් 70%ක් අක්මාවේ නිපදවනු ලබන අතර ඉතිරි ඒවා සත්ව ආහාර වන කිරි, බිත්තර, මස්, මාළු වලින් සිරුරට ලැබේ.

කොලෙස්ටෙරොල් ප්‍රධාන කොටස දෙකකි. එනම් ශරීරයට අහිතකර වූ කොලෙස්ටෙරොල් සහ ශරීරයට හිතකර වූ කොලෙස්ටෙරොල් ලෙස දැක්විය හැක. මස්, මාළු, කිරි, බිත්තර අධික ලෙස අනුභව කළ විට ශරීරයට අහිතකර කොලෙස්ටෙරොල් වර්ගය වැඩිවී රැධිරවාහිනීවල තැන්පත් වී රුධිරවාහිනීවල බිත්ති ඝනකම් වී හෘද ආශ්‍රිත රෝග ඇතිකරයි.

පොල්තෙල්වල අඩංගු වන්නේ සංතෘප්ත මේදය වුවත් එහි මේද අම්ලවල ස්වභාවය වෙනස්ය. සාමාන්‍යයෙන් පොල්තෙල් මගින් කොලෙස්ටෙරොල් වැඩිවීමක් සිදු නොවේ. එසේම සෝයා, බඩඉරිඟු තෙල් වැනි බහු අසංතෘප්ත මේද මෙන් නොව පොල්තෙල් ඔක්සිකරණයට එරෙහිව ඉහළ ප්‍රතිරෝධයක් දක්වන නිසා අධික උෂ්ණත්වයකට රත් කිරීමේදී වුවද ශරීරයට අහිතකර දේ නිපදවීමක් පොල්තෙල්වලින් සිදු නොවේ. එබැවින් ඒවා ගැඹුරු තෙලේ බැදීමට වුවද සුදුසු තෙල් වර්ගයකි. අනිත් තෙල් වර්ග ගැඹුරු තෙලේ බැදීමට සුදුසු නැත.

නවීන විද්‍යාවට අනුවද පොල්තෙල් මගින් මේදය තැන්පත් වීමක් සිදු නොවන බව සොයාගෙන තිබේ. එසේම පොල්තෙල්වල අඩංගු සංතෘප්ත මේදය මව්කිරිවලට සමාන මේද අම්ලය වේ. පොල්තෙල් වර්තමානයේ බොහෝ රූපලාවන්‍ය කටයුතු සඳහාද බහුලව යොදාගන්නා ද්‍රව්‍යයකි. පොල්තෙල්, පොල් කිරි සහ පොල් ආශ්‍රිත වෙනත් ද්‍රව්‍යයන් මේ සඳහා යොදාගනී. මෙය දිලීර නාශක ගුණයෙන් සහ බැක්ටීරියා නාශක ගුණයෙන්ද සපිරිය. එබැවින් සමේ ආලේප කිරීම මෙන්ම ප්‍රතිශක්තිය වර්ධනය සඳහා ඉතා ගුණදායක ඖෂධයකි.

කුඩා දරුවන්ගේ සමේ ආලේප කිරීමට ඉතා ගුණදායක වේ. සමේ තෙතමනය රඳවා තබා ගැනීමට පොල්කිරි ඉතා යෝග්‍ය වේ. විශේෂයෙන් මුහුණ පිරිසිදු කිරීමට පොල්කිරි උදව් කෙරේ. සමට මෙන්ම හිසකෙස්වලට අත්‍යාවශ්‍ය පෝෂක කොටස් පොල්තෙල්වල සහ පොල් කිරිවල අඩංගු වේ. භාවිතයෙන් සමට මනා පැහැයක් ලැබේ. හිසකෙස්වල දීප්තියට, හිස් හොරි මර්දනයට සහ හිසේ පවත්නා වෙනත් දිලීර නැති කිරීමටත් පොල්කිරි හොඳ ඔසුවකි.

වර්තමානයේදී වෙළෙඳපොළේ ඇති විවිධ ෂැම්පු වර්ග වෙනුවට පොල්කිරි යොදා හිස සේදීම සුදුසුයි. හිසකෙස් සුදුවීම, අකලට හිසකෙස් වැටීම ආදී හිසකෙස් රෝග සඳහා ඉතා ගුණදායක වේ.

මුඛ දුර්ගන්ධයට, දත් කැක්කුමට, මුඛයේ ඇතිවෙන අහිතකර බැක්ටීරියා විනාශ කරලීමට මුඛ සෝදනයක් ලෙසද පොල්තෙල් බොහෝ රටවල යොදාගනී. මුඛයේ ඇති බැක්ටීරියා සහ විෂබීජ විනාශ කිරීම සඳහා පොල්තෙල්වල හැකියාව ඇත.
එබැවින් බියකින් තොරව මුඩු නැති, පිරිසුදු, ලා පැහැයට හුරු පොල්තෙල් අනුභව කිරීම ඉතා ගුණදායක වේ.

විශේෂඥ වෛද්‍ය
එස්.එම්. නිමාලි සොලොහොකාර
ආයුර්වේද මහ රෝහල
කුරුණෑගල