2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

මට ඕනෙ තාත්තා කෙනෙක් වෙන්න

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

මිනිස්සුන්ට බලාපොරොත්තු කියන්නෙ කොයිතරම් වටින දෙයක්ද? බලාපොරොත්තු නැති තැන ජීවිතයක් නැති තරම්. පුංචි කාලෙ අහන්න ලැබිච්ච කතාවක මිනිස්සුයි බලාපොරොත්තුයි අතර තියෙන කඩන්න බැරි සම්බන්ධෙ ගැන ලොකු පාඩමක් ගැබ්වෙලා තිබුණා. 

ඒ කතාවට අනුව දෙවියන්වහන්සේ මනුෂ්‍යයාව පොළොවට එවන්නෙ ලොකු බැලුන් එකක නග්ගලායි. ඒ එද්දි අවංකකම, දයාව, කරුණාව, පරාර්ථකාමීත්වය වගේ ගොඩක් තෑගි දෙවියෝ අපිට දීලා තියෙනවා. හැබැයි මනුස්සයගේ තියෙන කලබලේට එන අතර මඟදි දෙවියන් වහන්සේ මිනිස්සුන්ට දීපු තෑගි සේරම හැලිලා ගිහින්. බැලුන් එකේ තෑගි කන්දරාවක් තිබ්බත් අන්තිමේදී ඉතුරුවෙලා තියෙන්නෙ බලාපොරොත්තුව කියන තෑග්ග විතරයි. ඉතින් මිනිස්සු පොළොවට ආවෙ බලාපොරොත්තු විතරත් අතේ තියාගෙනයි. 

මේක සුරංගනා කතාවක් වුණාට මේකෙන් කියවෙන කාරණේ සම්පූර්ණ ඇත්තක් කියලා කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මොකද ඇත්තටම බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නෙ. බලාපොරොත්තුව නැති වුණු තැන ජීවිතයක් නැහැ. අදට වඩා හෙට හොඳ වෙයි කියන බලාපොරොත්තුව අපි හැමෝටම තියෙනවා. උදේ රැයින්ම ගෙදරින් පිටත් වෙලා ඔෆිස් එකට, ඉස්කෝලෙට, කැම්පස් එකට දුවන්නේ හෙට ගැන හිතලයි. හෙට ගැන තියෙන බලාපොරොත්තු හින්දයි. හැබැයි අපි බලාපොරොත්තු ගොඩනඟා ගනිද්දි ගොඩක් වෙලාවට ඉලක්කම් එක්ක බලාපොරොත්තු තියාගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් භෞතික සම්පත් එක්ක බලාපොරොත්තු තියාගන්නවා. 

අහවල් දවස වෙද්දි ගෙයක් හදනවා, කාර් එකක් ගන්නවා, කසාද බඳිනවා, ළමයි හදනවා, වන්දනාවෙ යනවා ඔය සියලු බලාපොරොත්තු එක්ක අපි ජීවිතේ ගෙවනවා. ඒ අතරෙදිම අනාගතයේ තමන් කවුරු වෙනවද කියන දේ ගැනත් හිතනවා. 
අනාගතයේ කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නෙ කියලා ඇහුවම පුරුද්දට වගේ දොස්තරලා, ඉංජිනේරුවෝ ගැන කියනවා. එහෙම කියන පොඩි එවුන්ට දොස්තර කෙනෙක්, ඉංජිනේරැවෙක් වෙන්න කන්න වෙන කට්ට ගැන මෙලෝ අවබෝධයක් නැතුව ඇති. 

මේ පුංචි කාලෙදි වෙච්ච තවත් සිදුවීමක්. දවසක් වත්තෙ වැට මායිමට වෙලා යාළුවෝ කිහිපදෙනෙක් එක්ක පොඩි කතාවක් දාගෙන හිටියා. එතකොට අපේ සෙට් එකේම වයස අවුරුදු හය, හත, අට වගේ වයස් මට්ටම්වල තිබුණා වගෙයි මතක. අපි එක එක්කෙනාගෙන් අහ අහ හිටියා ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා. හැමෝම සම්ප්‍රදායික උත්තර ටිකක් දුන්නා. මම කිව්වේ පුරාවිද්‍යාඥයෙක් වෙන්න ඕනි කියලා. ඇත්තටම ඉතිහාසය පැත්තට පොඩි ඇල්මක් තිබ්බත් පුරාවිද්‍යාඥයෙක් වෙනවා කියලා මට කියන්න ඕන වුණේ ඒක ටිකක් වෙනස් උත්තරයක් හින්දයි. ඉතින් ඔහොම කිය කිය ඉද්දි එතැන හිටපු වයස අවුරුදු අටක විතර පිරිමි ළමයෙක් අපි හැමෝම අන්දුන් කුන්දුන් වෙන උත්තරයක් දුන්නා. 

“මට ඕනෙ ලොකු වුණාම තාත්තෙක් වෙන්න”

ඒ උත්තරේ තිබ්බ ගැඹුර තේරුණේ නැති හින්දාම අපි මිනිහාට හිනාවුණා. ඒකත් බලාපොරොත්තුවක්ද? අපි එහෙම ඇහැව්වා. වැඩිය මුකුත් නොකිව්ව කොල්ලා කරබාගත්තා. 

ඒත් ජීවිතයේ දශක තුනක් සම්පූර්ණ කරන්න ඔන්න මෙන්න තියෙන මේ කාලෙ හිතෙන හැටියට අපි හැමෝගෙන්ම නියම සහ ප්‍රායෝගික උත්තරේ දීපු කෙනා තමයි අර වයස අවුරුදු අටේ කොල්ලා. පුරාවිද්‍යාඥයෙක් වෙනවා කියපු කෙනා දැන් පත්තරකාරයෙක්. දොස්තරවරු වෙනවා කියපු සමහරැ කොන්දොස්තරවරැ. හැබැයි තාත්තා කෙනෙක් වෙන්න ඕනෙ කියපු එකා ඇත්තටම දැන් තාත්තා කෙනෙක්. නිකම්ම නිකම් නෙමෙයි හොඳ තාත්තා කෙනෙක්. 

 ජා

 

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00