
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 වසර සඳහා පැවැත්වූ ගෘහ ආදායම් සහ වියදම් සමීක්ෂණයේ දර්ශක දැන් නිකුත් වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ හතර දෙනෙකුගෙන් යුත් පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 62237ක් වන අතර වියදම රුපියල් 54999ක් වෙයි. පවුලක් මසක් වියදම් කර ඉතිරි කරගන්නා මුදල රුපියල් 7238කි. මෙහි මධ්‍යම ආදායම රුපියල් 43511 හා වියදම 40186 ලෙසද ගණන් බලා ඇති අතර මේ අනුව රුපියල් 3325ක අතිරික්තයක් හිමිවේ.
නාගරික පවුලක ආදායම රුපියල් 88692ක්ද වියදම රුපියල් 77337ක්ද ලෙස දක්වා ඇති අතර නාගරික පවුලක අත ඉතිරිය රුපියල් 11355කි. ග්‍රාමීය පවුලක මාසික ආදායම රුපියල් 58137 වන අතර මසකට රුපියල් 51377 වියදම් කර රුපියල් 6760ක් ඉතිරි කර ගැනීමටද හැකිවේ.
පළාත් අනුව ගණනය කළවිට බස්නාහිර පළාත වැඩිම ආදායමක් උපදින පළාත වන අතර එහි පවුලක මාසික ආදායම රුපියල් 84231ක් ලෙස ගණන් බලා ඇත. එම පවුලට මසකට රුපියල් 74505ක් වැයකර මාසය අවසානයේදී රුපියල් 9726ක් අත රඳවා ගත හැකිය. අඩුම ආදායම ලබන පළාත නැගෙනහිර වන අතර එහි පවුලක ආදායම රුපියල් 43168ක් වේ. එම පවුලට මසකට රුපියල් 4761ක් ඉතිරි කර ගත හැක්කේ වියදම රුපියල් 38407ක් වන නිසාය.
දිස්ත්‍රික්ක ලෙස ගත්විට වැඩිම ආදායම් ලබන කොළඹ දිස්ත්‍රික්කයේ පවුලක මාසික ආදායම රුපියල් 104581කි. වියදම රුපියල් 90670ක් වන අතර අත ඉතිරි කරගත හැකි මුදල රුපියල් 13911ක් වේ.
අඩුම ආදායම් ලබන්නේ කිලිනොච්චිය දිස්ත්‍රික්කය වන අතර එහි පවුලක ආදායම රුපියල් 31576ක්ද වියදම රුපියල් 28483ක්ද වේ. ඒ අනුව පෙනී යන්නේ අඩුම ආදායම් ලබන දිස්ත්‍රික්කයක පවුලක් වුවද මසකට රුපියල් 3093ක් අත රඳවා ගැනීමට භාග්‍යවන්තයන් වන බවය.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ 1990 වසරේ ඇරඹූ මෙම සමීක්ෂණ ක්‍රමය මුලදී වසර 5කට වරක් සිදුකළද සංකීර්ණ තත්ත්වය මත 2009 සිට වසර 3න් 3ට සිදුකිරීම ආරම්භ කළ බවය. මාස 12ක කාලයක් තුළ රටේ විවිධ ආදායම් ලබන පවුල් 25000ක නියැදියක් ඇසුරෙන් මෙම දත්ත ලබාගන්නා අතර මෙවර ජනවාරි සිට දෙසැම්බර් දක්වා පවුල් 21756ක් සමීක්ෂණය කළ බවයි.
මෙහිදී අංශ 9ක් හරහා දත්ත ලබාගැනීම සිදුකෙරේ. ප්‍රජා විද්‍යාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර හා ආහාර නොවන වියදම්, ආදායම, පාරිභෝගික භාණ්ඩ, වත්කම් හා පහසුකම්, නිවාස, කෘෂිකර්ම ආදී අංශ එයට අදාළ වේ. ජනතාවගේ ජීවන තත්ත්වය මැනීම, පාරිභෝගික රටා මැනීම, දිළිඳුකම වැනි සමාජ හා ආර්ථික නිර්ණායක පිළිබඳ සොයාබැලීම, ජාතික මිල දර්ශකය තැනීමට සහාය ලබාදීම මෙහි අරමුණ බව ප්‍රකාශිතය. රටේ ආර්ථික තත්ත්වය මැනීම සහ දත්ත ලබාගැනීම සඳහා මූලික වශයෙන් පදනම් වෙන්නේ මෙම සමීක්ෂණයයි.
මෙහිදී නිවසක සියලු සාමාජිකයන් මුදලින් හෝ වෙනත් සෑම අංශයකින්ම මාසයකට ලබාගන්නා ආදායම සහ සෑම අංශයකට කරන වියදම සලකා බලනු ලබයි. වැටුප් සහ වේතන, කෘෂිකර්ම කටයුතු, කෘෂිකර්ම නොවන කටයුතු, විශ්‍රාම වැටුප්, සමෘද්ධි ආදී ආධාර, දේශීය සහ විදේශීය ආදායම් මෙන්ම ලොතරැයි දිනුම්, වන්දි, පාරිතෝෂික ආදී සෑම අංගයකින්ම ලබාගන්නා මුදල් ගණන් බලයි. එසේම සෑම පවුලකම වත්කම් මෙහිදී අඩංගු කර ඇති බව දෙපාර්තමේන්තුව කියයි.
මෙම ලිපියේ සම්පිණ්ඩන සටහන අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ සෑම පළාතකම, දිස්ත්‍රික්කයකම, ගමකම වාසය කරන ජනතාවගේ ආදායම වියදම අභිබවා යන බවයි. එනම් සියලු වියදම් කර යම් මුදලක් ඉතිරිකර ගැනීමටද හැකිවේ. උදාහරණයක් ලෙස පැවසුවහොත් දිවයිනේ දිළිඳුම දිස්ත්‍රික්කය වන කිලිනොච්චියේ පවුලක්ද රුපියල් 3093ක් මසකට අද ඉතිරිකර ගැනීමට භාග්‍යවන්ත වී තිබේ.

අද රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ගැන සලකා බලන විට හැම පවුලකටම මසකට යම් මුදලක් ඉතිරිකර ගැනීමට හැකියාව ඇද්ද යන්න විමසිය යුතු මාතෘකාවක් වෙයි. අද සැමදෙනාම කීයක් හෝ ණය වී ඇති බවයි සත්‍යය වන්නේ. රජයට, පෞද්ගලික අංශයට, නොඑසේ නම් ක්‍රෙඩිට් කාඩ්වලට පවා යම් මුදලක් ණය වී ඇත. එසේ නොවේ නම් අවිධිමත් ලෙස අසල්වැසියකුට පොලී මුදලාලි කෙනෙකුටද හෝ ණය වී ඇත. සෑමදෙනාම අමාරුවෙන් ජීවන අරගලයක නිරත වී සිටින බව පෙනේ. එවැනි වාතාවරණයක සෑම කෙනෙකුම මනා ලෙස සිය අවශ්‍යතා සපුරාගෙන මසකට යම් මුදලක් ඉතිරිකර ගන්නට භාග්‍යවන්ත වේ යැයි සිතිය නොහැක. එය අද සත්‍ය තත්ත්වය අභියෝගයට ලක්කරන්නක් බව ආර්ථික හා සමාජ විශ්ලේෂකයන්ගේ මතය වේ.
වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා මූල්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා:
අපේ රටේ නොයෙක් ආර්ථික දර්ශකයන් සකස් කිරීම සඳහා ගන්නා දත්තයන් ප්‍රායෝගිකව අසාර්ථකයි. ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වන රටවල් සඳහා ලොව දියුණු රාජ්‍යවල අනුගමනය කරන මිනුම් ක්‍රම ඒ ආකාරයෙන්ම පාවිච්චි කිරීම සුදුසු නැහැ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ආදායම සහ වියදම මැනීමට උපයෝගී කරන ක්‍රමවේදය න්‍යායානුකූලව නිවැරදි වුණත් අපේ රටට එලෙසම පාවිච්චි කිරීම නිවැරදි නොවෙයි. එයින් අපේ සමාජ හා ආර්ථික තත්ත්වය මනින්න බැහැ.
රටේ ඒකපුද්ගල ආදායම ගණනය කරනුයේ දළ දේශීය නිෂ්පාදනය වාර්ෂික ජනගහණයෙන් බෙදීමෙන්. එහෙත් රටේ නිෂ්පාදනය සෑම ජන කොටසක් අතරම සමානුපාතිකව බෙදෙන්නේ නැහැ. අපේ රටේ ආදායම් ව්‍යාප්තිය විෂමයි. රටේ ඉහළම කාණ්ඩයේ සියයට 20ක් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 50කට වඩා පරිහරණය කරනවා. තවත් සියයට 20ක් පරිහරණය කරන්නේ නිෂ්පාදිතයෙන් සියයට 4-5ක් අතර කොටසක්. මේ තත්ත්වය මත සමාජ තල දෙකේ පරිහරණ රටාව විෂමයි.
ඒ වගේම තමා රටේ පවුල්වලින් සියයට 43ක් සමෘද්ධියට හිමිකම් කියනවා. එයින් අදහස් කරන්නේ ජනගහණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දිනකට ඇමෙරිකානු ඩොලර් දෙකක් හෙවත් රුපියල් 300ක ආදායම් ලබන බවයි. සමෘද්ධි හිමිකම ලැබෙන්නේ එම ආදායම් මට්ටමේ කණ්ඩායමටයි. එවැනි විෂමතා තිබියදී සාමාන්‍ය පුද්ගල ආදායම සෙවීමේදී රටේ සාමාන්‍ය ආදායම ජන සංඛ්‍යාවෙන් බෙදා පිළිතුරු ලබා ගැනීම වැරදියි. ඒ නිසා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලින් රටේ සැබෑ ආදායම් සහ වියදම් තත්ත්වය නිරෑපනය වන්නේ නැහැ. මෙම සංඛ්‍යා ජාත්‍යන්තරව පිළිගත් නිර්ණායක මත සකස් කළත් එයින් අපේ රටේ ආදායම් සහ වියදම්වල සත්‍යතාව නිරූපණය නොවෙයි.
එසේම එක් එක් අංශ සඳහා බර තබා ඇති අන්දමද වැරදිය. උදාහරණයක් ලෙස කිවහොත් මෙම වාර්තාව අනුව අධ්‍යාපනය සඳහා මාසිකව රුපියල් 3500කට ආසන්න මුදලක් වැයවෙන බව පැවසුවද එවැනි මුදලකින් මසක් දරුවකුගේ අධ්‍යාපන කටයුතු කළ නොහැකි බව කවුරුත් අත්දැක ඇති දෙයක්. නිවැරදිව ගණනය කළහොත් සත්‍ය වියදම මෙයින් දෙගුණයක් පමණ වෙනවා ඇති. සෙසු අංශ පිළිබඳවද පැවසිය හැක්කේ මෙයට සමාන දෙයක්.
මෙම වාර්තාව අනුව කෙනෙකු සාමාන්‍ය මාසික ආදායම රුපියල් 62,237 බව පැවසෙනවා. මේ පමණට ආදායම ලබන්නට නම් පුද්ගලයෙක් මසකට සෑම දිනකම අවම වශයෙන් රුපියල් 2000ක් ඉපැයිය යුතුයි. එහෙත් මසකට රුපියල් 60000කට වැඩිය ආදායම ලබන අය කොතරම් ස්වල්ප දෙනාද ඉන්නේ. අද රාජ්‍ය සේවකයකුගේ මාසික වැටුප රුපියල් 25000 ප්‍රමාණයේ තමා තියෙන්නේ. පෞද්ගලික අංශයේ නම් රුපියල් 15000 පමණයි. එසේනම් පුද්ගලයෙක් මසකට රුපියල් 60000කට වඩා උපයන බව පිළිගත හැකිද?
අපේ රටේ ආදායම් බදුවලට හසුවන මාසික ආදායම රුපියල් 67,500යි. එහෙත් දැනට දේශීය ආදායම්දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු ඇත්තේ ලක්ෂ 1 ½කට අඩු ප්‍රමාණයක්. ඒ ගැන සලකා බැලුවත් මෙම ආදායම සත්‍ය ලෙස සලකන්න අපහසුයි.
සමෘද්ධි සහනාධාර ලබන අය සියයට 43ක් සිටිනවා නම් රටේ ජනතාවගේ මාසික ආදායම රුපියල් හැට දහසට වැඩිවෙන්න බැහැ. සමෘද්ධිලාභීන්ගේ මාසික ආදායම රුපියල් 9000ට අඩු ලෙසයි සලකන්නේ. ඉතින් ඒ අනුව ගණන් බැලුවත් රටේ සෑම කෙනෙකුගේම මාසික ආදායම රුපියල් 60000ට වැඩි යැයි සලකන්න බැහැ.
රාජ්‍ය අංශය සකස් කරන මෙවැනි ප්‍රායෝගික නොවන සංඛ්‍යාලේඛන නිසා සිදුවන තවත් අයහපතක් නම් ඒවා පදනම් කරගෙන තනන ආර්ථික ප්‍රතිපත්තිද ව්‍යාජ ඒවා වීමයි. ඒවා කිසිදිනක යථා තත්ත්වය පෙන්වන්න බැහැ. රටේ ආර්ථික තත්ත්වය මැනීමට න්‍යායවාදී ලෙස සකස් කරන මෙවැනි සංඛ්‍යා ලේඛන පදනම් කරගත නොහැකියි. සැමවිටම තාර්කික තත්ත්වයට වඩා ප්‍රායෝගික ආර්ථික නිර්ණායක කරා යාම වැදගත්.
රජරට විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය දීපිකා උදයකාන්ති:
ඇතැම් අය බඩුවල මිල ඉහළ යයි කියලා උපකල්පනය කරලා කල් ඇතිව වියදම් කරන්නට පුරුදුවෙලා ඉන්නවා. අද මිලට ගන්න දෙය හෙට එම මිලට ගන්නට නොහැකිවෙන බව බොහෝ දෙනාගේ අදහසයි. ඒ නිසා මුදල් අතේ රඳවාගෙන ඉන්නවට වඩා වියදම් කරන්නට පෙළඹෙනවා.
ණයගන්නා පුරුද්ද නිසා වියදම් කළමනාකරණය කිරීම නැතිවෙලා තියෙනවා. අතීතයේ ණයකාරයකු වීම ලජ්ජාවට කරුණක් වුණත් අද ණයගැනීම ආඩම්බරයක් ලෙසයි වැඩිදෙනා සලකන්නේ. වැටුප් මොනතරම් ලැබුණත් පිරිමසා නොගෙන ණය ලබාගන්නටයි උත්සාහ කරන්නේ. අනවශ්‍ය දේවලට වැයකිරීම වැඩියි. වියදම තෝරා බේරාගන්න බැරි සමාජයක් තැනිලා තියෙනවා. කාන්තාවක් රුපියල් 50,000ක මාසික වැටුපක් ගන්නා විටදී එයින් 1/4 ක් පමණ වැය කරන්නේ රූපලාවන්‍ය වැඩවලට. ඇඳුම් පැළඳුම් හා ආලේපන මිලට ගැනීමටයි. එය අද නගරයේ පමණක් නොව ගමේද රැල්ලක් බවට පත්වෙලා. අනුකරණශීලී මානසිකත්වයක් තමා ඇතිවී ඇත්තේ.
කෙනෙකුට ආදායම වියදම ගලපා ගෙන මුදල් අතිරික්තයක් තබාගත හැකිනම් ඔහු ණය ගන්නේ කුමටද? ඒත් අද වැඩිදෙනා ණය වී සිටිනවා නම් රජයේ මෙම දර්ශකවලින් ජනතාවගේ යථාර්ථය ප්‍රදර්ශනය නොකරන බව කිව යුතුයි. ඒ නිසා මෙම සංඛ්‍යාලේඛන සකස් කිරීමේදී අද පාවිච්චි කරන නිර්ණායකවල වෙනසක් කළ යුතු බව පෙනෙනවා. එසේ නොකළහොත් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවිතයේ නිවැරදි හරස්කඩක් ප්‍රදර්ශනය නොවන බව කිවයුතුයි.
I යසවර්ධන රුද්රිගු