
වර්ෂ 1975 දී ජයලත් මනෝරත්න සමඟ පියසේන සහ කුමාරිකාව කෙටිකතා සංග්‍රහය පළකල බුද්ධදාස ගලප්පත්ති ඊට පසු කැටුව එන්නෙමි, හෙට නැවත එයි යන කෙටි කතා කෘති පළ කළේය. ඔහු මෙවර පාඨකයා හමුවට එන්නේ මැදියමක කළුවර (පාස්ට් පබ්ලිෂින් ප්‍රකාශන) සමඟිනි. අද වනවිට ගලප්පත්ති මුල්ම කෙටිකතා සංග්‍රහය පළකළ යුගයට වඩා බොහෝ වෙනස් සමාජයකි පවතින්නේ. මිනිසාගේ සිතුම් පැතුම් මෙන්ම භාවිත කරන උපකරණ පවා වෙනස් වී ඇති අතරම මිනිස් චින්තන රටාවද වෙනස් වී ගොසිනි.
ගලප්පත්තිගේ කෙටිකතාවල පාත්‍ර වර්ගයාගේ හැසිරීමට එම නවීන උපකරණ පවා බලපෑ අන්දම ඔහු සියුම්ව විග්රහ කර තිබේ. මෙම කෘතියේ කෙටිකතා නවයක් අඩංගු වේ. මෙහි පළමු කෙටිකතාව “කිරි මුට්ටිය ගඟේ ගියා” දරු ප්‍රශ්නයක් මුල්කර ගත්තකි. දරුවන් අනවශ්‍ය මවක් දරුවකු මහ පාරේ දමා යයි. දරුවන් නැති මවක් ඒ දරුවා හදාවඩා ගැනීමට උත්සාහ කරයි. ඒ මවගේ සැමියා විශාල මානසික ගැටලුවකට මුහුණ දෙයි. අවසානයේ සැමියා ද දරුවා හදා ගැනීමට තීරණය කරයි. “ඕනෑ දෙයක් වෙච්චාවෙ. මොනවහරි වුණොත් ඒ ගැන පස්සේ බලමු.” ජයනාත් දරුවාගේ නළල සිප ගනිමින් කියයි.
“රාත්‍රිය දිගම දිගයි” කෙටි කතාව නවීන තාක්ෂණයේ මෙවලම් සමඟ උපන් අර්බුදයක් පවසන්නකි. මෙහිදී තම බිරිය සහ හඳුනාගත් තරුණියකගේ බැඳීම අතර දෝලනය වන තරුණයකුගේ මානසික ස්වභාවය විග්රහ කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත. කසුන්ගේ බිරිය උත්තරාය. ඔහුට අහම්බෙන් හඳුනාගැනීමට ලැබෙන නාලිකා සමඟ සමීප මිතුදමක් ආරම්භ කරයි. කසුන් කාර්යාලීය වැඩමුළුවක් සඳහා නිවසින් බැහැර වුවද ඔහුගේ සිත තිබෙන්නේ දෙගිඩියාවකය. නිවසේ පරිගණකයේ තිබෙන ඊමේල් බිරිය විසින් විවෘත කරාවිද? නාලිකාගේ අඩ නිරැවත් රූප දකීවිද ආදී වශයෙන් සැකය ඔහුගේ සිත බර කරයි. කෙටි කතාවේ අවසානය දක්වා පාඨක සිත කුතුහලයේ රඳවා ගැනීමට කතුවරයා සමත් වේ. සැකය කෙතරම් පුද්ගල මනස විඩාපත් කරන්නේද යන්න මෙහිදී මතුකර පෙන්වන අතර යලිත් කසුන් නාලිකා සමඟ මිතුදම දිගටම පවත්වාගෙන යන බවටත් පාඨකයාට ඉඟියක් ලබා දෙයි. මිනිසා ගැටලු අවසන් කරනු වෙනුවට ඒවා බදාගන්නා බවයි පැවසෙන්නේ.
අපගේ බොහෝ දෙනා තුළ සැඟවුණු චරිතයක් පවතී. එම චරිතය රහස් කුටීරයකි. බුද්ධදාස ගලප්පත්ති මෙහි චරිත ඔස්සේ එම ගුප්ත ස්වභාවය අනාවරණය කිරීමට උත්සාහ කරයි.
බියකරුය රාත්‍රිය කෙටි කතාවෙන් පසුගිය 1989 භීෂණ සමයේ ජ.වි.පෙ. සම්බන්ධ සිදුවීමක් අප මතකයට නංවයි. වේශ නිරූපණයට දක්ෂ කපිල කුමාර තමන් රාජ්‍ය විරෝධී යැයි හංවඩු ගැසූ රැළියකට සහභාගිවන පුද්ලගයකු පක්ෂ නායකයා ලෙස වෙස් නංවයි. ඊට පසු කපිල කුමාර රජයේ හමුදාවල ග්‍රහණයට ලක්වෙයි. බොහෝවිට සිදුවන්නේ එලෙස අත් අඩංගුවට පත්වන පුද්ගලයන් අතුරුදහන්වීමයි. එහෙත් කපිල කුමාර එම කාර්යයේ නිරත වන්නේ විනෝදාංශය වශයෙනි. ඒ අතරම ඔහුට තම පවුල සමඟ ජීවිතය ගෙනයාමත් අවශ්‍ය වේ. එහෙත් අවසානයේ සිදුවන්නේ ඔහුට එම ජීවිතය අහිමි වීම බවට ඉඟි කෙරේ.
බොහෝවිට අද බිහිවන කෙටිකතා අතර පර්යේෂණාත්මක උත්සාහයන් බහුලය. එහෙත් ඒ අතරින් බහුතරයක් කියවා රසවිඳීමට අපහසුය. බුද්ධදාස ගලප්පත්තිගේ කෙටිකතා රසවත්ව කියවීමට පුළුවන. ඒ අතරම මිනිස් මනස ගැන සියුම් ගවේෂණයකට ද මෙම කෙටිකතා ඉඩ සලසයි.
- පාඨක