2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

කළපුව මැද කොදෙව්වේ තලාතුඩුව වන සෙනසුන

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 279

  • අලුත් කඩේ උසාවියේ නඩුකාර, නීතිඥ මහත්තුරුත් භාවනා කරන්න එනවා
  • කළුවර වැටෙද්දී ලොකු හාමුදුරුවොයි දෙවැනි හාමුදුරුවොයි අපේ ගෙදර ආවා. හාමුදුරුවන්ගේ ඇස්වල කඳුළු. බුදු ගෙට ගස් කඩා‍ගෙන වැටිලා. බුදු ගේ ඉවරයි. උන්වහන්සේ කීවා. 
 
සංසාරණ්‍යයෙන් නික්ම විමුක්තියේ ද්වාරය විවර කරගන්නනම් තණ්හා නම් වාරු දෑල මධ්‍යයේ ඇති ක්ලේශ බන්ධන පාලමෙන් එතෙර විය යුතුමය. එහෙත් බැඳුම් රැහැනින් වෙලී ඇති සංසාර ගැට බන්ධනයෙන් මනස මුදා ගැනීම, භවයෙන් භවය ආශා රැහැනින් වෙලී සංසාර විමුක්තියට නොව ජීවන ආශාවන්ට අසීමාන්තික ලෙස පෙම් කරන මිනිස් වගට ලෙහෙසි වන්නේද නැත. සැබෑ සැනසීම හමුවෙන්නේ අල්ලා ගැනීම තුළ නොව අත්හැරීම තුළ බව මනුෂ්‍ය සන්තානයට ඒත්තු ගැන්වීමද සරල කාරණයක් නොවේ. එහෙත් සංසාර ගමනේ විඩාපත් ඇසිල්ලෙක මොහොතක් දෙකක් පැයක් දෙපැයක් දවසක් ඉසිඹුලන්නට මිනිසුන් පැමිණෙන සෙනසුනකට අපිද එක් උදෑසනක ගොඩ වීමු.
 
 
නිදහස් වන අරණෙහි තුරු මත ලැග උන් විහඟ රෑන් නද දෙද්දී කොග්ගල කළපුවේ නොකැළතෙන රළ පර වුවත් සසල වෙන අයුරකි. කළපු දිය පිස හමන ලුණු සුවඳ බරුති සුළඟ තුරු පත් මත නිදා උන් සමනලුන් නින්දෙන් ඇහැරවන අයුරකි. ගස් මුදුන් අතරින් ඉර එළිය පොළොවට වැටෙද්දී අලස සුව විඳි සතා සර්පයන් තවත් කම්මැලිකමින් ලතැවෙන අයුරකි. එහෙත් මේ කිසිවකින් මොහොතකටවත් නොසෙල්වෙන්නට යත්න දරන කහ සිවුර දෙවුර දරා බවුන් වඩන උන්වහන්සේලා වන සෙනසුනේ හිටි ඉරියව්වෙන් එලෙසමය.
 
 
 
රාත්‍රියට සීතල කළපු දියෙන් වටවූ කොග්ගල තලාතුඩුව ආරණ්‍ය සේනාසනය වෙත කළපුව මැද්දෙන් වැටී ඇති පටු පාලම ඔස්සේ අපි ඇවිද ගියෙමු. වන අරණක් මැද්දෙන් වැටුණු පටු මාවතක් ආරණ්‍ය වෙත යන්නට පාර කියයි. ආරණ්‍ය සේනාසනය වෙත ගිය අපට මුලින්ම හමුවූයේ උදෑසනම දිය නා ගෙන පැමිණෙන සාමණේර උන්වහන්සේ නමකි. ආරණ්‍ය සේනාසනාධිපති ඇල්ලේ ඉන්ද්‍රසෝභන ස්වාමීන් වහන්සේ වැඩ වෙසෙන කුටිය වෙත යන්නට අපට අවසර රැගෙන දුන්නේ ද උන්වහන්සේය. නයි පැමිණ පෙනය පුප්පාගෙන වරෙක බලා හිඳිතැයි කියන, සර්ප විමානයක් වන නමුත් ආරණ්‍ය සේනාසනයට අයත් අක්කර 25ක් වූ නිදහස් වන රජ දහනේ දුව පැන ඇවිද සෙල්ලම් කරන සාමණේර හිමිවරැන්ට කෙදිනකවත් සතා සර්පයාගෙන් හිරිහැරයක් නොවූ, බාර හාර වෙන්නට ගම්මුන් මෙන්ම පිට ගම දනව් නගර වාසීන් ද එන යන, අලුත් කඩේ උසාවියේ නීතිඥ මහත්වරු ද බවුන් වඩනු පිණිස විවේක දිනවල පැමිණ හිඳ යන මේ වන සෙනසුනේ නිත්‍ය ලෙසම යතිවරයාණන් වහන්සේලා දහසය නමක් පමණ වැඩ වෙසෙති. භාවනාව මෙන්ම සිප්සතර ප්‍රගුණ කරන පරමාර්ථ ඇතිව වැඩ වෙසෙන යතිවරයාණන් වහන්සේලාද මෙහි වෙති. තවත් පැත්තකින් තලාතුඩුව ආරණ්‍ය සේනාසන දූපත යනු කඩොලාන සහ ඉතා දුර්ලභ ඔසු ශාකයන්ගෙන් සහ වඳවී යන ශාකයන්ගෙන් පිරි ජෛව විවිධත්වයෙන් පරිපූර්ණත්වයට පත් පරිසර පද්ධතියකි.
 
වර්ෂ 1880දී ආගමික සිද්ධස්ථානයක් හා තපෝ භූමියක් ලෙස පැවති මේ ආරණ්‍ය සේනාසනය නිත්‍ය භික්ෂුන් වහන්සේලාගේ උරුමස්ථානයක් බවට පත්වූයේ වර්ෂ 1902දීය. තලාතුඩුව ආරණ්‍ය සේනාසන ඉතිහාස පුස්තකයේ එක් පරිච්ජේදයක් දෙස් දෙන පරිදි අඹගහවත්තේ ඉන්ද්‍ර හිමි පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද හිමි, වරාපිටියේ සුමිත්ත හිමි ඇතුළු මහා තෙරුන් වහන්සේලාගේ පුරෝගාමිත්වයෙන් සිද්ධ කරන ලද මහණ උපසම්පදාවෙන් පසු ලංකාවේ අටකොණින් මෙහි පැමිණි භාවනාකාමී යතිවරයාණන් වහන්සේලා මහණ දම් පිරෑහ. එමෙන්ම ආරණ්‍ය සේනාසනයේ ආවාස කුටි, ධර්ම ශාලා, මන්දිර, ළිං, පැන් පොකුණු ඉදි කරවා ගැනීමට බ්‍රහ්මචාරී මලලගම ජී .වී ඥානසිරි දසසිල් උපාසක තෙමේ මහත් වීර්යක් ගත්හ. ඒ අයුරින් පැවිදි උතුමන් පරපුරකත් හිතැති ගිහි ඇසුරකත් ස්පර්ශය ලද මේ වන සෙනසුන අද පින්වතුන්ගෙන් පීරී යන මහා පුණ්‍ය භූමියකි. බණ අසන්නට බවුන් වඩන්නට මෙන්ම පිණ්ඩපාත දාන ආදී මහා දාන පිංකම් පැවැත්වීමටත් අද සිල් සිත් ඇත්තෝ මෙහි පැමිණෙති.
 
රාමඤ්ඤ නිකායෙන් සේවා අභිමානී සම්මාන ලද රොනල්ඩ් ද සිල්වා නැත්නම් සරත් මහත්තයා අද වන සෙනසුනටම දිවිය කැප කළ දායකයෙකි.
 
2011 නොවැම්බර් 25 වැනිදා ලොකු හුළඟක් ආවා. මගේ ගම මෙහෙ. රෑ කළුවර වැටෙද්දී ලොකු හාමුදුරුවොයි දෙවැනි හාමුදුරුවොයි අපේ ගෙදර ආවා. හාමුදුරුවන්ගේ ඇස්වල කඳුළු. බුදු ගෙට ගස් කඩාන වැටිලා. බුදු ගේ ඉවරයි. උන්වහන්සේ කීවා. මම ඒ මොහොතේම පන්සලට එන්න ලෑස්ති වුණා. කළුවර.. හුළඟ.. වැස්ස... ඒ මදිවට දිඹියෝ පිරිලා.. කිට්ටු වෙන්න බෑ.. මම කීවා අපි උදේ වෙනකම් ඉවසමු හාමුදුරුවනේ දැන් මොකුත් කරන්න බෑ  කියලා. මම ලොකු ඉටිරෙද්දක් දාලා වහලය වැහුවා. මේ විනාශය ගැන පත්තරවල රේඩියෝවේ විස්තර ගියාම ඒක දැක්ක කොළඹ තරුණ නෝනා කෙනෙක් එයාගෙ වියදමින් වහලය සදා දුන්නා. ඒ වෙද්දී මම රැකියාව කළේ ලංගමයේ. විශ්‍රාම යෑමෙන් පසු මට සේවා දිගුවක් ලබා දී තිබුණේ. ඒත් පන්සලට එදා වෙච්ච දෙයින් පස්සේ මම වැඩට ගියේ නෑ. පන්සලේ හැම වැඩකදීම උදව්වට ආවා.
 
 
සැමියෙක් පියෙක් ලෙස යුතුකම් ඉටුකරන අතරතුර ඔහු බැතිමත් දායකයෙකු ලෙසද කුසල් රැස් කරයි.
 
 
 
පන්සලේ පැරැණි බෝධියේ හාස්කම් තියෙනවා. දවසක් මම මෙතන වැඳගෙන ඉද්දී මට දැනෙනවා කෙනෙක් පිටු පස්සෙන් ඉන්නවා. ඒත් එක්කම කවුදෝ මගේ උරහිසට අත තිබ්බා. ඒත් ඇස් දෙකට දකින්න කෙනෙක් ආවෙ නෑ.... සරත් මහත්තයා කීවේද බෝධියට වැඳගෙනමය. පින්බිමක පුරාවතේ තවත් පරිච්ජේද බොහෝ වෙති. මේ පින් බිමට එන්නට ඇති කොග්ගල කළපුව හරහා වැටී ඇති පාලම දැන් අබලන්ය. එය පිළිසකර කරන්නට ඇත්නම් වන සෙනසුනේ උන්නතියට එය මහත් රුකුලකි. මක්නිසාදයත් පින්බිම සකල ලෝකවාසී බොදුනුවන්ගේ කෙම් බිමක් වනු දැකීම මේ බිමෙහි වැඩ වෙසෙන සේනාසනාධිපති හිමියන්ගේ ප්‍රාර්ථනය වන බැවිනි. නැවත වතාවක් එන්නට ඇත්නම් යන සිතුවිල්ල ඒ වන සෙනසුනෙන් සමුගෙන එන මොහොතේ සිත්හි දලු ලෑ බවද නොකියාම බැරිය.
 
 සංජීවිකා සමරතුංග 
සේයාරූ / චන්න කස්සප කෝරලේආරච්චි