
පොලියට ගත් මුදලක් ගෙවීමට නොහැකිව සිත් තැවුලෙන් සිය ආදරණීය පුතුන් දෙදෙනාට සහ එකම දියණියට අයිස් ක්‍රීම්වලට වස කලවම් කර කවා මවත් වස කා මියගිය ඛේදජනක පුවතක් පසුගියදා වාර්තා වූයේ යාපනය අරියලෙයි මාම්බලන් ප්‍රදේශයෙනි. ප්‍රවෘත්තිය එසේ වාර්තා වුවද සිදුවීම පිළිබඳව පොලිස් විමර්ශනවලින් අනාවරණය වූයේ ඊට තරමක් වෙනස් කතාවකි.
සැමියා දිවි නසාගැනීමෙන් පසුව සුනේත්‍රා සිය පුතුන් දෙන්නා හා දියණිය සමඟින් මාම්බලන් හන්දියේ ඒ.වී. පාරේ කුලී නිවසක පදිංචිව සිටියාය. ඔවුන්ගේ තනියට සුනේත්‍රාගේ මව, පියා සහ පුංචි අම්මා රැඳී සිටියද අසනීපයෙන් පෙළුණු මව හැර අන් දෙන්නා බොහෝ විට නිවසේ සිටියේ නැත. උදෑසන අවදිවූ සුනේත්‍රාගේ පියා චාවකච්චේරිය ප්‍රදේශයේ රැකියාවට ගිය අතර පුංචි අම්මා රැකියාව සඳහා පිටත්ව තිබුණේ පෙරවරු 8.30ට පමණය.
ඒ වනවිටත් සුනේත්‍රා පුංචි දියණියට කිරි බෝතලයක් සාදා තිබුණි. එහෙත් දියණියට කිරි බෝතලය පෙවීමට තරම් සිහියක් සුනේත්‍රාට නොවීය. ඇය කොළ කැබලි දෙකක් රැගෙන මොනවාදෝ ලියමින් සිටියාය. අවසන් වූ වහාම නැගී සිටි ඇය සඟවා තිබූ මත්පැන් බෝතලයක් අතට ගත්තාය. තරමක් බඳුනකට එයින් කොටසක් දැමූ පසුව ඊට තවත් බෝතලයක වූ දියරයක් එක් කළාය. දරු තිදෙනා හැර කිසිවෙක් නොවූ නිවසේ සුනේත්‍රාගේ කාර්යයට බාධාවක් නොතිබිණි. මත්පැන් හා කලවම් කළ දියරය දරු තිදෙනාගේ කටේ තොලේ ගෑ ඇයත් ඉන් කොටසක් ගිල දැමුවාය. පසුව කිසිවක් නොවූ විලසින් නිවසේ සාලය මැද අතිරූ මෙට්ටය මත සිවු දෙනාම වැතිරී නින්දට ගියේය. ඉන්පසුව නිවසේ කිසිදු ශබ්දයක් හෝ අසුණේ නැත. එය ඔවුන්ගේ අවසන් නින්ද විය.
රුකියාවට පිටත්ව ගිය සුනේත්‍රාගේ පියා හදිසියේ නිවසට ආවේ පස්වරු 12ට පමණය. දුරතියා පෙනුණේ නිවසේ දොර වසා ඇති බවය. කිසිවෙකුත් පෙනෙන්නට නොවූ නිවසේ මිදුලට වී හඬ නඟා වසා තිබූ දොර ඇරියා පමණය. සිය දියණිය, මුණුපුරන් දෙන්නා හා මිණිපිරිය බිම පෙරළී සිටියේ සිරුරුවල ප්‍රාණයක් නැති ගාණටය. සිවු දෙනාගේම නහයෙන් ලේ වැගිරී ගොසිනි. සිරුරු අල්ලා බැලූ ඔහුට දැනුණේ අධික සීතලකි.
භීතියට පත්වූ ඔහු ගෙමිදුලට පැන කෑ ගසා අසල්වැසියන් එක් කරගෙන දරු පිරිස රෝහල් ගත කරන්නට පියවර ගත්තේය. එසැණින් සිදුවීම පොලීසියට දන්වන්නට ද පියවර ගෙන තිබුණි.
ඒ අනුව යාපනය මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ විමර්ශන ඇරඹූහ. මළ සිරුරු තිබූ ස්ථානයේ මේසයක් මත අයිස් ක්‍රීම් සහිත බඳුන් තුනක් විය. එතැනම අඩක් හිස් වූ මත්පැන් බෝතලයකි. ඒවා පානය කළායැයි සැක කළහැකි බඳුනක් ඒ අසලය. පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරියා සියල්ල විමර්ශනයට ලක් කරද්දී සුනේත්‍රා විසින් දමිළ භාෂාවෙන් ලියන ලද ලිපි තුනක් දකින්නට තිබුණි. ඉන් දෙකක් ඇගේ මවට හා පියාට ලියා ඇති අතර අනෙක යාපනය මහාධිකරණ විනිසුරුට ලියන ලද්දකි.
එහි සටහන්ව තිබුණේ මෙවැන්නකි.
“ගරු මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතාෙණනි, අපේ මරණවලට හේතුව ශ්‍රී සංකර් නම් පුද්ගලයා ඔහුගේ බිරිය සුගන්ජා සහ සිරිදරන්. අප මේ තත්ත්වයට වැටෙන එකට මේ අය වගකියන්න ඕන. ඒ අයට මගේ සැමියා රැපියල් කෝටියයි ලක්ෂ 17ක් දී රැවටුණු නිසා 2017-09-03 දින දිවිනසා ගත්තා. සැමියා නැති ජීවිතය මට පලක් නෑ. අබ්බගාතයකු වී හෝ සැමියා හිටියානම් මට සතුටක්. නමුත් අපට වාසනාව නෑ. දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්න හිතුණත් ළමයි අහන ප්‍රශ්නවලට උත්තර නෑ. ළමයි අහනවා තාත්තා කවදා එයිද? තාත්තා පේන්න එන්නේ නැත්තේ ඇයි? අපේ තාත්තා සුදුයි නේද? තාත්තාගේ කන්වල පුලුන් ගහලා තිබුණේ ඇයි? තාත්තා කළු වුණේ ඇයි? තාත්තා ආවාම අපි පාර්ක් යමුද? මේවට බොරු කියමින් දරැවන් රවට්ටන්න බෑ. අපේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න අපි අපේ පණ දෙනවා.”යනුවෙනි.
මේ අතර සිය මව, පියා හා සහෝදරියන් වෙත ලිපියක ලියා තිබුණේ “ඉපදුණු හැමකෙනාම මැරෙනවා...”ඒක ගැන හිතලා ඔයාලා හිත හදාගන්න. අවශ්‍ය වුණොත් මේ ලිපිය පොලීසියට පෙන්වන්න.”යනුවෙනි.
මෙම සාක්ෂිය අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මියගිය සුනේත්‍රා දරුවන් තිදෙනා සමඟ මත්පැන්වලට රන් සෑදීමට ගන්නා රසායන ද්‍රව්‍යයක් කලවම් කර පානය කර ඇති බවය. එම රසායනිකය උග්‍ර විෂ සහිතය. යන්තම් ශරීර ගතවීමත් මරණයෙන් කෙළවර වීමකි.
සුනේත්‍රාගේ සැමියා රන් වැඩකරැවෙකු වශයෙන් කටයුතු කළ අයෙකි. රන් භාණ්ඩ නිපදවා අලෙවි සැල් වෙත විකිණීම ඔහුගේ රැකියාව විය. ඔහු ව්‍යාපාරික අවශ්‍යතා මත කීපදෙනකුගෙන් පොලියට ලබාගෙන තිබූ මුදල රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයකි. වැඩි ලාභය අපේක්ෂාවෙන් ශ්‍රී සංකර්, සුගන්ජා සහ ශ්‍රීදරන් වෙත ඔහු ඒ මුදල් පොලියට ලබාදී තිබූ අතර නැවත ලැබුණේ ලක්ෂ 10ක් පමණය. මුදල් නැවත දෙන බවට පොරොන්දු වූ ඔවුහු නොකියාම විදෙස්ගත වූහ. අසරණ වූ ව්‍යාපාරිකයා සිදුවීම අධිකරණයට දන්වා නීතිමය පියවර ගනිමින් සිටිය ද ඔහුට මුදල් පොලියට දුන් අයගෙන් ගැලවීමක් නොවීය. මෙසේ බේරැමක් නොවූ විට සුනේත්‍රාගේ සැමියා බිරියට යෝජනා කර තිබුණේ අපිට ගැලවීමක් නෑ. අරක්කුවලට වස දාලා බීලා මැරෙමු යනුවෙනි. සුනේත්‍රා එය ප්‍රතික්ෂේප කළද සැමියා තනිවම තීරණය ගෙන පසුගිය සැප්තැම්බර් 3 වැනිදා ඒ අයුරින් දිවි නසාගෙන තිබුණි.
සැමියාගේ වියෝවෙන් කම්පාවට පත්වී දරු තිදෙනා වෙනුවෙන් ජීවත් වූ සුනේත්‍රාට ද පොලීකරුවන්ගෙන් ගැලවිල්ලක් නොවීය. ඔවුහු දිනපතා ණය මුදල් ඉල්ලා කරදර කරන්නට වූහ. ඒවායෙන් මිදෙන්නට නොහැකි වූ තැන සුනේත්‍රා සිය ස්වාමියාගේ අඩි පාරේ යමින් ඔහු වරෙක කියා තිබූ පරිදි නිවසේ තිබූ ද්‍රාවණ දෙක කළවම් කර පානය කළාය. එයට අවශ්‍ය මත්පැන් බෝතලය පෙර දිනයේ යම්කෙනකු ලවා ගෙන්වාගෙන තිබූ අතර ඒ සඳහා දුන් ලදුපතක් ද නිවසේ මේසය මත තිබී හමුවී තිබුණි.
පොලියට මුදල් ලබා ගැනීම හා පොලියට මුදල් සැපයීම හේතුවෙන් මූල්‍යමය වශයෙන් අර්බුදයට පත්ව පවුල පිටින් සියදිවි නසාගන්නට තරම් වූ අභාග්‍ය සම්පන්න සිදුවීම ශෝක ජනකය.
සිද්ධිය පිළිබඳ යාපනය මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි හේවාවිතාරණ මහතාගේ මෙහෙයීමෙන් විවිධ පැමිණිලි අංශය ස්ථානාධිපති පොලිස් පරීක්ෂන අයි.කේ.ඩී.එම්. සිරිවර්ධන, උප පොලිස් පරීක්ෂක ඇලෝසියස් සහ පොලිස් කොස්තාපල් 6946 සූරේන්ද්‍ර යන අය විමර්ශනය මෙහෙයවූහ.
සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් සහ ඡායාරූප :- රොමේෂ් මධුශංඛ