
ජාතික චිත්‍රපට සංස්ථා පනතට පටහැනිව චිත්‍රපට මුදාහැරීම සහ බෙදාහැරීම නිසා මතුව ඇති අර්බුදය හේතුවෙන් චිත්‍රපට හැත්තෑ පහකට වඩා ප්‍රදර්ශනය කරගත නොහැකිව පෝලිමේ ඇති බව දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ සභාපති රොහාන් වැලිවිට මහතා දේශයට පැවසීය. රොහාන් වැලිවිට මහතා පවසන ආකාරයට ජාතික චිත්‍රපට සංස්ථා පනතට අනුව චිත්‍රපට ප්‍රදර්ශනයට මුදාහැරීම සඳහා නීතියක් රීතියක් තිබුණි. මුල් කාලයේ දී තිබූ මණ්ඩල මගින් චිත්‍රපට ප්‍රදර්ශනය තීරණය විය. හොඳම චිත්‍රපට සහ කලාත්මක චිත්‍රපට සඳහා පස්වැනි මණ්ඩලය යනුවෙන් නම් කෙරුණි. චිත්‍රපට මුදාහැරීම සහ බෙදාහැරීම දෙකකි. මෙය සම්පූර්ණයෙන්ම එවකට පැවතියේ ජාතික චිත්‍රපට සංස්ථාව යටතේය. පසුව විවිධ ලිපි මගින් විවිධ හේතූන් මත මෙය වෙනස් විය.
නමුත් මූලික පනතෙහි වෙනසක් නොවිණි. වර්තමානයේ දී පැවතෙන තත්ත්වය වන්නේ මෙයට පෙර පැවැති මණ්ඩල පහ වෙනුවට අද පවතින්නේ මණ්ඩල තුනකි. ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් වන්නේ රිද්ම මණ්ඩලයයි.
අද වෙද්දි සිනමාව එක්තරා අර්බුදයකයි පවතින්නේ. අපි කියන්නේ පෞද්ගලික මණ්ඩලවලට සිනමාහල් තිහක් නම් තියෙන්නේ මේ තිහ නම් කරන්න. ඊ.ඒ.පී. මණ්ඩලයට (පෞද්ගලික මණ්ඩලයකි) අයත් සිනමාහල් නම් කරන්න. රිද්ම මණ්ඩලයට ඇති සිනමාහල් ගණන නම් කරන්න. හැබැයි මේවායින් එකිනෙක කලවම් කරන්න එපා. එහෙම කලවම් කළොත් ඒක ජාතික චිත්‍රපට සංස්ථා මණ්ඩලයට අයත් සිනමාහල්වල ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වන චිත්‍රපටවලට ලොකු අසාධාරණයක්. රොහාන් වැලිවිට පැවසීය.
චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ දී ප්‍රදර්ශන අනුපිළිවෙළට ක්‍රමවේදයන් ඇතිව ප්‍රදර්ශනය කළ යුතු වේ. නමුත් රොහාන් වැලිවිට මහතා චෝදනා කරනු ලබන්නේ වර්තමානයේ දී චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවේදයට අනුව සාධාරණයක් නොමැති බවය. ඔහු පවසන පරිදි මේ වන විට චිත්‍රපට හැත්තෑවක් පමණ ප්‍රදර්ශනය නොකොට ජාතික චිත්‍රපට සංස්ථා පෝලිම යටතේ පවතී. ඒ අතරින් ඇතැම් චිත්‍රපට මීට වසර දහයකට පමණ පෙර සිටම මෙම ප්‍රදර්ශන පෝලිමට එකතු වූ චිත්‍රපටයි. ඔවුන්ගේ චෝදනාව වන්නේ එවැනි චිත්‍රපට ප්‍රදර්ශන වාරය පැමිණෙන තුරු බලා සිටින අතරවාරයේ දී මීට මාස තුනකට පමණ පෙර නිෂ්පාදනය කළ චිත්‍රපට ප්‍රදර්ශනය කරන බවය.
රොහාන් වැලිවිට පවසනු ලබන්නේ මෙය ක්‍රමවේදයක් ලෙස ගත යුතු බවය. මේ සඳහා සෑම විටම රජයෙන් සහනාධාර බදු සහන බලාපොරොත්තු විය නොහැක. මෙය ව්‍යාපාරයක් නම් ඒ සඳහා රජයට බදු ගෙවිය යුතු වේ.
රටක සංස්කෘතිය තමයි සිනමාව කියන්නේ. රටක අනාගතය තමයි සිනමාව කියන්නේ. එහෙම නම් ඒ සඳහා රජයෙනුත් යමක් කළ යුතුව තියෙනවා. නමුත් අපට සියයට සියයක්ම රජයෙන්ම මෙයට යැපෙන්න බෑ. මේ වෙනකොට චිත්‍රපට හැත්තෑවක පමණ දිගු පෝලිමක් තියෙනවා. චිත්‍රපටය නිර්මාණය කිරීම විශාල කටයුත්තක්. චිත්‍රපටයක් නිර්මාණය කිරීම පෞද්ගලික කටයුත්තක්. මෙහෙම චිත්‍රපටයක් නිර්මාණය කළාට පසුව මේ චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලයට යොමු කරනවා. රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමැතිය දුන්නට පස්සේ තමයි අපට චිත්‍රපටය පෙන්නන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිව පෙන්නන්න බෑ. රොහාන් වැලිවිට මහතා පැවසීය.
රැඟුම් පාලක මණ්ඩලයෙන් චිත්‍රපටය අනුමත වීමෙන් පසුව විවිධ ක්‍රමවේද යටතේ ලංකාවේ පුරවැසියකු විසින් සෑදූ චිත්‍රපටය වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට අයිතිය හා වගකීම ඇති ජාතික චිත්‍රපට සංස්ථා පනත යටතේ කටයුතු විය යුතුය. නමුත් වැලිවිට මහතා චෝදනා කරන්නේ චිත්‍රපට සංස්ථා පනත යටතේ කටයුතු කිරීම මේ වෙද්දී සිදුනොවන බවයි.
මෙම පෙළගැස්ම සඳහා සාධාරණ ක්‍රමවේදයක් අවශ්‍ය බවත් අඩුම වශයෙන් රැඟුම් පාලක මණ්ඩලයේ ලියාපදිංචි වූ දිනය අනුව හෝ නැවත වතාවක් ගුණාත්මක කලාත්මක චිත්‍රපට වෙනුවෙන් හෝ වෙනමම මණ්ඩලයක් නිර්මාණය කොට සාධාරණයක් ලබාදිය යුතු බවත් ඔහු පවසයි. ඒ මණ්ඩලය වෙනුවෙන් සිනමා ශාලා විස්සක් පමණවත් වෙන් කළ යුතු යැයි ඔහු ඉල්ලීමක් කරයි.
මීට අමතරව රොහාන් වැලිවිට මහතා තවත් චෝදනාවක් කළේය. එනම් සිනමා ශාලා 10.30, 2.30 හා 6.30ට අමතරව සවස 4.15ට තවත් වෙලාවක් වෙන් කිරීමය. බොහෝ විට මෙම 4.15 දර්ශනය සඳහා ප්‍රදර්ශනය කරනු ලබන්නේ දමිළ, හින්දි හෝ ඉංග්‍රීසි චිත්‍රපටයකි. යම්කිසි චිත්‍රපටයක් මුදාහරිද්දී චිත්‍රපට නිෂ්පාදකවරු ඒ සඳහා විශාල ප්‍රචාරයක් ලබා දෙති. බොහෝ සිනමා ලෝලීන් එම ප්‍රචාරය අනුව සිනමාහල් කරා ගිය ද 4.15ට වෙනත් චිත්‍රපටයක් ප්‍රදර්ශනය වීම නිසා නැවත ආපසු හැරී ඒමට සිදු වූ අවස්ථා ද ඕනෑ තරම් තිබේ. එයට හේතුව වන්නේ නැරඹීමට ගිය සිංහල චිත්‍රපටය වෙනුවට එම සිනමාහලේ එම දර්ශන වාරයේ දී ප්‍රදර්ශනය වන්නේ වෙනත් චිත්‍රපටයක් වීමය. මෙවැනි හේතුන් නිසා සිනමා ශාලා වෙත ඇදී එන ප්‍රේක්ෂකයන් කලකිරීමකට පත්වන බව වැලිවිට මහතා සඳහන් කරයි.
මේ නිසා චිත්‍රපටයක් ප්‍රදර්ශනය වන විට සියලුම දර්ශන වාර එම චිත්‍රපටය වෙනුවෙන් ලබාදිය යුතු බවට ඔහු ඉල්ලීමක් ද කරයි. අඩුම වශයෙන් ඒ සඳහා සති දෙකක තුනක කාලයක්වත් ලබාදෙන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය. එමෙන්ම වැලිවිට මහතා ජාතික චිත්‍රපට සංස්ථාවට තවත් ඉල්ලීමක් කළේය. පනත අනුව විදෙස් චිත්‍රපට පිටපත් පහකට වැඩි සංඛ්‍යාවක් පෙන්විය නොහැක. නමුත් මේ වෙද්දී ඇතැම් විට සිනමා ශාලා හතළිහක් පනහක් පමණ ප්‍රදර්ශනය කරයි. නමුත් පෙන්විය හැක්කේ ප්‍රදර්ශන ශාලා පහක පමණි. ඒ සඳහා විදේශ සිනමා ප්‍රදර්ශනය කළ හැකි වෙනමම සිනමා ශාලා ද ඇත. දේශීය චිත්‍රපට පෙන්වන සිනමා ශාලා තුළම විදෙස් චිත්‍රපට පෙන්වීම තුළින් දේශීය චිත්‍රපට සඳහා ඇති ඉල්ලුම අඩු විය හැක. මේ නිසා ඔවුන්ගේ ඉල්ලීම වන්නේ ඒ පනත අනුව ක්‍රියා කළ යුතු බවය.
අද බොහෝ සිනමා ශාලා හිමිකරුවන්ගේ චෝදනාව වන්නේ අද නිපැයෙන බොහෝ සිනමා නිර්මාණ බාල වර්ගයේ නිර්මාණ බවය. මේ සඳහා ප්‍රේක්ෂක පෙළඹීමක් නොමැති බව ඔවුහු චෝදනා කරති. නමුත් අද චිත්‍රපට සඳහා නිසි ප්‍රමිතියක් නැත. මේ සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ යම් ක්‍රමවේදයක් අනුව ක්‍රියා කළ යුතු බවද දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ සභාපති රොහාන් වැලිවිට මහතාගේ අදහසය.
දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය විසින් ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රමවේද වෙත එල්ල කරනු ලබන මෙම චෝදනා පිළිබඳව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතාගෙන් ද දේශය අදහස් විමසීය.
මේ සඳහා චිත්‍රපට සංස්ථාවේ සභාපති වශයෙන් චිත්‍රපට බෙදාහැරීම සම්බන්ධයෙන් දැනට සංස්ථාව සතු ඒකාධිකාරයක් නැති බව මම පැහැදිලිවම ප්‍රකාශ කර සිටිනවා. චිත්‍රපට බෙදාහැරීම සම්බන්ධයෙන් මණ්ඩල පහක් තියෙනවා. ඒ මණ්ඩල පහෙන් එකක් තමයි ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් රිද්ම මණ්ඩලය. ඉතිරි සියල්ලම පෞද්ගලික අංශ මණ්ඩලයි. පෞද්ගලික අංශ මණ්ඩල චිත්‍රපට බෙදාහැරීමේ දී, ප්‍රදර්ශනය කිරීමේ දී ක්‍රියා කරනු ලබන පටිපාටිය වන්නේ අලුත් චිත්‍රපටයක් නරඹා ඒ පිළිබඳව ඔවුන් සෑහීමකට පත් වන්නේ නම් ඔවුන් එය ඔවුන්ගේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමයි.
පෞද්ගලික ආයතන සඳහා බලපෑමක් කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාවට නෛතික අයිතියක් නැත. ඇතැම් චිත්‍රපට අධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදකවරු ඔවුන්ගේ නිර්මාණ සමඟ සැමවිටම ජාතික චිත්‍රපට සංස්ථාව හා බැඳී සිටිති. ඔවුහු තම නිර්මාණ චිත්‍රපට සංස්ථාව හරහා ප්‍රදර්ශනය කිරීමට සැමවිටම උත්සාහ ගනිති. ඊට අමතරව බොහෝ නිෂ්පාදකවරු හා අධ්‍යක්ෂකවරු තම නිර්මාණය පෞද්ගලික මණ්ඩල හා කතාබහ කොට ප්‍රදර්ශනය කර ගනිති. මේ අතරින් එවැනි පෞද්ගලික මණ්ඩලවලින් නොතේරුණු චිත්‍රපට සමහරක් නැවත චිත්‍රපට සංස්ථාවේ ප්‍රදර්ශන පෝලිමට එකතු වෙයි.
ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙසින් මා පත්වුණේ මීට මාස තුනකට පෙරයි. මේ මාස තුන ඇතුළත මම මොනම හේතුවකටවත් පෝලිම කඩලා චිත්‍රපට ප්‍රදර්ශනය කරලා නෑ. ඒක මම දැඩි අවධානයෙන් කියනවා. ඒ වගේම මට පෙර චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපතිවරුනුත් තමන්ගේ අභිමතය පාවිච්චි කොට එවැනි දේවල් කරලා නෑ. ඒක මං අවධානයෙන්ම කියනවා. චිත්‍රපටය ලියාපදිංචි කළ දිනය සිට රෙජිස්ටර් කිරීම හෝ රැඟුම් පාලක මණ්ඩලය අනුමැතිය අනුව පිළිවෙළ සෑදීම හෝ පිළිබඳව කිසිදු සඳහනක් කර නැහැ. යැයි සිතේන්ද්‍ර සේනාරත්න මහතා පැවසීය.
සේනාරත්න මහතා පවසන පරිදි පසුගිය කාලය ඇතුළත (1990 සිට) සිදුව ඇත්තේ නිෂ්පාදනය කරනු ලබන චිත්‍රපට එහි නිෂ්පාදක විසින් ලියාපදිංචි කළ දිනය, එමෙන්ම රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමැතිය ලද දිනය මෙන්ම සිනමා නිර්මාණයේ පවතින සුදුසුකම් අනුව (විදෙස් සම්මාන ඇතුළු සම්මාන ලද සිනමා) මත මෙය තීරණය වන බවයි.
මං සභාපති තනතුර දැරුවාට පස්සේ මම ඒ ක්‍රමවේදයට අනුව තමයි කටයුතු කළේ. පසුගිය සභාපතිවරුන් ද එම අභිමතය පරිදි යමක් කළා නම් කළේ විශේෂ සුදුසුකමක් මත පමණයි. නමුත් මේ සියලුම චිත්‍රපට සංස්ථාවට බෙදාහැරීම සම්බන්ධයෙන් ඒකාධිකාරියක් හෝ සම්මත වූ නිර්ණායකයක් නැහැ. මේ වෙනකොට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනා එක්ක මං සාකච්ඡා කරනවා. ඒ අනුව ලිඛිත ක්‍රමවේදයක් අනුව චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේ ලැයිස්තුව සකසන අන්දම පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඔහු කීය.
සේනාරත්න මහතා පවසන පරිදි මේ වන විට ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රදර්ශන පෝලිමේ චිත්‍රපට හැටකට ආසන්න සංඛ්‍යාවක් ඇත. ඒවා රැඟුම් පාලක මණ්ඩලයේ ලියාපදිංචි වී ඇත.
සිනමා ශාලාවලදී අතරමැද දර්ශන වාරවල වෙනත් චිත්‍රපටයක් තිරගත කිරීම පිළිබඳව අප කළ විමසීමේ දී සේනාරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.
මේක පෞද්ගලික අංශයේ සිනමා ධාරාවනුත්, චිත්‍රපට සංස්ථාවෙනුත් බොහෝ විට කතා කරලා කරනවා. හැබැයි මෙතන තියෙන්නේ මීට වඩා සංකීර්ණ ප්‍රශ්නයක්. ලංකාවේ සිනමා ශාලා හාරසීයක් තිබුණා. එයින් අද බොහොමයක් වැහිලා ගිහින්. සිනමා ශාලා ද ඇතැම් ඒවා වාණිජමය හේතුන් මත වැහිලා ගියා. ඇතැම් සිනමා ශාලා කාලයක් තිස්සේ අලුත්වැඩියා කරලා නෑ. අද වෙද්දි ලංකාවේ සිනමා ශාලා ඇත්තේ එකසිය හැට ගණනයි. මේ අතරින් පසුගිය මාස තුන ඇතුළත අලුතින් සිනමා ශාලා දහයකට වැඩි ප්‍රමාණයක් නැවත විවෘත වුණා. ඉදිරියේ දී මෙම අතරමැදි ප්‍රදර්ශන සීමා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාව යනු දේශීය සිනමාව ආරක්ෂා කිරීමට කැප වූ සංස්ථාවක්. ඒ නිසා අප සංස්ථාවෙන් දේශීය සිනමාව වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරනවා. නමුත් අවුරුදු විස්සක් තිස්සේ පැවැති ගැටලුවක් මාසයකින් දෙකකින් විසඳා අවසන් කරන්න බැහැ. ඒ වෙනුවෙන් සියලු අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කොට දේශීය සිනමාව ආරක්ෂා කිරීමට අපි කැප වී කටයුතු කරනවා. යැයි ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා අවසානයේ දී පැවසීය.
I දිශානි ජයමාලි කරුණාරත්න