2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

අපබ්‍රංස අමෙරිකානුවෝ

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

ලන්ඩන් ගිය ගොඩයා වගේ තමා, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්වල උපන්න ගෝපාල් කුමාර් අමෙරිකාවට කඩා පාත්වෙන්නේ. ඒ තමන්ගේ අප්පාගේ කොණ්ඩා තෙල් ජාවාරම නග්ගන්න  ඕනේ කරන අලුත් දැනුම හොයාගන්න හිතාන. රසායනික ඉංජිනේරුවෙක්  වෙන්න එන කුමාර් නිව්යෝක් නුවරින් බැස්ස ගමන්ම හොල්මන් වෙලා යන්නේ ඒ නුවරැ කතාකරන අප්‍රබංස බාසාව හින්දා. බලන බලන අතේ මහා පත දැන්වීම් පුවරු, අමුතු ගැජෙට් බැජෙට්, කට කමසිරියාවක් නැති ෆෝන් කතා, මුහුණේ හිනාවක් නැති හාදයෝ, කිසි අංගපුලාවකට නැති කෙල්ලෝ, මේ ඔක්කොම නිසා ඇතිවෙන කම්පනයෙන් මහා සංස්කෘතික අලකලංචියකට ලක්වෙලා ඉන්න අතරේ තමා කුමාර්ට  “සූ” මුණගැහෙන්නේ.

පුස්තකාලේ ඉඳලා එනකොට හදිස්සියේ මුණගැහෙන මේ කෙල්ලගේ ආලවන්ත අඟර දඟර නිසාම ඇරඹෙන සත්‍ය ප්‍රේම බෘංගරාජා පෙම් කතාව කෙළවර වෙන්නේ කුමාර් බෙල්ල සාක්කුවේ දමාන හතර වටේ කබරයා පාරකුත් දැම්මයින් පස්සේ තමා. 
ටොම් මුණ ගැහෙන්නේ ඔන්න ඔය අතරේ. අමෙරිකාවෙත් අතේ සතේ නැති එදා වේල කාරයෝ ඉන්නා බව කුමාර් දැන ගන්නේ එදා තමා. නමුත් පීකොක් තමා තිත්ත ඇත්ත නියමෙටම පෙන්නලා දෙන්නේ. කුණු කඳුපල්ලේ, අන්ත දුගී බව හොල්මන් කරන, නගරේ අන්ධකාර කෙළවර ඩවුන් ටවුමේ ජීවත්වෙන කල්ලන්ගේ අකම්පාල ජීවිත මැදින් අවලස්සන අමෙරිකානුවන්ගේ සැබෑ නිරුවත එළියට පනිනවා. මේ දුක්ඛ සත්‍යය  දැකලා කලකිරිලා, අම්මා අප්පගෙන් හිතමිතුරන්ගෙන් ඇත්වෙලා සරුව පිත්තල ලෝකේ අතරමංවෙලා ඉන්නා කුමාර් සහනය හොයන්න යන්නේ මසාජින් කාමර අස්සට. අන්තිමේදී එතනිනුත් ලැබුණ දෙයක් නෑ. ඔන්න ඔය නන්නත්තාර හෙයියම්මාරු මැද අවුරුද්දක් ගෙවිලා ගිහින්. කුමාර් ගෙදර එන්නේ කවදාවත් දැනගෙන නොහිටි අමුත්තියක් කසාදෙට ගන්න වෙන භීතිකාවත් තුරැළු කරගෙන. ඔය අතරේ අඩි 30,000ක් ඉහළ අහසේදී හදිසියේම අනාගත සහකාරීව සිපගන්න ඔහුට වාසනාව උදාවෙනවා. 

ඉන්දියානු නූතන ලේඛක පරම්පරාවේ ජනකාන්ත නමක් දිනාගෙන ඉන්න අනුරාග් මතුර්ගෙ සරුවට අලෙවි වුණ අපබ්‍රංස ඇමෙරිකානුවෝ නැතිනම් The Inscrutable Americans තුළින් කතාබහට ලක්කෙරෙන්නේ ඔන්න ඔය කියන කුමාර් නමැති සංකේත නාමයෙන් හඳුන්වා දෙන නූතන ලෝකයේ තනිවුන පොදු ඉන්දියානුවාගේ අර්බුදයයි. ඉතින්, මේක අපෙත් කතාවම නේද හලෝ! කියලා කෙනෙකුට හිතෙන එකත් වැරදි නෑ. අනුරාග්ගේ ලියැවිල්ල ඒ තරම්ම හදවතට වදින සුළුයි. අනුරාග් තමන්ගේ නූතනරූපී ලියැවිල්ල කොතරම් සාර්ථකව මෙහෙයවා ඇත්ද යන්න තහවුරු වෙන්නේ මේ පොත එළියට එනකොටම වගේ එය සිනමාවටත් නැගී ඇති නිසයි.  ඉතින් මේ නිසාම ඉන්දියානු නූතන ජනපිය සාහිත ගැන උනන්දු අයට අනුරාෙග් The Inscrutable Americans අමතක කරන්න බැහැ.

 සුගත් පී. කුලතුංගආරච්ච