2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

පරිමිලා

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 164

වත්මන් කලා ක්ෂේත්‍රයේ බහුතරවම දැකිය හැකි කොටස කවීහු වෙති. එය සියයකට වැඩි කඩඉමක මිස ඉන් මෙහා නොනවතී. එහෙත් තවත් වසරක් යන විට මේ කවීහු කවී ලිවීම අත්හරිති. එදිනෙදා අවශ්‍යතා සඳහා ජීවන ශක්තිය හා කාලය වැය කරන්නට සිදුවීම මීට හේතුවයි. එහෙත් කවිය හා ආත්මගත වූවෝ කවර වූ ජීවන දුෂ්කරතා පැමිණිය ද මේ මහඟු ප්‍රයත්නය අත් නොහරිති: ඓතිහාසික සාහිත්‍ය ප්‍රවාදවලට අනුකූලවම මහ බඹහු යන නාමය වැළඳ ගනිති. පැළඳ ගනිති.

ජයන්ත ග. ජෝතියරත්න ද මෙකී ලක්ෂණ හැදෙන  කවි ගසෙහි දෙපැත්තෙන් පෙන්වන්නෙකි. කවි පිටු අතර ම සිර නොවී හේ සිය නිර්මාණ වෘද්ධත්වය කරා යන ගමනේ දී මග සලකුණක් ද තැබුවේය. ඒ “මාවිල් ආරු නොහොත් මරණයේ දොරටුව” කාව්‍ය සංග්‍රහය යි. අනතුරුව ඔහු “නිමක් නැති කවියක නමක් නැති මිනිසා” අප වෙත පිදුවේය. පරිණතිය කරා යන ඒ ගමනෙහි තවත් නැවතුම්පළකට ඔහු ගමන් කරමින් සිටී. ඒ මෙම කාව්‍ය සංග්‍රහයයි.

ජෝතියරත්නගේ කවියහි සුවිශේෂී ලකුණු කීපයකි. ඉන් පළමුවැන්න වනුයේ ඉතා සරල බස් වහරයි. අලංකාර ඇසුරෙහි විදග්ධ භාෂා උපක්‍රම උපයෝගී කරනු වෙනුවට ඔහු ලෝ වහරට සමීප වේ. 

මං ආස කරපු

අර ළා රෝසපාට මල් වැටුණු ගවුමට

ඔයා හරි හැඩයි

මතක ද මං අරන් දුන්නෙ

ඔයාගෙ උපන් දිනේට

මේ යුග දිවියෙහි සොඳුරුබර ප්‍රකාශනයකි. විවාහ පත් බිරියට උපන් දිනයට තෑග්ගක් දීම අනිවාර්ය ප්‍රේම ඉඟියකි. සමාන්තරව ගලා යන දිවියෙහි අසිරිමත් රේඛා ඉඳ හිට නම්‍යතාවට ලක් වීම අට වන පුදුමයක් නොවේ. එහෙත් ඒ කවියේද අගදී ඒ පරාසය එක සෙවණ නොසිටින්නට තරම් පුළුල් වී තිබේ. දැන් ඇත්තේ පශ්චාත්තාපයේ ප්‍රකාශන මුදාහැරීමේ වේදිකාවයි.

නූතන පරපුරේ පරමාදර්ශී රූපකය වන මහගම සේකර අපි කෙසේ අමතක කරමුද? “ආදරණීය සේකර” නම් මෙහි ඇති කවියකට මුල් වන්නේ සේකරගේ ම කවියක කොටසකි. එහි සෙවණැල්ලකි.

වැඩ ඇරී එන කලට

සෙනඟින් පිරි දුම්රියක

ඔබේ සුවඳ....

අපේ පරපුරේ මහත් ප්‍රහර්ෂයට පත් වූ චරිතයක් වන්නේ ගම්පෙරළියේ නන්දායි. අසනි සන්නිපාතයෙන් මෙරට පීඩිත පන්තියේ මිනිසුන් පෙළෙන නව ලිබරල්වාදයේ රතැසි දිව රුහිරු පාශයෙන් පෙළෙමින් පවතින වර්තමානයට පෙර යුගයේ පැවති සාපේක්ෂ නිසල ජන දිවි හැඩරැව උත්කර්ෂයට නැංවීමට ජෝතියරත්න උත්සාහ ගනී. 

දෙගුරුන්ගේ පපුවලට ගිනි අවුළා

හඳපානේ ගිය පෙම්වතුන්ට කියල දෙන්න

“අම්මා කැමති නං මාත් කැමතියි”

එන්න නන්දා, කරුණාකරලා

ඇවිත් යන්න...

“පරිමිලා” නම් නිර්මාණය සඳහා තේමාව වී ඇත්තේ උතුරු යුද භූමියෙහි වෙල්ලමුල්ලිවයික්කාල්හි දී හමු වූ මිතුරියකගේ මළ මිනියයි. කුරිරු වර්ගවාදයෙන් ඔත්පල වූ බිමක ඇය ඇගේ පාර්ශවයට සාධාරණත්වය ඉටු කරගැනීමට සෙබළියක වී සිටියාය. එහෙත් ඇය අප බහුතරයකට කළු සෙබළියකි. පාසල් අවධියේ සිට මිතුරියක වූ ඇගේ මිනිය මෙසේ නිරුවත් ව තිබෙනු දැකීම කවියාගේ හද පාරවයි. කවියාට මෙනෙහි වන්නේ ම ශිෂ්‍ය ජීවිතයේ අනුස්මරණීය වූ තැන්මය. 

කැන්ටිමේ වඩේ එක

දෙකට කඩා

මගේ පංගුව කාටත් හොරා

හංගාගෙන

මගේ අතේ තිව්වා මතකයි

 රණතුංග මල්ලවආරච්චි