සිංහලයේ උපහාස කතා විශේෂඥයා කවුදැයි අද දවසේ තරුණයකුගෙන් - නැතහොත් ගුවන් විදුලි හෝ රූපවාහිනි දැනුම මිනුම වැඩසටහනක දී ප්‍රශ්න කළහොත් හොඳ හොඳ උත්තර ලැබෙනවාට සැක නැත. එහෙත් මීට දශක කීපයකට පෙර දී නම් එම විරුදාවලියෙන් හැඳින්වුණේ ටී.ජී.ඩබ්. ද සිල්වා නමැති කෙටිකතාකරැවාය. සමකාලීන සමාජයෙන් සුළු සිද්ධියක් තෝරාගෙන උපහාස රසය වෑහෙන කතාවක් නිර්මාණය කිරීමෙහිලා ඔහු දැක්වූයේ මහත් ප්‍රතිභාවකි. එහෙත් පසු කලෙක මාර්ටින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, උපහාසය පස්සේම දිවයාම නිසා, සිල්වා නමැති දක්ෂ ලේඛකයා විනාශ වූ බවය.
ද සිල්වා මහතා, තම කතා තුළින් අපූරු චරිත කීපයක් සිංහල පාඨකයාට හඳුන්වා දුන්නේය. පණ්ඩිත ඔල්මොරොන්දන්, අභිධර්ම මුදලාලි, භගලවතී ඉස්කෝලෙ හාමිනේ වැනි චරිත සහ කොකරෝඩියා විශ්වවිද්‍යාලය, කාකද්වීපය වැනි ස්ථාන නාම එකල ජනවහරට ද මිශ්‍ර විය.
අපේ ප්‍රදේශයේ වෙසෙන භගලවතී මහත්මියට ඒ නම තැබුණේ, ද සිල්වා මහතාගේ චරිතය ඇසුරින්දැයි කියන්නට මම නොදනිමි. ඒ කෙසේ වෙතත්, එතුමා අද ජීවතුන් අතර සිටියා නම්, තමන් මැවූ මනඃකල්පිත චරිතයට පණ පිහිටා ඇති බැව් දැක පුදුමයට පත්වෙනවාට සැක නැත.
භගලවතී කතා කරන්නේ අහළ ගම් හතකට ඇහෙන තරම් උස් හඬකිනි. එය ඇය ගිය ආත්මයේ දී ඝණ්ඨාර පූජා කිරීමෙන් ලද පින පලදීමකැයි ගම්මු කියති. වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම ඇය හිත හොඳ අම්මණ්ඩි කෙනෙකි. වාර්ෂිකව දරු ප්‍රසූතියක යෙදීම ඇගේ සිරිතක් වන අතර, එය ද පෙර භවයක දී කළ පිනක් පලදීමක් විය හැකිය.
මා, ඊයේ පෙරේදා දවසක භගලවතීලාගේ නිවස අසලින් යද්දි ඇය අසල්වැසි මාලවිකා ටීචර් සමඟ උස් හඬින් කතාබහක යෙදී සිටිනු ඇසුණි.
”අපේ මිනිහා නම් සතපහකට වැඩක් නැති නෝංජලයෙක්.”
“අනේ ඇයි එහෙම කියන්නෙ? ජෝන් රාළහාමි හරි හොඳ මනුස්සයනෙ.”
මාලවිකා ටීචර්, රාළහාමිගේ පැත්තට කතා කරයි. එය සාධාරණය. ජෝන් රාළහාමි වැඩ කරන්නේ යාපනය ප්‍රදේශයෙහිය. දිගු කලක් පොලිස් සේවයේ යෙදී සිටින ඔහු, යුද්ධයෙන් පසුව ද එහිම රැඳී සිටියේය. මිනිස්සු ඊට ද නොයෙකුත් කතා කියති.
“තව දෙතුන් මාසයක් බලල, මං ළමයි ටිකත් අරගෙන අපේ මහගෙදර යනවා.”
භගලවතී යළිත් කියයි.
“ඇයි, ඇයි මොකක්ද ප්‍රශ්නෙ? අඹු සැමි ප්‍රශ්න බත්හැලිය ඉදෙනකල්ය කියනවනෙ?”
“නෑ අනේ, අපේ රාළහාමිට මිනිහෙක්ට කනේ පාරක් ගහගන්ඩ පණ නෑනෙ.”
“ජෝන් රාළහාමි පොලිසියේ හිටියට මොකට බණ භාවනා කරගෙන ඉන්න මනුස්සයනෙ. ගිය වතාවෙ නිවාඩුවට ආපු වෙලාවෙ, මගෙනුත් ඇහුවනෙ, භාවනාවක් උගන්නන්ඩද කියලා.”
“ඔන්න ඕකනෙ ටීචර් අපේ මිනිහට වෙලා තියෙන්නෙ. අපේ මිනිහා භාවනා කර කර ඉන්නවා. අනික් මිනිස්සු, කාට කාට හරි කනේ පාරක් ගහල තමන්ට ඕන තැනකට මාරුවෙනවා. දැන් බලන්ඩ අපේ එක්කෙනා අවුරුදු කීයක් යාපනේද?”
භගලවතීගේ විරෝධයට හේතුව පැහැදිලි වූයෙන් මම එතැනින් නික්මුණෙමි.
මා ප්‍රජා ශාලාව අසලට යන විට එතැන ද ලොකු කතාබහකි. හිටපු මන්ත්‍රීතුමාට ආසන සංවිධායකකම නොදීම පිළිබඳව සැවොම තම කනස්සල්ල පළ කරති.
“දැන් ඉතින් කරන්ඩ තියෙන්නෙ, සෙන්ට්‍රල් එකට ගිහින්, කවුරු හරි ටීචර් කෙනෙක්ව දණගස්සන එක තමයි.”
ගුණපාල මුදලාලි කීවේය.
“අන්න බඩු. පටස්ගාලා සංවිධායකකම ලැබෙයි.” තවත් කෙනෙක්, ගුණපාලගේ මතය ස්ථිර කළේය.
මා එතැනින් ද පියමැන්නේ, ජනමතය හැඩගැහෙන ආකාරය ගැන අවබෝධය වැඩිකර ගනිමිනි.
මා කොළකැඳ කඩය අසලට යන විට එතැන සිටි උදවියගේ මාතෘකාව, ජනාධිපතිතුමාගේ යාපනය ගමනය.
“එතුමා කඩාගෙන ගිහිල්ල කළු කොඩිකාරයො ළඟට. අන්න එහෙම බය නැතුව, සන්සුන්ව වැඩ කරන්න ඕනෙ.”
යහපාලනවාදී සාන්ත කීවේය.
“ඉතින් එතුමා මොකද ඒගොල්ලන්ට කියලා තියෙන්නෙ?”
තවකෙක් ඇසීය.
“තැන් තැන්වල විරෝධතාව දක්වන්නෙ නැතුව, සාකච්ඡාවලට එන්න කියලනෙ එතුමා කියලා තියෙන්නෙ.”
“ඉතින් කැමති වෙලාද?”
“නෑ. දැන් සාකච්ඡා ඇති, ක්‍රියාත්මක වෙන්න කිව්වලු.”
“එහෙනං ඒගොල්ලන්ට මෙහෙ දේවල් ආරංචි ඇති!”
මොනවද මෙහෙ දේවල්?
“මෙහෙදිනං විරෝධතා මැද්දට ගිහින් සාකච්ඡා කරමුය කියන්නෙ නෑනෙ. කෙළින්ම ක්‍රියාත්මක වෙනවනෙ!”
සාන්ත, වහාම එතැනින් මාරුවූයේ කැඳ කෝප්පයවත් ඉවර නොකරමිනි.
බස් නැවතුම්පොළේ සිටි තරුණයෝ, ක්‍රිකට් ගැන කතා කරමින් සිටියහ. ක්‍රිකට් කණ්ඩායමේ නායකයා සහ තවත් කීපදෙනෙක් ආරක්ෂක හේතූන් මත ලාහෝර් යාමට බිය වී සිටීම ඔවුන්ගේ මාතෘකාව විය.
“බය කට්ටිය අයින් කරල, වෙන අය දැම්මනං ඉවරනෙ.”
“හිටපු ඇමැති කෙනකුත් කියලා තිබුණෙ, එයා නං ඕන පිට්ටනියක සෙල්ලං කරන්න ලෑස්තියි කියලා. පොල්පිත්තෙන් වුණත් බැට් කරන්නංලු! අන්න මිනිස්සු!”
ඒ අසා සිටි, මාතර බත් කඩේ වේටර් කෙනකු වූ සිරිපීනු වෙනත් අදහසක් ඉදිරිපත් කළේය.
“හැම ක්‍රීඩකයෙක්ටම හෙණරාජ තෛලය දාපු සුරයක් ගාණෙ පැළැන්ඳුව නං හරි. ත්‍රස්ත බය නැතුව සෙල්ලං කරතැකි.”
“ඒක හොඳ අදහස!” තවකෙක් කීය.
“අර ඇමැතිතුමාව කැප්ටන් කරමු. මුළු ටීම් එකටම සෑහෙන්න සුර තියෙනවා එයාගෙ බෙල්ලේ!”
“කමෝන් ශ්‍රී ලංකා!” පිරිස එකාවන්ව කෑගැසූහ.
කපිල කුමාර කාලිංග