
ඉකුත් 05 වැනිදා මධ්‍යම රාත‍්‍රිය වෙත්ම දිවයිනේ සිවුකොන උණුසුම්ව ගියේ ඒ වනවිට මෙවර 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල අන්තර් ජාලය වෙත මුදාහැර තිබු බැවිනි. ඒ ගෙවීගිය හෝරා කිහිපය තුළදී අයෙකුගේ බොඳවූ බලාපොරොත්තු කඳුළු මත සේදී ගියේය. තවෙකෙකුට උදාව තිබුණේ ප‍්‍රීති ප‍්‍රමෝදය දනවන මොහොතකි.
මේ කවර හෝ හැගීමකින් තොරව සිය දුප්පත් නිවසේ නිදියහන මත මවගේ උණුසුමේ රැය පහන් කළ දුලාංජලී මදුමාලි ප්‍රේමරත්න දියණිය පසුදා පාසල වෙත පියමැන්නේ කවර හෝ විශේෂයකින් තොරවය. වෙනත් බොහෝතැන්හි පැවැති උණුසුම, උද්යෝගය දරුවන් 96කු සාර සිප් සතර හදාරන පහළ දිග්ගල ප‍්‍රාථමික විදුහලේ එදිනද දක්නට ලැබුනේ නැත. එහෙත් උදාවූ හිරු ක‍්‍රමයෙන් සැඩවෙත්ම දුලාංජලී දියණියගේ ජීවිත ගමනත් පාසලේ ඉතිහාසයත් වෙනස්වන පුවතකින් කුඩා පාසල් භූමිය උණුසුම් වන්නට විය.
අම්මා ගඩොල් කපනවා
ඒ වසර 45ක පහළ දිග්ගල පාසල් ඉතිහාසයේ ප‍්‍රථමවතාවට ශිෂ්‍යත්ව විභාගයෙන් දුලාංජලී මදුමාලි ප්‍රේමරත්න දිරිය දියණිය සමත්වීමේ පුවතත් සමඟය. ගලේවෙල අධ්‍යපන කලාපයට අයත් දේවහුව, පහළ දිග්ගල ප‍්‍රාථමික විදුහල 1972 වර්ෂයේදී ආරම්භ කරන ලද්දකි. එතෙක් මෙතෙක් කවරදාක හෝ පාසලේ අකුරු කළ කිසිදු දරුවකුට ශිෂ්‍යත්ව විභාග කඩඉම ජයගැනීමේ වාසනාව උදාව තිබුණේ නැත. ඒ අතිමහත් වූ ජයග‍්‍රහණය පාසල වෙත උදාකොට දුන් ගලේවෙලල පහළ දිග්ගල ගමේ පදිංචි දුලාංජලී දියණියගේ ආදරණීය පියා මීට වසර කිහිපයකට ඉහත දී වකුගඩු රෝගයෙන් බරපතළ ලෙස රෝගාතුරව සිට මියගොස් සිටීම මේ කතාවේ සංවේදී පුවතයි. ඇයගේ මව ගීතිකා ලක්මාලි විසින් දුලාංජලී දියණියත්, ඇයගේ වැඩිමහල් සහෝදරයාත් ජීවත්කොට ඇත්තේ ගිනි ගහන අව්වේ කුලියට ගඩොල් කැපීමෙන් උපයාගත් සොච්චම් මුදලිනි.
තවමත් ඔවුන්ට කියා හරිහමන් නිවසක් නැත. ආච්චි අම්මාගේ දුප්පත් නිවසේ ඔවුහු පදිංචිව සිටිති. අතොරක් කම්කටොලු, දහසක් අඩුපාඩු මධ්‍යයේ දුලාංජලී කිසිදු උපකාරක පංතියකට නොගොස් තම පංති භාර ගුරුතුමිය වන නීතා කුමාරි මහත්මියගේ ඉගැන්වීමෙන් සහ විදුහල්පති සෝමසිරි අත්තනායක මහතාගේ කාරුණික මග පෙන්වීමෙන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 168 ක සාමාර්ථයක් ලබා විද්‍යාලයේ 45 වසරක ඉතිහාසය වෙනස් කරන්නට උරදී සිටියාය. මව ගඩොල් කපමින් ජීවිත සටනේ යෙදෙන අතරවාරයේ 08 වැනි වසරේ ඉගෙනුම ලබන සිය සොහොයුරාත් සමඟ ගස් සෙවණකට වී පොත් වනපොත් කළ දුලාංජලී දෛවයට අභියෝග කළ දිරිය දියණියක්ම වුවාය.
අධ්‍යපනය සඳහා අඩුපාඩු රැසක් පැවතියද ඒ සියල්ලක් විඳදරා ගනිමින් මෙම ජයග‍්‍රහණය ලැබීම විශේෂත්වයකි. විවිධ උපකාරක පංති, සම්මන්ත‍්‍රණ ආදියෙහි දවස ගෙවන්නට ඇයට කාලය තිබුණේ නැතෙ. තැන තැන පළුදුව ගිය පාසල් බෑගය, සිදුරු මතුවූ මිරිවැඩි සඟල ආදිය දකින සංවේදී හදවත් ඇත්තවුන්ගේ දෙනෙත කඳුළුන් පිරෙන්නට විය.

දුලාංජලීගේ පුංචි හිතේ දලුලා ඇත්තේ වෛද්‍යවරියක වීමේ අපේක්ෂාවය. ඒ වකුගඩු රෝගින්ට ප‍්‍රතිකාර කිරීම සඳහාය. තමන්ගේ පියා වකුගඩු රෝගයෙන් මියයෑමත් සමග කම්පනයට පත් ඇය එම බලාපොරොත්තුව සිතෙහි ගල්වා ගෙන සිටින්නීය. ඉන්න හිටින්නට නිවසක් හෝ නොමැතිව කුලියට ගඩොල් කපා ජීවිත සටනට උරදෙන දුලාංජලීගේ අම්මාට කළ හැකිව තිබුණේ දියණිය වෙනුවෙන් සතුටු කඳුළු හෙළීම පමණකි.
පියා වකුගඩු රෝගයෙන් මැරිලා
එහෙත් මේ ජයග‍්‍රහණය පිළිබඳ පුවත මාධ්‍යයන් ඔස්සේ දුටු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දුලාංජලීත්, ඇයගේ මව සහ පහළ දිග්ගල පාසලේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසක් ඉකුත්දා ජනාධිපති මන්දිරයට කැඳවා තිබුණේ දිරිය දියණියගේ අනාගතය යථාවත් කරනු සඳහාය. මෙම හමුවේදී සිසුවියගේ දක්ෂතා අගයකොට ඇති ජනාධිපතිවරයා ඇයගේ උසස් අධ්‍යපන කටයුතු නිමවන තුරු මසකට රුපියල් 3,000 ක මුදලක් බැගින් ගෙවීමට පොරොන්දු වී තිබේ. එමෙන්ම දුලාංජලී සිසුවියට වසරකට සරිලන පාසල් පොත් සහ ත්‍යාග රැසක් ජනාධිපතිවරයා ලබාදී ඇති බව සඳහන්ය. මෙම අවස්ථාවට එක්ව ඇති නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිසුවිය වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීමට පොරොන්දු වී ඇති බවද සඳහන්ය.
උත්සාහය උක් දණ්ඩක් හා සමකළ හැක්කේමය. සත්‍ය ලෙසම එහි රසය දැනෙනුයේ භුක්ති වින්ඳ කල්හිමය. අතෝරක් කම්කටොළු මැද පැරදී ජීවිතය අතෑර යන සමහරකුට දුලාංජලී දිරිය දියණිය මනා පාඩමකි. ජීවිතයේ ඇති අපූර්ත්වයත්, පුදුම සහගත බවත් ඒ පාඩම තුළ ඇති බව නම් නිසැකය.
සටහන හා සේයාරූ - තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග