2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

දීඅැල්ඔය පාලම උඩදී ඔළුවටම වෙඩි තබා මරා දැමූ උදම්මිට සමෙර්

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 127

 

ලෙයට ලෙයත් ඇසට ඇසත් ඉල්ලීම පාතාලයේ සිරිතය. ජීවිතයට ජීවිතයකින් වන්දි ගෙවනවා හැරෙන්නට සාමකාමී ගිවිසුම් පාතාලයේ නැත. එකට එක කිරීමේ සම්ප්‍රදාය මත මරාගන්නවා හැර වෙනත් විකල්ප ඔවුන්ට නොවටී. ජානක සමන්කුමාර සමරදිවාකර නොහොත් උදම්මිට සමරේට අත්වූයේද එකී ඉරණමයි.

වේයන්ගොඩ දුම්රිය‍ෙපාළ අසළින් දිවෙන කටුනායක නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ කළගෙඩිහේනට හැරෙන හන්දිය අසල දී ඇල් ඔය පාලම මතදී නාඳුනන කල්ලියකගේ වෙඩි පහරට ලක්ව උදම්මිට සමරේ නැමැති පාතාල සාමාජිකයා ඝාතනය කර තිබූ බවට වේයන්ගොඩ පොලීසිය සනාථ කළේ නත්තල් දිනය එළඹෙමින් තිබියදීය.

උදම්මිට සමරේගේ ළඟම හිතවතකුගේ අභාවයක් සිදුව තිබුණේ දින කීපයකට ඉහතදීය. එහි කටයුතු සඳහා වෙහෙසෙමින් සිටි පිරිස අතර සමරේ ප්‍රධානය. දිනය ඉකුත් 24 වැනිදාය. රාත්‍රිය උදාවෙමින් තිබියදී සමරේ ඇතුළු පිරිසක් පිටත්ව ගියේ මළගෙදරට අත්‍යාවශ්‍ය එළවළු ඇතුළු භාණ්ඩ කීපයක් මිලදී ගැනීමටය. ඊට සුදුසු ස්ථානය බවට සිතූ වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වෙත ගියේ ඉන් අනතුරුවය.

සමරේ සමඟ තවත් හිතවතුන් තිදෙනකි. අවශ්‍ය කළමනා මිලට ගත් පිරිස ඔවුන් ගිය සුඛෝපභෝගී මෝටර් රථයට ගොඩවූහ. ක්‍රමයෙන් ඉදිරියට ගිය රථය ආර්ථික මධ්‍යස්ථානය අසලින් නිට්ටඹුව දෙසට හැරවීය. එතැනින් පිටත් වන තෙක්ම ආසන්නයේ සිටි පුද්ගලයන් පිළිබඳව අවධානයක් ඔවුනට නොවීය. රාත්‍රී 10.50ට පමණ ප්‍රධාන මාර්ගයට පිවිසි මෝටර් රථය දුම්රිය හරස් මඟ පසු කළේ මන්දගාමී ලෙසය. නුදුරේදී සිදුවන්නට නියමිත දෑ පිළිබඳ හෝඩුවාවක් හෝ නොවීය. වාහනයේ ගියරය මාරුකිරීමට තරමක් වේගය මඳ වූවා පමණය. දී ඇල් ඔය පාලම මතදී හෙණ හඬ නැංවූ වෙඩි වරුසාවක් මෝටර් රථයේ ඉදිරි අසුනට එල්ල කෙරිණි. මෝටර් රථයේ වම්පස දොරේ වීදුරුව හරහා එල්ලවූ වෙඩි පහර රියදුරු අසුනේ උන් උදම්මිට සමරේගේ හිස පසාරු කරමින් ඇඳී ගියේය. අසලින් සිටි සගයකුගේද සිරුරට බරපතළ තුවාල සිදුවූයේ එල්ල වූ පහර නිසාය.

වෙඩි පහර කාගෙන ජීවිතයත් මරණයත් අතර හිඳි අවසන් මොහොතේ මෝටර් රථයේ වේගය වැඩිකරන්නට සමරේ උත්සාහ ගත්තද ඵලයක් නොවීය. ලේ පෙරෙන තුවාල සහිතව තවත් යා හැකිව තිබුණේ මීටර් 50ක් 60ක් පමණ දුරකි. එම දුරත් ඉතා අපහසුවෙන් ගොස් දංවිලාන මාර්ගයට පිවිසෙන හන්දිය ආසන්නයේ වෙළෙඳසලක් ඉදිරිපිට මෝටර් රථය නතර විය.

මේ වෙද්දී උදම්මිට සමරගේ ඉරණම විසඳී හමාරය. ඊ මත්තෙන් වේගයෙන් පලාගිය මෝටර් රථයක් සහ යතුරු පැදියක ශබ්දය වියැකෙමින් තිබිණ. වෙඩි වැදුණු මෝටර් රථයේ පසු අසුනේ ගමන් ගත් දෙදෙනා වහා ක්‍රියාත්මක වී ලේ පෙරන තුවාල සහිතව සිටි සමරේ සහ නිශාන්ත යන අය වතුපිටිවල රෝහලට ඇතුළත් කළහ.

ප්‍රබල පාතාල කල්ලි ක්‍රියාකාරිකයකු බව කියන උදම්මිට සමරේ නාඳුනන තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව මියයන විට 42 වැනි වියේ පසු වී ඇත. ජානක සමන් කුමාර සමරදිවාකර නොහොත් උදම්මිට සමරේ ප්‍රධාන පෙළේ මංකොල්ල රැසකට සහ මිනීමැරුම් සිද්ධි කීපයකට සැකකරුවෙකි. ඔහුට එරෙහිව අධිකරණයේ නඩු කීපයක් විභාග වෙමින් තිබූ බවද බස්නාහිර පළාතේ ප්‍රබල දේශපාලනඥයන්ගේ සබඳකම් ඇසුරේ දිවිගෙවා ඇති බවද වාර්තා වේ.

2010 වසරේ ජුනි 10 වැනිදා එවකට නිට්ටඹුව ‍වෙළෙඳ සංගමයේ හිටපු සභාපති සුරංග පීරිස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවේද මොහුය. ඒ සම්බන්ධයෙන් ඇප මත නිදහස්ව සිටි ඔහු ඊට පෙර 2008 මැයි 07 වැනිදා වේයන්ගොඩ පත්ලගෙදර සමන් ජයවීර නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී ඇත. ඒ හැර යක්කල ප්‍රදේශයේ සිදුවූ බව කියන මුදල් මංකොල්ලයකටද ප්‍රධාන සැකකරුවෙකි. තුවාලකරුවන් දෙදෙනා වතුපිටිවල රෝහලට ඇතුළත් කරන විටත් උදම්මිට සමරේ මියගොස් සිටි අතර සෙසු තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්නට පියවර ගෙන තිබුණි. එසේ බරපතළ තුවාල ලැබ සිටියේ වීරගුල ප්‍රදේශයේ පදිංචි නිශාන්ත මංජුල නැමැත්තෙකි.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි වේයන්ගොඩ පොලීසිය පවසන්නේ මෝටර් රථයේ වම්පස ඉදිරි දොර හා වීදුරුව මත වෙඩි පහර වැදී තිබෙන බවය. එසේම රථයේ රියැදුරු අසුන අසල දොරේද වෙඩි පහර දකින්නට ඇත. එම වෙඩි පහර වම්පසින් එල්ල කළ ඒවාද නොඑසේනම් දකුණු පසින්ද වෙඩි තබා ඇතිදැයි යන්න පිළිබඳව පොලීසිය සැක පළ කරයි. ස්ථානීය පරීක්ෂාවට ලක්කළ පොලීසිය වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී හිස් පතුරම් කොපු 2ක් සොයාගත් බව කියයි. ඝාතනයට පැමිණි වෙඩික්කරුවන් යතුරු පැදියක සහ මෝටර් රථයක පලාගිය බවට තොරතුරු වාර්තා වී ඇති අතර ප්‍රදේශය ආශ්‍රිතව ඇති සී.සී.ටී.වී කැමරා දර්ශන විශ්ලේෂණය කරන බවද වාර්තා වේ.

2010 වර්ෂයේදී නිට්ටඹුව ප්‍රදේශයේ සිදුකළ ඝාතනයට සැක කෙරෙන උදම්මිට සමරේගේ එක් සගයෙක් මාස ගණනාවකට ඉහතදී මිනුවන්ගොඩ ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කොට තිබුණි. ඒ අනුව පොලීසිය සැක කරන්නේ මෙම ඝාතනයද විරැද්ධ පාතාල කල්ලි අතර සිදුවූ ගැටුමක් වන්නට ඇති බවය. ගම්පහ රෝහලේදී පැවැත්වූ මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ හිසට එල්ල කළ වෙඩි ප්‍රහාර දෙකක් නිසා තුවාල සිදුවී අභ්‍යන්තර ලේ වහනය හේතුවෙන් මරණය සිදුවී ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් පැතිකඩ කීපයක් ඔස්සේ විමර්ශන සිදුකරති.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00