


ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන කොට්ටාශය සිංහල වුවත් තවත් ජන කොට්ඨාස විස්සකට ආසන්න සංඛ්‍යාවක් මෙරට ජීවත් වෙති. දමිළ, මුස්ලිම්, බර්ගර් යන ජනවර්ගවල සීඝ්‍ර වර්ධනයක් දැකිය හැකි වුවද වඳවී යන ජන කොට්ඨාසයක් ලෙස සිලෝන් කැෆර් හැඳින්විය හැකිය. වසර පන්සියයකට පෙර මෙරටට පැමිණි බව කියන සිලෝන් කැෆර් අදවන විට වෙනත් වර්ගයා හා මිශ්‍ර වීමෙන් ඔවුන්ට ආවේණික සම්ප්‍රදායන් ක්‍රමක්‍රමයෙන් දියවී යමින් පවතී. පෘතුගීසින් සහා යුරෝපා ජාතින් අප්‍රිකාවේ සමහර ප්‍රදේශ ආක්‍රමණය කර ඔවුන් වහල් සේවයට යෙදවූ බව කියයි. එකල කාෆිරි යැයි නම් කළ වර්තමානය වන විට සිලෝන් කැෆර් නමින් හඳුන් වන මෙම ජන වර්ගය මුලින් මෙරටට පැමිණ ඇත්තේ වහල් සේවයට සහ සොල්දාදුවන් ලෙසයි. පෘතුගිසි, ලන්දේසි, ඉංග්‍රිසි කාලවලදී අප්‍රිකානු මිනිසුන් වහල් වැඩ කිරීම සඳහා මෙරටට ගෙන්වා ඇති අතර පසුව ඔවුන් කොළඹ, පුත්තලම, ත්‍රිකුණාමලේ පදිංචි වී තිබෙන බව පැවසේ.
රෝමානු කතෝලික බැතිමතුන්වූ සිලෝන් කැෆර් පවුල් 30ක් පමණ සහ පුද්ගලයෝ 300 පමණ 615, ඩී, සිරාම්බිඅඩිය ග්‍රාම සේවා වසමේ අදත් ජීවත්වෙති. ස්ථීර රැකියාවක් නොමැති බොහෝ දෙනා විවිධ රැකියාවල නිරත වන අතර රාජ්‍ය සේවයේද නිරතවන සුළු පිරිසක් සිටිති.
දකුණු අප්‍රිකාවේ මොසැම්බික් රාජ්‍යයේ සිට රැගෙන ආ ගෝත්‍රික ජනතාවක් ලෙස හඳුන්වන මොවුන් අද වන විට ලංකාවට පය තබා වසර 500ක් ඉක්මවා ඇත. සිලෝන් කැෆර් කාන්තාවන් සිංහල පිරිමින් හා විවාහ වීමත් සිලෝන් කැෆර් පිරිමින් සිංහල කාන්තාවන් සමඟ විවාහ වීමත් සමඟ මව් භාෂාව වූ පෘතුගීසි භාෂාව ඔවුනගේ මුවින් ගිලිහී යමින් සිංහල භාෂාවට හුරුවී සිටිති.
ගෝත්‍රික ජනකොට්ඨාසයක් ලෙස කන්ද උඩරටට පැමිණ පෘතුගිසි පාලනයෙන් පසු ලන්දේසි ඉංග්‍රිසි පාලන කාලවලදී විවිධ රැකියා සඳහා අනුයුක්ත කර ඇති අතර යුද්ධය සඳහා විශාල දායකත්වයක් ලබාදී තිබේ. කළු පැහැයෙන් යුක්ත ශරීර ශක්තියෙන් පිරිපුන් දේහ ලක්ෂණ වලින් පිරි බොකුටු හිසකෙස්වලට උරුමකම් කියන විශාල තොල් වලින් යුත් භයානක පෙනුමක් ඇති සිලෝන් කැෆර් ජන වර්ගයේ එකී සුපුරුදු දේහ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට අඩු වෙමින් පවතී.
පෘතුගීසි මව් භාෂාව වෙනුවට සිංහල භාෂාවෙන් ඔවුන් අධ්‍යාපනය හදාරමින් සිටින අතර ඔවුන්ට තම උරුමය පවත්වාගෙන යාමට නොහැකිව පවතී. ගෝත්‍රයෙන් පිට විවාහ කර ගනිමින් තමන් කාෆිරි යන වග අමතක කරදමා ඇති බව කාෆිරි ජනයාගේ වර්ගයේ මහා පරපුරේ නායකත්ව පුරුක වන ෂෙරින් මහත්මිය පැවසීය. පාසල් අධ්‍යාපනය හදාරන සිලෝන් කැෆර් දරුවන් විස්සක් පමණ සිරම්බිඅඩිය මහා විද්‍යාලයේ ඉගැනුම ලබන බව එම විද්‍යාලයේ විදුහල්පති මංජුල සමරනායක මහතා කියයි.
පාසලට එන දරුවන් අතර ඉතාම දක්ෂ දරුවන් සිටින බවද වසර දෙකකට පෙර පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වූයේද සිලෝන් කැෆර් ජන වර්ගයේ ශිෂ්‍යාවක් බවත් පැවසූ විදුහල්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ පාසලේ ඉගෙනුම ලබන දරුවන් අතරින් සියයට විසිපහක් පමණ කැෆර් ජන කොට්ඨාසයට අයත් බව හඳුනාගත හැකි වුවද සියයට හැත්තෑ පහක්ම සිංහල ජන කොට්ඨාස හා සමාන බවයි.
නැටුමට ගැයුමට මෙන්ම ඉගෙනීමටද දක්ෂ මෙම දරුවන්ට ඇත්තේ සුවිශේෂි දක්ෂතා බවද විදුහල්පතිවරයා පැවසීය.
සිංහල භාෂාවෙන් අධ්‍යාපනය හදාරන මෙම දරුවන්ට තම මව් භාෂාව වන පෘතුගිසි භාෂාව ක්‍රමයෙන් අමතකවී යා හැකිය. නර්තන රටාවන්ද ගායන රටාවද ශ්‍රී ලංකාවේ සංස්කෘතියට හාත් පසින් වෙනත් ආරයක පවතින බවද එම කලා රටාවන් අපේ රටේ බොහෝ දෙනකු ප්‍රිය කරන බවද ඔවුන්ගේ ගීතද වෙනස්ම අලංකාරයකින් ගායනා කිරිම සිදුවෙන බවද විදුහල්පතිවරයා පැවසීය.

ඩෝලයයි, පොල්කටු දෙකයි, රබානයි, බෝතලයයි, සල්ලියයි, හැඳි දෙකයි, උපයෝගී කර ගනිමින් මවන නාද රටාවට ගීත ගායනය ආරම්භ වන්නේ පහළ ස්වරයකිනි.
ක්‍රමක්‍රමයෙන් වේගවත් වන සංගීතය ඉහළ ස්වරයෙන් ගීතය ගැයෙද්දී නර්තනකරුවෝ ද ඒ වේගයෙන්ම නර්තනයේ යෙදෙති. එය විවිධාකාරයෙන් වෙනස්වූ අලංකාර භාවයක් පෙන්නුම් කෙරේ. මාඤ්ජා නැමති මෙම සංගීත ක්‍රමය බලා සිටින කාගේත් සිත් ඇදබැඳ ගන්නා ඔවුන්ටම ආවේණිකවූ සංගිත කලාවක් බව කිය හැකිය.
ශ්‍රී ලංකා භූමිතලයේ ජීවත්වන ජන කොට්ඨාස 20 පමණ සිටියත් ජනසංඛ්‍යා ලේඛනයෙන් මැකී යන කැෆීර් ජනයාගේ පැවැත්ම අයිතිවාසීකම රැකදීමට වෙර දරන ජාන විද්‍යා, මනෝ විද්‍යා, ආර්ථික විද්‍යාව පිළිබඳ හසල දැනුමක් ඇති පුත්තලම ශාන්ත මරිය දේවස්ථානයේ මීසම් පාලක පයස් කෙනඩි ප්‍රනාන්දු පියතුමා කෆිර් ජනයා පිළිබඳ කියු කතාව මෙසේ සටහන් කරමි.


ශ්‍රී ලංකාවේ වාසය කරන ජනවර්ග අතරින් මැකීයන ජන වර්ගයක් විදිහට තමයි මේ අයව හඳුන්වන්නේ. ඒකට හොඳම සාක්ෂිය තමයි ජනසංගණනයේදී මේ අයව නම් කරලා තිබෙන්නෙ ශ්‍රී ලංකා කැෆර් වෙනුවට වෙනත් ජන කොට්ඨාසයක් කියන ස්ථානයේ. සමහර අය හිතනවා කැෆර් කියලා කිව්වාම ඒ අය තවමත් වහලුන් කියලා හිතයි කියලා. නමුත් ඒ අය අපේ රටේ ජාතික සම්පතක්. වර්ගය හැංගුවට දේහ ලක්ෂණ හංගන්න බැහැ. මේ අයව ආරක්ෂා කරන්න රටේ වගකිව යුක්තන්ට පැවරෙන වගකීමක්.
රටේ ජන සංඛ්‍යා ලේඛනයෙන් ඉවත් කරනවා කියන්නේ ඉදිරියේදී මෙයාලාගේ අනන්‍යතාවය නැතුව යනවා කියන එකයි. මේ නිසා තමයි මේ විසිරිලා ඉන්න කැෆර් ජනතාව එකතු කරන්න කටයුතු කළේ. ඒ කටයුත්ත මුලින්ම අපි පටන් ගත්තේ ශු ත්‍රිත්වය මංගල්‍ය සිරම්බිඅඩිය දේවස්ථානයේ පැවැත්වුණා 2017.06.11 වැනිදා.
අපි ඒ විසිරිලා හිටපු කැෆර් අයව ආරාධනා පත්‍ර දීලා තමයි ගෙන්නලා විවිධ ප්‍රසංගයක් තියලා කෑම දිලා සතුටු කළේ. එහි ප්‍රතිපලයක් විදිහට තමයි එයාලගේ ලංකාවට පැමිණීමේ වසර පන්සියයත් වහල් භාවයෙන් නිදහස් වෙලා වසර 200 ගතවීමත් සැමරීමේ උත්සවයත් සූදානම් කරලා සෑම තැනකම විසිරිලා හිටිය කැෆර් ජනතාව එකතු කරලා ඒ අය භාවිත නොකර තිබූ එයාලාගේම සංස්කෘතියට යටගිය පැරණි දේවල් ඉස්මතු කරලා විවිධ ප්‍රශංගයක් දේවස්ථාන භූමියේ පවත්වන හැකි වුණේ.
අදවන විට කැෆර් කාන්තාවන් පිරිමින් වෙනත් ජන වර්ග හා මිශ්‍ර විවාහ සිදුවෙනවා. නමුත් අතිතයේදී මේ විදිහට වෙනත් ජනකොට්ඨාස හා බැඳුණු සම්බන්ධතා තිබිලා තිබෙනවා කියන සාධක ඔප්පු වෙනවා. මුදු සහිත හිසකෙස්, කළු වර්ණය, විශාල තොල්, නාසයේ හැඩය, කන්වල හැඩය ඔවුන්ගේ ප්‍රමුඛ ජානවල ලක්ෂණයි.
මොනවා කළත් දේහ පරිණාම ලක්ෂණ වලින් මේ අය කැපී පෙනෙනවා. වසර ගණනක් ගියත් මිශ්‍ර විවාහ සිදු කර ගත්තත් පසු කාලිනව වුවද පරම්පරා ගණනක් ගතවුවත් ප්‍රමුඛ ජාන මතුවීමෙන් මේ ජන වර්ගයේ ඉස්මතුවීම වළක්වන්න බැහැ.
කැෆර් ජනතාවගේ ලොකු ඉතිහාසක් තිබෙනවා. වැළලීගිය ලොකු කතාවකුත් තිබෙනවා.රාජ්‍ය සහා නොවන උත්සව වර්ණවත් කරන්න මේ අයගේ දායකත්වය ලබා ගන්නවා. නමුත් නිසි වටිනාකමක් ලබා දෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා කැෆර් සංගමයක් පිහිටුවලා ලංකාව පුරා විසිරිලා ඉන්න අයව ගෙන්නලා ඔවුන්ගේ ආර්ථිකය, සංස්කෘතිය නංවාලීමටත් වර්ගයේ පැවැත්ම රඳවා ගැනීමට ඔවුන්ගේ මැකී යන කලා කුසලතා වැඩි දියුණුකර ආර්ථිකයෙන් ඉහළ මට්ටමකට ගේන්න බලාපොරොත්තු වෙනවා එහි මුල් ආරම්භය සිදුකරලා ඉවරයි කියලා තමයි මට කියන්න තිබෙන්නේ. ඒ සඳහා මේ ලිපිය විශාල අත්වැලක් වෙයි කියලා හිතනවා.
කතාව හා සේයාරූ
I රෝවන් පෙරේරා පුත්තලම