ඒකාබද්ධ පොලිතින් ප්ලාස්ටික් කළමනාකරණ වැඩසටහන නමින් පරිසර අධිකාරිය හරහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ මෙම ප්ලාස්ටික් පොලිතින් ගැටලුවෙන් ඉදිරියට යාමට අවශ්‍ය පියවර ගැනීමටයි. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය අපට උපදෙස් දුන්නා. එම කැබිනට් පත්‍රිකාව විද්වත් කමිටුවකට යොමුකරලා ඒ නිර්දේශ අනුව කටයුතු කරන්න කියලා.
දැන් අපි විද්වත් කමිටුව රැස්කරලා ඔවුන්ගේ නිර්දේශ ලබාගෙන තිබෙන්නේ. ඔවුන්ගේ කෙටුම්පතේ එක් නිර්දේශයක් තමයි, ලන්ච් ෂීට් සහ රිජිෆෝම් කෑම පෙට්ටි තහනම් කිරීම. අප සමඟ එලෙස පැවසුවේ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩආරච්චි මහතාය.
අවම ප්‍රමිතියෙන් යුත් කෑම ඔතන ලන්ච් ෂීට්, රෙජිෆෝම් කෑම පෙට්ටි, ප්ලාස්ටික් වතුර බෝතල්, බීම බෝතල් නිසා පරිසරයට විශාල හානියක් සිදුවන බව කිවයුතු නොවේ. ඉදිරියේදී ලන්ච් ෂීට් හා රිජිෆෝම් පෙට්ටි නිෂ්පාදනය, බෙදාහැරීම හා විකිණීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට නීති සකස් කිරීමට රජය බලාපොරොත්තු වේ.
අපි මෙම කෙටුම්පත මුලින්ම ජනාධිපතිතුමාට යොමු කළා. ඊටපසු යම්කිසි කාලසීමාවක් ලබාදීලා එය ගැසට් නිවේදනයක් මගින් ක්‍රියාත්මක වේවි. මෙම කෙටුම්පත විධිමත්ව විද්වත් කමිටුවේ සියලුම සාමාජිකයන් අත්සන් කරලා ඒක ජනාධිපතිතුමාට ඉදිරියේදී බාරදෙනවා. ඊටපසු එතුමා එය අධ්‍යයනය කරලා ක්‍රියාත්මක කළයුතු දිනය ගැන දැනුම් දේවි. මුතුකුඩආරච්චි මහතා තවදුරටත් කීවේය.
මෙම නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ලෙස ගනු ලබන්නේ පොසිල ඉන්ධනය. ඒවා ඛනිජතෙල් කර්මාන්තයේම අතුරු ඵලයකි. පහසුවෙන් රැගෙන යා හැකි හා ජලයට ප්‍රතිරෝධීතාව දක්වන බැවින් ලන්ච් ෂීට් හා කෑම පෙට්ටි වශයෙන් බහුලව යොදාගැනේ. මේවා අනවශ්‍ය ලෙස භාවිත කිරීම නිසා අද සොබාදහමේ සතුරන් බවට පත්ව ඇත. මෙම තහනම නීතියක් ලෙසින් ක්‍රියාත්මක කිරීම කෙතරම් ප්‍රායෝගිකද? ඒ ගැන අපිට මුතුකුඩආරච්චි මහතා පැවසුවේ මෙලෙසයි.
දැන් හුඟක් රටවල මෙය ක්‍රියාත්මකයි. විශේෂයෙන් බංග්ලාදේශය තුළත් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් ලන්ච් ෂීට් වෙනුවට තෙල් කඩදාසි වගේ විකල්ප හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම දිරා යන ලන්ච් ෂීට් එකක් හඳුන්වාදීමටත් පුළුවන්. තරමක් මිල වුණත් එවැනි දේවල් පරිසරයට හානියක් නැහැ. කොම්පෝස්ට් ක්‍රියාවලියේදී දිරායන ලන්ච් ෂීට් හඳුන්වාදීමට, කෙහෙල් කොළ, නෙළුම් කොළ වගේ විකල්පත් තියෙනවා. ලන්ච් ෂීට් කෑම එතූ පසු ප්‍රතිචක්‍රියකරණ කිරීමට නොහැකි වීමයි. ප්‍රධාන ගැටලුව. රිජිෆෝම් කෑම පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ් පෙට්ටි පහසුවෙන් යොදාගත හැකියි. සමහරු දැනටත් ඒවා යොදාගන්නවා.
ඒ වගේම ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් පාරිභෝගිකයාට ආපසු ලබාදී යම්කිසි මුදලක් ලබාගත හැකි ක්‍රමයක් හඳුන්වාදීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි පොලිතින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ නිෂ්පාදකයන් 80 දෙනෙකුට හැඳුනුම්පත් ගිය සතියේ ලබාදුන්නා. ඊටපසු ඔවුන්ට වඩාත් විධිමත්ව ඒ වැඩේ කරන්න පුළුවන්. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතරම් මේ වැඩපිළිවෙළට සහයෝගය ලබාදී පරිසරය ආරක්ෂා කිරීමට දායකවන්න කියලයි.
රිජිෆෝම් පෙට්ටි වශයෙන් කෑම ඇසිරීමට භාවිතය ආරම්භ වූයේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය. මෙම අමුද්‍රව්‍ය ෙයහි විශේෂත්වය නම් උණුසුම රඳවා ගැනීමත් පිටත තෙතමනය ඇතුළට නොයෑමත්ය. එහෙත් ශ්‍රී ලංකාවේ අනවශ්‍ය පරිදි මෙම පෙට්ටි භාවිතය ඉහළ ගොස් තිබේ. සමහර අවන්හල්වල ලන්ච් ෂීට් පවා භාවිත නොකර ඍජුවම රිජිෆෝම් පෙට්ටිවල ආහාර ඇසිරීම සිදුවේ. සමහරු මේවා භාවිත කළ පසු මහාමාර්ගයේ තැන තැන දමන දමන තවත් පිරිසක් ජල මාර්ගවලට බැහැර කරති. මේ නිසා පරිසරය අපවිත්‍ර වීම ද සිදුවේ.
ඔබ ප්ලාස්ටික් ඇසුරුම් භාවිත නොකළ යුත්තේ ඇයි?
1. රිජිෆෝම් හා ලන්ච් ෂීට්වල ඇති විෂ රසායනික ඔබ ලෙඩ කරයි.
පිළිකා, ඇදුම, ආතරයිටිස්, හදවත් රෝග එවැනි රෝග කිහිපයක් පමණි. උණුසුම් ආහාර මෙම ඇසුරුම්වල යෙදූ විට ඒවායින් වන අහිතකර ප්‍රතික්‍රියා ඉහළය. බොහෝවිට ආපන ශාලාවල ආහාර අසුරා දෙන්නේ උණුසුම පිටින්මය.
2. ප්ලාස්ටික් සරුභාවය තුරන් කරයි.
මළදරු උපත් මෙන්ම කාන්තාවන්ගේ සරුභාවය අඩු කිරීමටද ප්ලාස්ටික් ඇසුරුම්වල යෙදූ ආහාර හේතුවේ.
3. ඔබ තරබාරු බවට පත් කරයි.
අමෙරිකානුවන්ගෙන් තුනෙන් දෙකක්ම තරබාරු බවෙන් පෙළෙයි. එයට එක් හේතුවක් වන්නේ ඔවුන්ගේ වැඩි ප්‍රමාණයක් අනවශ්‍ය ලෙස ප්ලාස්ටික් ආහාර ඇසුරුම් භාවිත කිරීම බව පැවසේ.
4. ප්ලාස්ටික් අපේ ලෝකය වනසයි.
පෘථිවියේ පරිසර විනාශයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ප්ලාස්ටික්ය. මහ පොළොව මෙන්ම සාගරයද හිමාලය කඳුවැටියද ඒ නිසා අපවිත්‍ර වී ඇත.
නුදුරු අනාගතයේදී අපේ රටෙත් රිජිෆෝම් කෑම ඇසුරුම් තහනම් කරනු ඇත. ඒ සඳහා ඔබ දැන් සිටම විකල්ප සෙවීම අවශ්‍ය වේ. ගෙදරින් ලෝහමය කෑම පෙට්ටියක කෑම රැගෙන යාමට හුරුවීම, කෙසෙල් කොළයක බත් ඔතා රැගෙන යාම වැනි විකල්ප ගැන දැන්ම සිතන්න.
♦ කුසුම්සිරි