2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

ඇඳුම තෙත් වෙන ලෙඩේ

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 8493

කාන්තාවකගේ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ මව් පදවියයි. ඒ සඳහා යන ගමනේදී බාල කාලය පසුකර එළඹෙන අවදිය ඉතා වැදගත් වේ. විශේෂයෙන් අවුරුදු දහයේ සිට හතළිහ දක්වා කාලයේදී බොහෝ කාන්තාවන් තුළ ඇතිවන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වන්නේ ඇඟ උණුකරවා යාම හෙවත් සුද යාමයි.

සුද යාම සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැක්කේ කිසිඳු අපහසුවක් නැතිව එය සිදුවීමේදී පමණි. එය ස්වාභාවික තත්ත්වයක් වුවද මෙය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිවේනම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

සැලකිලිමත් වියයුතු අවස්ථා

• යෝනි මාර්ගය ආශ්‍රිතව නිතරම තෙත බවකින් යුක්ත වීම.
• නිතරම යට ඇඳුම් තෙත් වීම.
• දුගඳක් පැතිරීම.
• යෝනි මාර්ගය ඇතුළත සහ පිටත කැසීම.
• ලා දුඹුරු හෝ ඒ හා සමාන වර්ණයකින් පිටවීම.
• කැටිති සහිත වීම.
• එක දිගටසුද යාම දිගින් දිගටම ඇතිවීම.

කාන්තාවකගේ ගර්භාෂය, පැලෝපීය නාලය, ඩිම්බ කෝෂ ආශ්‍රිත මෙම පද්ධතිය ශරීරය අභ්‍යන්තරයට නෙරා ඇති අතර යෝනි මාර්ගය ඒවාට ප්‍රවිශ්ඨ මාර්ගය වේ. 

නමුත් පුරුෂයන්ගේ ලිංගික ඉන්ද්‍රිය පද්ධතියට බාහිරව නිරාවරණය වී ඇත. ඒ නිසා ඒ ආශ්‍රිතව ඇතිවන ඕනෑම රෝගයක් පහසුවෙන් හඳුනාගත හැක. කාන්තාවගේ යෝනි මාර්ගය අභ්‍යන්තරයට නෙරා ඇත. එමෙන්ම කාන්තාවගේ මුත්‍රා මාර්ගය ගුද මාර්ගය අසලම පිහිටා ඇත. ඒ නිසා විෂබීජවලට තෝතැන්නක්ද වේ.

සුදයාම ඇති වීමට හේතු

• විවිධකාර දිලීර තත්ත්වයන් 
• විවිධාකාර බැක්ටීරියා 
• වෙනත් ආගන්තුක ද්‍රව්‍ය ඇතුළු වීමෙන්
• වැරදි පුරුදු
• මානසික පීඩනය
• ආහාර පාන
• අනියම් සබඳතා

මෙය දිගින් දිගටම නොසලකා හැරීමෙන් බොහෝ විට දිලීර තත්ත්වයක් ආසාත්මක වී ගර්භාෂයේ ඇතුළු බිත්තිය විනාශ වීමටද පුළුවනි. මෙය දිගින් දිගටම ඇතිවීම තුළින් ඇතැම් විට ලිංගික සංසර්ගයේදී විවිධ රෝග ඇතිවීමටද පුළුවනි.

විවාහ අවිවාහක භේදයකින් තොරව සුද යෑමේ රෝගී තත්ත්වයට කාන්තාවෝ මුහුණ දෙති. මේ සමඟ ඇතුළුවන විෂබීජ ගර්භාෂය ඇතුළත ආක්‍රමණය කර පැලෝපීය නාලවලට හානි සිදුකර ඇතුළත ඇති ඉතා සියුම් කෙඳි සහිත ව්‍යුහයට හානි සිදුකිරීමට ඇති ඉඩකඩ නිසා එය මව් පදවිය ලැබීමට බාධාවක් වශයෙන්ද ක්‍රියා කළ හැක. 

මේ පිළිබඳ සැලකිලිමත් වන්න

• විශේෂයෙන් පොදුවැසිකිළි භාවිතයේදී ඉතා සැලකිලිමත් වෙන්න. 

• වැරදි පුරුදුවලින් ඈත්වන්න. විශේෂයෙන් මුත්‍රා පිට කිරීමෙන් පසුව බොහෝ කාන්තාවෝ තෙතමනය සහිතව නැවත යට ඇඳුම අඳින්නට පුරුදුව සිටිති. එමඟින් දිලීර ආසාදනය ඒ අවට ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇත.

• බොහෝ යුවතියෝ තම යට ඇඳුම් අව්වේ වේලා ගැනීමට මැලිකමක් දකිවති. අන් අයට පෙනෙන නිසාවෙන් ඒවා සෝදා නිවසේ කාමරයක හෝ වැලක වැනීමට පුරුදුව සිටී. නමුත් බාගෙට වියලුණු ඇඳුම් දිලීර ආසාදන ඇතිවීමට මඟපාදයි.

• යට ඇඳුම නිරතුරැවම දිනපතා මාරුකර අඳින්න.

• යට ඇඳුම සඳහා හොඳ කපු ඇඳුම් තෝරා ගන්න.

• නිරෝගී ආහාර රටාවක් පවත්වාගෙන යන්නට වගබලා ගන්න.

• යෝනි මාර්ගය හා අවට නිතරම පිරිසිදු හා වියළි තබාගන්න.

• යෝනි මාර්ගය අවට පවුඩර්, සුවඳ විලවුන් ගැල්වීමෙන් වළකින්න. එය පිළිකා තත්ත්වයක් ඇතිවීමටද මූලික විය හැකිය.

• නිතර නිතර ඒ අවට සබන් දමා සෝදන්න එපා. සබන්වල ඇති රසායනික ද්‍රව්‍යයන් ද සුද යාම සඳහා බලපායි.

• තනිකම මකා ගැනීමට ලිංගික කරුණු ආශ්‍රිත සඟරා කියවීම, ලිංගික චිත්‍රපට බැලීම වැනි හේතූන් නිසා ඇතිවන උත්තේජනය නිසා යෝනි මාර්ගය අවට තෙත් කිරීමට හේතුවේ.

• ඇතැමුන් ලිංගික ආස්වාදය ලැබීමට ස්වයංවින්දනයේ යෙදීමේදී එහිදී ආගන්තුක ද්‍රව්‍ය ඇතුළු කිරීම තුළින් ද විෂබීජ ඇතුළු වී මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකිය.

• මෙවැනි රෝගී තත්ත්වයන් පවතී නම් විවාහක අවිවාහක බේදයකින් තොරව ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. නැතිනම් එමඟින් පැලෝපීය නාලයට හානිවීමට ඇති ඉඩකඩ වැඩියි.

• විශේෂයෙන් අධික උෂ්ණ ඇති කෑමවලින් වැළකී සිටින්න. අච්චාරු, බලමාළු, අන්නාසි, ඉස්සෝ, දැල්ලෝ, කෙළවල්ලන් වැනි උෂ්ණාධික ආහාරවලින් වැළකී සිටින්න.

• හාතවාරිය කොළ කැඳ ඉතා ගුණදායකයි. අඩුම තරමේ සතියකට දවසක්වත් ගොටුකොළ, හාතවාරිය, මුකුණුවැන්න වැනි දේ මිශ්‍රකර කොළකැඳ පානය කරන්න. මුංඇට, කවුපි, කඩල වැනි ධාන්‍ය වර්ග වැඩිපුර එකතු කරගන්න.

• ක්ෂණික ආහාරවලින් ඈත්වන්න. මානසික පීඩනයෙන් තොර සැහැල්ලු මානසකින් ජීවිතේ ගෙනියන්න.

• මෙම රෝග තත්ත්වය ඔබට ඇත්නම් වගාව සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගන්න.

ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන
දිශානි ජයමාලි කරුණාරත්න