
රැහැයියනි රැය ගෙවුනි, නවක ලේඛකයකුගේ පළමු කාව්‍ය කෘතියයි. එය පසුගියදා පැවැත්වූ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ දී හොඳම නවක නිර්මාණ දායකත්වයට හිමි සම්මානය දිනාගන්නා ලදී.
කතුවරයා තම කෘතියේ පෙරවදනට යොදාගෙන ඇත්තේ ද කවියකි. ඔහු සංසාරයේ බර දැනුණු හදවතක් ඇත්තෙකි. එහි ජීවිතය සියුම්ව ස්පර්ශ කිරීමට ප්‍රයන්ත දැරීමක් ලෙස මෙම කවි ලියා තිබේ.
සංසාරයට මාවත එළිපෙහෙළි කොට
ලද ඉසිඹුවක දුක් ගැඹරෙක ගිලෙන විට
කවි දැල එලා දිවි ඉවුරට අදින ලද
සගයිනි, ඔබෙන් නොඅසමි දුක නිවන මඟ
දෙගිඩියාව නම් කවියෙන් ප්‍රියලාල් කඳු මුදුන් හරහා එන වලාකුළු දකින ස්වරූපය කවියට නගයි. එය බොහෝ දෙනාගේ මනසට ගෝචර නොවන කාව්‍යෝක්තියකි. වලාකුළු එන්නේ හේන් කුඹුරු සැනසීමට වැසි ලබාදීමටයි. ඒවායේ ඇතුළු කුහරවල පිරී පැවතිය යුත්තේ පිරිත් පැන්ය. ඒත් දැන් වලාකුළු පිරී ඇත්තේ දුම්බටයෙන් නැගෙනා විස දුමිනි.
වලා සේල ඉරා දමා
ගිනිබත් කරනා රකුසන්
නඟනා විෂ ධූම කැරලි
දුටුවෙමි නුඹ උන් පෙදෙසින්
පෙඟී විස දුමාරයේ
නුඹේ සිරුර කළු ගැහුණිද
ඔය ඔසවාගෙන එන්නේ
සනීභවිත කඳුළු ගැබද?
මෙහි ඇති ආට ගැමිණී නම් කවිය ද පාඨක සිත් අපූරු ඉසව්වක් කරා රැගෙන යාමට සමත්ය. ආට ගාමිණී දවසෙ කුලියට ත්‍රීවිරලය දුවයි. සල්ලි කොළ එකතු කරමින් ධනවත් තම සිත්ගත් පෙම්වතිය රැගෙන යාමට පෙරුම් පුරයි.
දවසෙ කුලියට දුවන අසුපිට
නුවර ගම්දොර දුර ගෙවා මම
දහයෙ විස්සේ හුරුබුහුටි කොළ
දවස ගානේ එකතු කරනෙම්
ඔතා ඒ කොළ කඹය අඹරමි
දිනෙක කඹයෙන් මැඳුර වෙත එමි
ටයර් ගෙවිලා කොරගගහ යන
අස්වයා පිට නුඹව ගෙන යමි
මෙහි අපූරු ජීවන දර්ශනයක් ද ගැබ්වෙයි. ගාමිණීට සිය චිත්‍රාව රැගෙන යාමට රුපියල් දහය විස්ස බැගින් දිගු කාලයක් එකතු කිරීමට සිදුවනු ඇත. එවිට ආට එකේ ටයර් ගෙවී එය අබලන් වී තිබෙනු ඇත. අපේ ජීවිතයත් එලෙසය. සමහර බලාපොරොත්තු ඉටුකර ගැනීමට ළංවන විට අප වියපත් වී සිටිනවා නොවේද?
සැරයටිය නම් කවිය ද අපූරු ජීවන දහමක් මතුකරන්නකි. කවියාගේ පෙම්වතිය ඔහු හැර ගොසිනි. නමුත් ඔහු තුළ වෛරයක් නැත. කවියා සිය පෙම්වතියට ලබාදීමට සැරයටියක් තනයි.
මගේ සිත මත නුඹ වපුල ඒ
ප්‍රේමයේ බිජුවටය පැල වී
හැදුණු මහ වඳ ගස කපාගෙන
හොඳම ලීයෙන් තනමි මම එය
එහි ලියවැල් කොටා වීතරාගී ස්නේහ සලකුණු කැටයම් කරයි. ඇයගේ පයේ හැපී ඉවත විසිවුණු නිල් මැණික් කැට ඔබ්බයි. කදුළු තවරා ඔප දමයි. විරහ දුක අඩියට ගසයි. ප්‍රේමයේ මිරිඟුව හඹා ගොස් හති වැටුණු විට එම සැරයටිය පෙම්වතියට පිදීම කවියාගේ බලාපොරොත්තුවයි.
ජීවිතේ ගිරිදුර්ග මංපෙත
තනිව යන්නට නොහැකි වූ පසු
මහත් සෙනෙහෙන් නුඹට පුදදෙමි
සොඳුර, ඒ සැරයටිය මා තැනු
ප්‍රියලාල් සඳැස් කවියට මෙන්ම සිව්පදයටද දස්කම් දක්වයි. නැවුම් උපමා රූපක සිය කවියට ආභරණයක් කරගනී. ඔහු අපේ කවියේ අනාගත බර කරට ගත හැකි තරුණ කවි පරපුරට අයත් කවියෙකි.
I කුසුම්සිරි