2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

ඔසප් නැවතිල්ලෙන් ලෙඩ ගොඩක්!

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 884

ඕනෑම කාන්තාවක් තම ජීවිතයේ කවදාහෝ මුහුණ දෙන තත්ත්වයකි ආර්තවහරණය හෙවත් Menopause තත්ත්වය. විශේෂයෙන් අවුරුදු හතළිස් පහ ඉක්ම වූ විට මෙම තත්ත්වයට මුහුණ දීමට කාන්තාවන්ට සිදුවේ. ඇතැම්විට මෙය ඊටත් වැඩි වයස් කාලයකදි වුවත් මේ තත්ත්වය දැකගත හැක. නමුත් අවුරුදු හතළිස් පහට පසුව කාන්තාවගේ ශරීරයේ ඩිම්බ නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන හෝමෝනය ලෙස හඳුන්වන ඊස්ට්‍රජන් හෝමෝන නිෂ්පාදනයේ යම් අඩුවීමක් දක්නට ලැබේ. 

ආර්තවහරණයේ මූලික ලක්ෂණ කිහිපයක්

ඊසට්‍රජන් හෝමෝනය ශරීරය තුළ නිෂ්පාදනය වීම අඩුවීමෙන් හිසකෙස් ටිකින් ටික හැලීයාමක් දක්නට ලැබේ.

  අධික ලෙස නිදිමත ගතිය
 කම්මැලිකම
 ලිංගිකත්වයට දක්වන කැමැත්ත අඩුවීම
 අලස ගතිය
 ඉක්මනින් කේන්තියාම
 අත්ල හා යටිපතුවලට ඉක්මනින් දහඩිය දැමීම
 ඇඟේ රස්නය තදින් දැනීම
 නින්දෙන් වරින්වර නැගිටීම
 රාත්‍රි කාලයේදී වරින්වර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම
 එමෙන්ම මාස්ශුද්ධියේ යම් යම් වෙනස්කම් ඇතිවීම
 වෙනදාට පිටවන රුධිර ප්‍රමාණයට පවා යම් වෙනස්කම් ඇතිවීම. ඇතැම් කාන්තාවන්ට අඩුවක් දක්නට ලැබේ
 මාස්ශුද්ධිය ඇතිවන අවස්ථාවලදී වෙනදාට වඩා වේදනාකාරී වීම
 හන්දි අස්ථි වේදනාකාරි වීම
 ආර්තවහරණයට මුහුණ දෙන බොහෝ කාන්තාවන් තුළ පෙර තිබූ සතුට, ජවය, ප්‍රබෝධය අඩුවිම හේතුවෙන් විවිධ මානසික තත්ත්වයන්ටද ඇයට මුහුණ දීමට සිදුවේ. 

නමුත් ඔබ නොදන්නා වූවාට ආර්තවහරණය පමා කරගැනීමටද කාන්තාවන්ට හැකියාව තිබේ. මේ නිසාම ඔබ සැලකිලිමත් විය යුත්තේ අඩුම තරමේ ඔබේ වයස අවුරුදු පනහ - පනස් පහ වෙනතුරුවත් ආර්තවහරණයට ඔබට ළඟා නොවීමට වගබලා ගැනීමය. විශේෂයෙන් අවුරුදු හතළිස් පහ ඉක්මවූ කාන්තාවන්ට වුවද දරු සම්පත ලබාගැනීමට පුළුවනි. නමුත් මවක් වන්නට හීන දකින කාන්තාවන් අඩුම තරමේ අවුරුදු හතළිස් පහට පෙරවත් ඒ හීනය දකින්නට උත්සාහ කිරීම අවශ්‍යය.

ආර්තවහරණය පමා කරගැනීමට ආහාරපාන හා මානසික හේතුන්ද බලපෑම් කරයි. විශේෂයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීම වළක්වා ගැනීමට හොඳ පෝෂ්‍යදායි ආහාර කෑමට එක්කර ගැනීම අවශ්‍යය. බොහෝ ගෘහණියෝ තම ආහාර රටාව පිළිබඳව සැලකිල්ලක් නොදක්වති. නමුත් තම සැමියාගේ, දරුවන්ගේ ආහාරවේල් පිළිබඳව දැඩි ලෙස සොයා බලති. ඇතැම් ගෘහිණියෝ සැමියාට, දරුවාට කෑම දී ඉතුරු වූ කෑම පමණක් අවසානයේදී ආහාරයට ගැනීමට පුරුදුව සිටිති. ඇතැම්විට කෑම නොගෙන තේ කෝප්පයකින් පමණක් තම කුසගින්න නිවා ගැනීමට ක්‍රියාකරති. 

විශේෂයෙන් මෙවැනි කාලයේදී කාන්තාවගේ ආහාරවේල් පිළිබඳව වෙනදාටත් වඩා සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. මීට අමතරව ආයුර්වේදයේ ආර්තවහරණය පමා කිරීමට ඖෂධ වර්ගද ඇත. ඩිම්බ කෝෂ අකර්මණ්‍ය වීගෙන යද්දී එම ඩිම්බ කෝෂ නැවතත් වර්ධනය කරගැනීමට අදාළ ඖෂධ උපකාරී වෙයි. 

මීට අමතරව නිතරම සතුටින් සිටීම අවශ්‍යය. ආර්තවහරණයට ලක්වන්නට සූදානම් වන වයසේ පසුවන කාන්තාවන් නම් ඉවසීමට පුරුදු වීමද යහපත්ය. 

බැබිල මුල් තම්බා බීමද හාතවාරිය කැඳ බීමද ඉතා ගුණදායකය. ඉරමුසු කැඳද ආර්තවහරණය පමා කිරීමට උපකාරී වේ. නමුත් නිතරම බීමට පුරුදු වීම හොඳ නැත. කැල්සියම් වැඩි කුඩා මාළු, හාල්මැස්සන් ආහාරයට එක්කර ගැනීමට වගබලා ගත යුතුය. 

ඔබත් ආර්තවහරණයට සූදානම් වන කාන්තාවක්නම් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ගත හැක. එම තත්ත්වය පමා කරගැනීමට අවශ්‍ය උපදෙස්ද ඒ ආකාරයටම ලබාගත හැක.

I දිශානි ජයමාලි කරුණාරත්න