
කොළඹ නගරයේ සහ කොළඹට තදාසන්න ප්‍රදේශවල මාර්ග නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරුණේ පසුගිය අවසාන සතියේ සිටය. ඒ සිට මේ දක්වා කාලය තුළ මංතීරු නීතිය උල්ලංඝනය කළ රියදුරන් දෙදහසකට අධික පිරිසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී තිබිණි. ඔවුන් සියලු දෙනා අධිකරණය ඉදිරියට පැමිණවීමටද පොලිසිය කටයුතු කර ඇත.
මහාමාර්ගවල ඇතිවන අධික තදබදයේ ප්‍රතිඵලය වූයේ අපටත් නොදැනීම රටේ ආර්ථිකයට බලවත් පහරක් එල්ලවීමය. කොළඹ නගරයේ කාර්යබහුල කාල සීමාවන්හි වාහනයක දළ වේගය පැයට කිලෝමීටර හයක් දක්වා පහළ බැස තිබිණි. මිනිස් පැය විශාල ප්‍රමාණයක් නාස්තිවන මෙම කාලය තුළ බොහෝ දෙනකු ගමනා ගමනයේ යෙදෙන්න මැලිකමක් දක්වන්නේ එබැවිනි.
මගීන්ගේ මැසිවිලි මෙන්ම බස් රථ සේවක සංගම්වල ඉල්ලීම් පරිදි බස් රථ සඳහාම වෙනම මංතීරු ක්‍රමයක් හඳුන්වා දීමේ වැඩපිළිවෙළට රජය මැදිහත් වූයේ ඉන්පසුවය.
බස්නාහිර සහ මහ නගර සංවර්ධන අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ මේ නියමු වැඩසටහනේ ආරම්භක දිනයේදී නම් අදාළ ප්‍රදේශවල විශාල තදබදයක් ඇතිවී තිබිණි. ඊට හේතුවක් වී තිබුණේ බස් රථ රියදුරන් හැරුණුකොට යතුරුපැදි, ත්‍රීරෝද රථ ඇතුළු සෙසු වාහනවල රියදුරන් මේ සම්බන්ධයෙන් හරි හැටි දැනුම්වත් කර නොතිබීම බවට සමහරු චෝදනා කළහ. එම කාරණයේදී යම් සත්‍යතාවයක් තිබිණ.
කෙසේ නමුත් අලුත් යමක් කිරීමට යෑමේදී මල්වලට වඩා එල්ලවෙන්නේ ගල්ය. ඊට හේතුව හොඳට වඩා නරක සෙවීම බොහෝ දෙනාගේ සිරිත බැවිනි. නමුත් දෙවැනි තුන්වන දිනය වනවිට පළමු දිනයේ තිබූ වාහන තදබදය තිබුණේ නැත. මගීන් පළමු දිනයේදී මෙන්ම අනෙක් දින වලදී දැඩි දුෂ්කරතා වලට මුහුණ පා තිබුණේද නැත. පළමුව චෝදනා මුඛයෙන් කථා කළ බොහෝ පිරිසක්ද මේ වනවිට බස් රථ මංතීරු ගැන සුබවාදීව කතා කරන්නට පටන්ගෙන ඇත.
පෙරවරු 06 සිට පෙරවරු 09 දක්වා ක්‍රියාත්මක වන මෙම බස් රථ ප්‍රමුඛතා සංකල්පය පළමුවෙන් ආරම්භ වූයේ මොරටුව කුරුස මංසන්දියේ සිට රත්මලාන සහ වැල්ලවත්ත පාලමේ සිට කොල්ලුපිටිය දක්වාවූ මාර්ගයේය. දෙවැනි අදියර පසුගිය අගොස්තු මස 22 වැනි දින කටුබැද්දේ සිට මැලිබන් හන්දිය දක්වා ක්‍රියාත්මක වූ අතර අගෝස්තු මස 29 වැනි දින බත්තරමුල්ල දියත උයන අසල සිට රාජගිරිය ආයුර්වේද මංසන්දිය දක්වාත් ටවුන්හෝල් සිට තුම්මුල්ල දක්වාත් එහි තෙවැනි අදියර ක්‍රියාත්මක විය.

මෙම බස් රථ මංතීරු ක්‍රමය ලෝකයේ ප්‍රධාන නගර රුසකම දැනටත් ක්‍රියාත්මක කරන සංකල්පයක් වන අතර මෙරටද මෙහි සාර්ථකත්වයක් තිබේ නම් කළ යුතු වන්නේ ඉදිරියේදී කොළඹ නගරයේ සෙසු ප්‍රධාන මාර්ගවලටද මෙය හඳුන්වා දීමය.
බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්රමයේ තිබෙන සාර්ථක අසාර්ථක බව පිළිබඳ අපි බස් සංගම් හිමියන්ගෙන් සහ බස් රථ රියදුරන් කිහිප දෙනකුගෙන් විමසීමක් කළෙමු.
ජානක චමින්ද - (පානදුර - කොළඹ බස් රථ රියදුරෙක්)
මම දැනට අවුරුදු 10ක් විතර මේ රූට් එකේ තමයි දුවන්නේ. මේ අලුතින් හඳුන්වලා දීපු බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රමයට මම ගොඩක් කැමැතියි. ඒ වගේම තමයි මේ කෙන් අපි පානදුරේ ඉඳලා කොළඹට එන්න ගත වෙන කාලය ඉතිරි වෙනවා. ඉස්සර එහෙම බැහැ. හැමතැනම වාහන බයිසිකල්, ත්‍රිවිල් එහෙන් මෙහෙන් දානවා. එතකොට ඉතිං වෙන අනතුරු එහෙමත් වැඩියි. මේ ක්‍රමය ඉතාමත් සාර්ථකයි කියලා හිතනවා.
කපිල දනුෂ්ක (පැලවත්ත - කොටුව)
මේ බස් රථ මංතීරු ක්‍රමය ඉතා හොඳ ක්‍රමයක් කියලා මම හිතනවා. මොකද මේ ටයිම් එකට තමයි (6-9) ට්‍රැෆික් එක වැඩියම තියෙන්නේ. බස් එළවන අපිට විතරක් නෙවෙයි මගීනුත් මේ ටයිම් එකට කොහෙවත් යන්න කැමති නැහැ. නමුත් මේ දැන් අලුතින් දාපු මංතීරු නීතිය අපි කැමතියි මේක අනිකුත් පාරවල් වලටත් දානවානම්. ඒ පාරවල් වල තියන තදබදයත් ටිකත් අඩුවෙයි කියලා හිතනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න
මේ බස් මංතීරු ක්‍රමය ඇතැම් මාවත්වල සාර්ථකයි. අනෙක් මාර්ගවල සාර්ථක සහ අසාර්ථක අතර මැද මාවතේ තියෙනවා. ගාලු පාරේ නම් මේ පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නෑ. මංතීරු හතරක් විතර තියන නිසා. රාජගිරිය පොල්දූව මංසන්ධියේ තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. නමුත් බොහෝ මාර්ගවල මෙය සාර්ථකයි. ඒ වගේම අපි මේ හඳුන්වලා දීලා තියන විශේෂ මංතීරු ක්‍රමය යටතේ උදෑසනට හා රාත්‍රියට විශේෂ සීඝ්‍රගාමී වායු සමනය කරන ලද බස් රථ සේවාවක්ද හඳුන්වලා දෙනවා. මේවා පෙරවරු 06 සිට 08 දක්වාත් පස්වරු 04 ඉඳලා 06 වෙනකම් වගේම රෑ 08 ඉඳලා රෑ 12 වෙනකම් ධාවනය කරන්නත් අපි ඉදිරියේදී සැලසුම් කරලා තියනවා. ඒ වගේම මේ කටයුතුවලට මගී ජනතාවගේ සහය අපිට අවශ්‍යයි. ඒ වගේම ආණ්ඩුව තීරණයක් අරන් තියනවා මේ කාර්යාල වේලාවන් වෙනස් කරන්න. මේකට සමගාමීව අපිත් රජයට යෝජනා කරලා තියනවා මේ රජයේ කාර්යාල රෑවෙනකම් ඇරලා තියන්න ඕන කියලා.
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්
බස් රථ හිමියන්ගේ ඉල්ලීම ක්‍රියාත්මක කරන බස් රථවලට පමණක් මංතීරුවෙන් කිරිම ඉතාමත්ම කාලෝචිත දෙයක්. ඉතින් මේ ආකාරයට රටේ ප්‍රධාන නගරවල මේ විදියට බස් මංතීරු ක්‍රියාත්මක කරනවානම් පෞද්ගලික බස් කර්මාන්තකරුවා සහ සේවකයා දිරිමත් කිරීමක් විදිහට තමයි අපි දකින්නේ. ඒ වගේම මේ මංතීරු ක්‍රමය නිසා අනතුරු වීම 90% අඩුවීමක් වෙලා තියනවා කියලා මම දකිනවා. ඒ වගේම මෙම ක්‍රමවේදය කොළඹ නගරය තුළ වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කරන්න ඕන කියලා යෝජනාවක් අපි රජයට කරලා තියනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා විනාශ වෙමින් යන මේ කෙටිදුර බස් රථ සේවාව මේ තුළින් නවතා ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා. එමෙන්ම මේ ක්‍රමය තුළ බස් රථවල ආදායම වැඩිවීමක් පවා අපි දකිනවා. ඇත්තටම මේ ක්‍රමය ඉතාමත් සාර්ථක ක්‍රමයක්.
එමෙන්ම උදෑසන 06 සිට 09 දක්වා රාජකාරි වේලාව තුළ පවතින අධික මාර්ග තදබදයත් සමගම රජයේ ආයතන විශාල ප්‍රමාණයක් පිහිටි බත්තරමුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල රාජ්‍යය සේවකයන්හට නම්‍යශීලි කාර්යාල වේලාවක් පවත්වා ගැනීමේ නියමු ව්‍යපෘතියක්ද 18 වැනිදා සිට ආරම්භ විය.
ඒ අනුව පෙ.ව. 7.30ට සිට 9.15 දක්වා කාර්යාවලට පිවිසීමේ කාලය සහ ප.ව 3.15 සිට ප.ව 5.00 දක්වා කාලයන් තුළ කාර්යාලයෙන් පිටවීමට යා හැකිය. එමෙන්ම මහජනතාවට කාර්යශීලි සේවයක් ඉටුකිරීම සඳහා මෙහිදී සියලුම රාජ්‍යය සේවකයන් පෙ.ව 9.15 සිට ප.ව 5.00 දක්වා කාලය තුළ අනිවාර්යෙන්ම කාර්ය තුළ රැඳී සිටීමද අත්‍යවශ්‍ය වනු ඇත.
මෙහිදී තමන් රාජකාරියට පැමිණෙන වේලාව පිළිබඳ ආයතන ප්‍රධානියා හා සම්මුතියත් ඇතිකරගත යුතු අතර රාජ්‍ය නිලධාරින් තමන් තෝරාගන්නා කාල පරාසය තුළ පැය 07යි විනාඩි 45ක් කනිෂ්ඨ සේවකයන් පැය 08යි විනාඩි 45න් සහ මෝටර් රථ රියදුරන් පැය 09ක් ආවරණය වන පරිදි සේවය කළ යුතුය. තමන්ගේ පැමිණීමේ වේලාව අනුව කෙටි නිවාඩු සහ රතු ඉර ආදිය මෙහිදී ක්‍රියාත්මක වනු ඇත.
හසිත් අංජන