
ලබන වසර වන විට ශ්‍රී ලංකාව මධ්‍යම මට්ටමේ සංවර්ධිත රටක් බවට පත්වන නිසා ජාත්‍යන්තරයෙන් සහන ණය ලබාගැනීමට අවස්ථාව නොලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබිණි. ඒ නිසා ණය වෙනුවට ආයෝජන ලබාගෙන රට ඉදිරියට ගෙන යාම අවශ්‍ය බව ඔහු පෙන්වා දී ඇත. පසුගිය 31 දා පැවැති Facets Sri Lanka 2017 මැණික් ප්‍රදර්ශනය විවෘත කරමින් අගමැතිවරයා පැවසුවේ 2014ට සාපේක්ෂව මේ වන විට රටට ලැබුණු ආයෝජන සියයට 300කින් ඉහළ ගොස් ඇති බවය.
තවද දකුණු ආසියාව ලෝකයට විවෘත කිරීම යන තේමාව යටතේ පැවැති 2017 සාර්ක් ආයෝජන සමුළුවේ දී ඔහු තවදුරටත් පැවසුවේ ආයෝජන සඳහා දැනට ඇති සීමා මායිම් ඉවත් කර ආර්ථික සංවර්ධනය සඳහා ආයෝජන ලබාගැනීම වැදගත් බවය.
මෙම ප්‍රකාශ වලින් අපට පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවට ණය ලබාගැනීම වෙනුවට ඉදිරියේ දී නව ආයෝජන ලබාගැනීම කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කිරීමට සිදුව ඇති බවය. රටට සහන පොලී අනුපාත යටතේ ණය නොලැබෙන්නේ ම් ඒ වෙනුවට විකල්පයක් තිබිය යුතුය. එහෙත් මෙතෙක් කල් බලධාරීන් කළේ සහන ණය නොලැබෙන විට වැඩි පොලියට ජාත්‍යන්තරව වාණිජ ණය ලබාගැනීමට පෙළඹීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2015 මුල් හය මාසයට වඩා 2016 එම කාලය තුළ ලබාගත් ණය දෙගුණ වී ඇති බව ශ්‍රී ලංකා බැංකුව ළඟ දී නිකුත් කළ අර්ධ වාර්ෂික වාර්තාවෙන් පැහැදිලි වේ.
රට මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්වෙන්නේ ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 4000 ඉක්මවූ විටය. එසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ 2015 දී 3843 ක් වූ ඒකපුද්ගල ආදායම 2016 වන විට අමෙරිකානු ඩොලර් 3835 දක්වා ඩොලර් 8 කින් අඩු වී ඇති බවය. මෙයට හේතුව වී ඇත්තේ රුපියලේ අගය පසුගිය කාලයේ වේගයෙන් ක්ෂය වීම නිසා ඩොලරයට වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවන්නට සිදුවීමය.
මෙලෙස ඒකපුද්ගල ආදායම ඩොලර් 4000ට පත් වූ පසු අපට දැනට ප්‍රදානය කර ඇති ජී.එස්.පී.+ සහනය ද නොලැබීමට ඉඩ ඇත. එය ද ආර්ථිකයට හානිකරය. ඒ නිසා ඒකපුද්ගල ආදායම ඉහළ යාම එක අතකින් රටට යහපත් වුවද තවත් පැත්තකින් හානිකර බවක් පෙනෙන්නට තිබේ.
ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් දිළිඳු රටවලට සහන ණය සහ ආධාර දීම ආරම්භ කළේ 1946 වසරේ දෙවැනි ලෝක යුද්ධය නිසා සිදු වූ ආර්ථික හානිවලින් ගොඩ ඒම සඳහාය. දෙවැනි ලෝක යුද්ධය නිසා අපේ රටට සිදු වූ හානි සඳහා ජාත්‍යන්තරව ලැබුණු ණය යම් පමණකට ප්‍රයෝජනවත් වුවද අපේ රට ඉංග්‍රීසි ආධිපත්‍යයට නතුව තිබූ සමයේ රටේ විශාල ආර්ථික ප්‍රබෝධයක් ඇතිව තිබූ නිසා එතරම් ණයවලට යොමුවීමට අවශ්‍ය වූයේ නැත. එහෙත් අනතුරුව ක්‍රමයෙන් අපේ රටේ ආර්ථිකය අයහපත් වීම නිසා 1970 සිට ජාත්‍යන්තරව ණය සහ ආධාර ගැනීමට අවශ්‍ය විය. කෙසේ වුවද එම ආයතනවලින් ණය ලබාගැනීම වැඩි වූයේ 1980 වසරේ සිට බව පෙනෙන්නට තිබේ. මේ වන විට අපේ ජාතික ආදායමෙන් සියයට 95 ක් පමණ ලබාගත් ණය සහ පොලීවලට ගෙවීමට සිදුව ඇති නිසා තවදුරටත් ණය ලබා නොදීමේ අවදානමක් ඇති වී තිබේ.
අගමැතිවරයා පවසන පරිදි රට මැදි ආදායම් ලබන තත්ත්වයට අවතීර්ණ වීමට වඩා සත්‍ය තත්ත්වය වන්නේ අපට තවදුරටත් ජාත්‍යන්තර ණය ගැනීම අසීරු වීමය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සිරිමල් අබේරත්න මේ පිළිබඳ මෙසේ කියයි.
“රටක පොහොසත්කම මනින සරල ක්‍රමයක් වන්නේ ඒ රටේ ඒකපුද්ගල ආදායම පදනම් කර ගැනීමයි. රටේ සියලු පුද්ගලයන් ලබන ආදායම හෙවත් නිෂ්පාදනය ඒ රටේ ජන සංඛ්‍යාවෙන් බෙදූ විට ලැබෙන පිළිතුර වන්නේ ඒකපුද්ගල ආදායමයි. රටක ජනතාව ලබන ආදායම වැඩි වූ විට රටේ සමස්ත ආදායම් මට්ටම ඉහළ යයි. එය වැඩිවන තරමට රට පොහොසත් රාජ්‍යයක් වේ.
ජාත්‍යන්තර ප්‍රමිති නිර්ණායක අනුව රටක ආර්ථික තත්ත්වය රටේ නිෂ්පාදනය අනුව කොටස් තුනකට බෙදේ. ඒ පහළ ආදායම ලැබීම, මැදි ආදායම ලැබීම සහ ඉහළ ආදායම වශයෙනි. වාර්ෂික ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 1000ට වඩා අඩු රටවල් පහළ ආදායම් ලබන රටවල් ලෙස සලකයි. මැදි ආදායම ලබන රටවල් කාණ්ඩ දෙකකි. ඒවා නම් අමෙරිකානු ඩොලර් 1000 සිට 4000 දක්වා ඒකපුද්ගල ආදායම ලබන පහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටවල් සහ අමෙරිකානු ඩොලර් 4000 සිට 12,000 දක්වා ඉහළ මැදි ආදායම් ලබන රටවල් වශයෙනි. වාර්ෂික ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 12,000 ඉක්මවූ රටවල් ඉහළ ආදායම් ලබන රටවල් ලෙස වර්ග කෙරේ.
ආසියාවේ පොහොසත්ම රට සිංගප්පූරුවයි. එහි ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 50,000 කි. ජපානය දෙවැනි තැනට පත් වී ඇත්තේ වාර්ෂිකව අමෙරිකානු ඩොලර් 45,000ක ආදායමක් ලබමිනි. වාර්ෂිකව ඩොලර් 1000ට වඩා අඩු ආදායම් ලබන රටවල් සමඟ සලකා බලන විට මෙම අධිපොහොසත් රටවල් දිළිඳු රටවල්වලට වඩා පනස් ගුණයකට පමණ වැඩි ආදායමක් ලබන බව පෙනේ.
ශ්‍රී ලංකාව මේ දක්වා පැවතියේ පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස වාර්ෂිකව අමෙරිකානු ඩොලර් 4000ට අඩුවෙන් ආදායම් ලබමිනි. එහෙත් මේ වන විට අපේ රට අමෙරිකානු ඩොලර් 4000 ආදායම් මට්ටමට ළඟා වී තිබේ. මේ අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්ව ඇත. මෙය සතුටට කරැණකි. අපේ රටේ ආර්ථික තත්ත්වය වර්ධනය වන බව මේ අනුව සනාථ වෙයි.
අද ලොව රටවල් පොහොසත් වීමේ තරගයකට අවතීර්ණ වී ඇත. ඇතැම් රටවල් එන්න එන්නම ශීඝ්‍රයෙන් පොහොසත් වෙයි. අපේ රට ද අනාගතයේ දී වාර්ෂික ඩොලර් 40,00 සීමාව ඉක්මවා යනු ඇත. එහෙත් අපට ඇති ප්‍රශ්නය අපේ රට ආසියාවේ සෙසු රටවල් හා සැසඳීමේ දී සෑහෙන වේගයකින් ආර්ථික වර්ධනය නොවීමයි. එය මන්දගාමී සංවර්ධනයකි. මුලදී අපට පසුපස සිටි රටවල් දැන් අප පසුකරගෙන ගොස් තිබේ. 19 වැනි සියවස අවසානයේ දී අපේ රට සිටියේ ඒකපුද්ගල ආදායම අනුව ජපානයට ඉහළය. පසු කාලයේ දී අපට පසුබා සිටි මැලේසියාව, සිංගප්පූරුව, තායිවානය, හොංකොං, දකුණු කොරියාව යන රටවල් මේ වන විට අපව පරාජය කර හමාරය.
මෙයට හේතු වන්නේ අප ගන්නා තීරණවල වරදය. කිසිදු ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් අපට නැත. අපේ ප්‍රතිපත්ති සම්පාදනය වන්නේ ලිෆ්ටන් වටරවුමේදීය. එම තත්ත්වය මත අප ඉදිරියට යන්නේ කෙසේද? ආර්ථික ප්‍රතිපත්ති දේශපාලනීකරණය වී ඇත. ඒ ඒ දේශපාලන පක්ෂවල පටු ඕනෑ එපාකම් අනුව කටයුතු කිරීම නිසා බලයට පත් වූ ආණ්ඩුවලට අවශ්‍ය ලෙසට සියල්ල සිදු වේ. අපේ අසල්වැසි ඉන්දියාවේ පවා ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ඇති අතර කුමන පක්ෂයක් බලයට ආවත් එහි කාලීන වෙනස්කම් සිදුකිරීමක් මිස උඩු යටිකුරු කිරීමක් සිදුවන්නේ නැත.
කෙසේ වුවද තිස් වසරක යුද්ධය අපේ ආර්ථික ප්‍රසාරණයට අහිතකර ලෙස බලපෑ බව සත්‍යයකි. එම යුද්ධය පසුබිම තබාගෙන අප මේ තාක් හෝ ඒකපුද්ගල ආදායම වර්ධනය කර ගැනීම වැදගත්ය. නිසි කළමනාකරණයක් තිබුණා නම් අපට දියුණු රටවලට ළංවන්නට තිබුණේ මෙයට බොහෝ කාලයකට පෙරය. දශක 3 – 4කට පෙර සිට ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ දී පවා පැවසුණේ අපේ රට සිංගප්පූරුවක් කරන බවටය. එහෙත් එය වචනයට පමණක් සීමා වූ අතර කිසිදු සැලසුමක් නොතිබුණි. එනිසාම සිංගප්පූරුව අප අභිබවා බොහෝ සේ ඉදිරියට ගොස් ඇත. දැන් අපට සිදුව ඇත්තේ සිංගප්පූරුව පසුපස දිව යන්නටය.
ලෝක බැංකුව වැඩි වශයෙන් ආධාර දෙන්නට යොමු වන්නේ ලොව දිළිඳු රටවලටය. එම රටවලට දෙන්නේ සහන ණයයි. පොලිය ඉතා අඩුය. එසේම ණය ගෙවීමට ද දිගු කාලයක් දේ. එහෙත් ණය ගන්නා රටවලට ඒ අය ලබාදෙන ආර්ථික උපදෙස් අනුගමනය කරන ලෙසට බල කෙරේ. ඒවා ණය කොන්දේසි ලෙස ඇතැමුන් සැලකුවද එම උපදෙස් පිළිපැදීමෙන් රටවලට ආර්ථික සංවර්ධනය ළඟාකර ගැනීම ඉලක්ක කෙරේ. ඇතැම් විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතන ආර්ථිකය හසුරුවයි. එයින් එම රටවලට යහපතක් මිස අයහපතක් සිදුවන්නේ නැත. ඒ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට එරෙහි වීම වැරදිය.
රටවල් දියුණු වී ඒකපුද්ගල ආදායම ප්‍රසාරණය වන විට සහන ණය අහෝසි වී පොලිය වැඩි වේ. ශ්‍රී ලංකාව මේ වන විට මධ්‍යම ආදායම ලබන රටක් බවට පරිවර්තනය වෙමින් පවතින නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් දෙන ණයවල පොලිය ඉහළ ගොස් තිබේ. මුලින් තිබූ සහන නොලැබේ. 2007 වසරේ සිට මේ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති අතර ශ්‍රී ලංකාවට සිදුව ඇත්තේ සහන ණය වෙනුවට පොලිය වැඩි වාණිජ ණයවලට යාමටයි. ඉදිරියේ දී සහන තවදුරටත් අඩු විය හැකි අතර එයට මුහුණ දීමට අපට සිදු වේ.
මෙයට මුහුණ දීමට නම් අපට සිදුවන්නේ ණය ගැනීම අඩුකර රටේ ආයෝජනය වැඩි කිරීමයි. එහෙත් ආසන්න කාලය දක්වාම සිදුවූයේ ණය ගැනීම වැඩිවීම මිස අඩුවීම නොවේ. අනාගතයේ දී තවදුරටත් මෙම තත්ත්වය උග්‍රවනවා මිස අඩුවීමක් දක්නට නැත.
ආයෝජන ලබාගන්නවා වෙනුවට ණය ලබාගැනීමටයි අප කැමති. ආයෝජනවලට විරෝධය පා කෑගසන ජනතාව ණය ගන්නා විට කෑනොගසන බව දක්නට ඇත. හම්බන්තොට ආයෝජනවලට චීනය පැමිණි විට රට විකුණන බවට ඝෝෂා කරන ජනතාව චීනයෙන් ණය ගන්නා විට එලෙස විරෝධය දක්වා නැත. මෙය වැරදි මානසික තත්ත්වයකි. මෙවැනි විරෝධතා පසුපස ඉන්නේ ආත්මාර්ථකාමී දේශපාලනඥයන් විය හැකිය. දේශපාලනඥයන් ද ආයෝජනවලට වඩා ණය ලබාගෙන ව්‍යාපෘති කිරීමට කැමති වන්නේ එයින් ඇතැමුන්ට වාසි සිදුවන බැවිනි. එහෙත් කළ යුතුව ඇත්තේ වැඩි පොලියට ණය ලබාගැනීම නොව රට තුළට ආයෝජන ඇදගැනීමය. එහෙත් එවැනි ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පෙනෙන්නට නැත.
I යසවර්ධන රුද්රිගූ