2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

වැටුණු අය නැගිට්ටවන කංසා

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1269

• පිළිකා පීලි පැන්නීමට හොඳ බෙහෙතක්

• ලිංගික ශක්තිය වැඩිකර ගන්නත් අංක එකේ ඖෂධයක්

• තිරිහං වෙන්නත් පංකාදුයි

Cannabis sativa නම් විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන “කංසා” හෙවත් ගංජා රට පුරා තහනම් වගාවකි. මේ නිසා ආයුර්වේදය සම්බන්ධව කතා කරද්දී ගංජා යනු කුමක්ද යන්න පිළිබඳව ද ඔබ තුළත් සැකයක් මතුවන්නට ඇත. නමුත් වෛද්‍ය කර්මයේ දී ඉතා සුවිශේෂී වූ ඖෂධයක් ලෙස “කංසා” හැඳින්විය හැක.

මෙය අවුරුදු දහතුන් දහසකටත් වඩා පැරැණි ඖෂධයකි. ආසියානු කලාපය තුළ මෙහි ව්‍යාප්තිය ආරම්භ වේ. විශේෂයෙන් ඉන්දියාව මුල්කරගත් ප්‍රදේශවලින් ආරම්භ වී අද වෙද්දී මුළු ලෝකය පුරා ව්‍යාප්ත වී පවතී.

“කංසා” විවිධාකාර ක්‍රම වෙනුවෙන් භාවිත කර ඇති බවට ඈත අතීතය ගැන කළ නිරීක්ෂණයන්හිදී මනාව ඔප්පු වෙයි. විශේෂයෙන් “කංසා” කෙඳිවලින් ලණු, නූල් ගෙතීම, කංසා පල්පයකින් කඩදාසි නිපදවීම මෙන්ම කංසාවලින් ඉන්ධන නිෂ්පාදනය ද කර ඇති බවට සාක්ෂි හමුවෙයි.

කංසා ඇටවලින් ලබාගනු ලබන තෙල් ඉතා සුවිශේෂී තෙලකි. මෙය ආහාර පිසීමට ගැමියන් විසින් යොදාගෙන ඇත. මෙම තෙල ශරීර ආලේපනය කිරීමටද යොදාගෙන ඇති බවට සාක්ෂි අතීතයෙන් ද ලබාගත හැක.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව “කංසා” පැළෑටිය විවිධ ලෙඩරෝග සුවපත් කිරීම සඳහා ඉතා ගුණදායක ඖෂධයක් ලෙස සැලකේ. ලංකාවේද ඈත අතීතයේ දී ඉතා සුවිශේෂී ඖෂධයක් ලෙස යොදාගෙන ඇත. විශේෂයෙන් ජනතාවගේ නිරෝගීකමට, මානසික සුවයට, ජවසම්පන්න බව ආරක්ෂා කිරීමට “කංසා” ඖෂධය ඉතා වැදගත් වේ.

ඈත අතීතයේ දී පැරැණියෝ ඉතා හොඳ ඖෂධයක් ලෙස “කංසා” භාවිත කළ ද ඉංග්‍රීසින් විසින් රට යටත් කර ගැනීමත් සමඟම කංසා වගාව සහ අංගම්පොර කලාව තහනම් කරන ලදී. “කංසා” වෙනුවට ඉංග්‍රීසීහු දුම්කොළ මෙරටට හඳුන්වා දුන්හ.

ආයුර්වේද වෛද්‍යවරයාට සිය වෛද්‍ය කර්මයේ දී ඉතා වටිනා ඖෂධයක් වන කංසා අද වෙද්දී අහිමි වෙමින් පවතී. කංසා ශෝධන ක්‍රමවලින් එනම් ආයුර්වේදයේ දී පිරිසුදු කරගන්නා ක්‍රම මගින් එහි ඇති මත්ගතිය ඉවත් කරගැනීමේ හැකියාවක් ආයුර්වේදයේ දී පවතී. එවන් ක්‍රම මගින් “කංසා” පැළෑටියේ ඇති මත්ගතිය ඉවත් කර ලබාගත් කංසා ආයුර්වේදයේ බොහෝ රෝගයන්ට ඉතා සාර්ථක ප්‍රතිකාරයකි. එවිට එය හොඳ ඖෂධයකි.

පිළිකා මාරයාට කියාපු ඖෂධේ

ලොව ඇති පිළිකාමය තත්ත්වයන්ට ඉතා වටිනා පිළිකා නාශක ඖෂධයකි “කංසා”. පිළිකා රෝගීන් සඳහා ක්‍රම කිහිපයකින් “කංසා” ප්‍රතිකාර කෙරේ. කංසා සාරය බීමට දීම, කංසා තම්බා දීම වැනි ක්‍රම මගින් රෝගියාට ප්‍රතිකාර කිරීමෙන් ඇතැම් පිළිකා රෝගීන්ගේ රෝග තත්ත්වය වර්ධනය පාලනය කිරීම, එය පැතිරී යාම පාලනය කිරීම මෙන්ම පිළිකා රෝගය නිසා ඇතිවන සංකූලතා වළක්වා ගැනීමට හැකියාව තිබේ. මෙය වේදනා නාශක ඖෂධයක් ලෙසින් ද භාවිතයට ගැනෙන ප්‍රතිකාරයකි. පිළිකා රෝගීන්ගේ ශාරීරිකව පවතින බොහෝ වේදනා සමනය කර ගැනීමට කංසා උදව් වේ.

මොළයේ සෛල විනාශ වීම අඩු කරයි

වර්තමානයේ දී ලෝකයේ ඉතාමත් තදබල ලෙස රෝගීන් වැඩිවන රෝග තත්ත්වයක් ලෙස “අල්ෂයිමර්” හැඳින්වේ. වත්මන පවතින පීඩන රටාව ද එම රෝග ව්‍යාප්තියට බොහෝදුරට ඉවහල් වේ. අද බොහෝ දෙනා ජීවිතේ විඳිනවාට වඩා ජීවිතේ විඳවති. මෙවැනි තත්ත්ව හේතුවෙන් සමහරුන්ට මහලු වියට පත්වීමේ දී මෙම අල්ෂයිමර් රෝගී තත්ත්වය ඇති වේ. අල්ෂයිමර් ලෙසින් හඳුන්වන්නේ මොළයේ ඇති සෛල විනාශ වීමය. මෙය සාමාන්‍යයෙන් ඕනෑම කෙනකුට වයසට යාමේදී සිදුවිය හැකිය. අද වෙද්දී මහලු වියට පා තැබීමට පෙරද ඇතැම්හු මෙම තත්ත්වයට මුහුණ දෙති. මෙවැනි රෝගීන් ඉතා අසරණ තත්ත්වයකට වැටේ. එවැනි රෝගීන්ට කල්පනාව අඩු වේ. මානසික ව්‍යාකූලතාවයන්ට පත් වේ. එවැනි රෝගී තත්ත්වයන්ටද ඉතාමත් ගුණදායක ඖෂධයක් ලෙසින් “කංසා” හැඳින්විය හැක. මහලු වියේදී ඇතිවන මෙවැනි සංකූලතා වළක්වා ගැනීමට “කංසා” යොදවාගත හැකිය.

කසන ලෙඩේට තිත

“කංසා” ඖෂධය චර්ම රෝග සඳහා ඉතා ගුණදායක ඖෂධයක් වේ. ශරීරයේ දී ඇතිවන කැසීම්වලදී මෙය ආලේපයක් ලෙසින් භාවිත කළ හැක. “කංසා” කොළ කොටා කසන ස්ථානවල ආලේප කිරීම ඉතා ගුණදායකයි.

කෙනකුගේ කායික ශක්තිය, ලිංගික ශක්තිය හොඳින් පවත්වාගෙන යාම නිරෝගී ලක්ෂණයක් වේ. කෙනකුගේ කායික ශක්තිය හොඳින් පවත්වා ගැනීමටත්, ලිංගික ශක්තිය හොඳින් පවත්වා ගැනීමටත් “කංසා” ඖෂධය ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරයි. ලිංගික ශක්තියේ දී යම් පීඩාවට පත්වන පිරිමියකු හෝ ස්ත්‍රියකු තුළ මානසික තත්ත්වය ද අඩාල වේ. “කංසා” ආශ්‍රිත ඖෂධ මගින් කායික ශක්තිය මෙන්ම ලිංගික ශක්තිය ද වර්ධනය වේ. එමගින් එවැනි රෝගවලින් පීඩා විඳින රෝගීන්ට සහනය සැලසේ. රණහංස රසායනය, මදනමෝදක, කමේශ්වර මෝදක මෙකී ඖෂධ වශයෙන් හැඳින්විය හැක. නමුත් ලබාගත යුත්තේ නිසි ආයුර්වේද ප්‍රමිතියකට අනුව සැකසූ ඖෂධ පමණකි.

කංසාවලින් තිරිහන් වෙන්න

ඉංග්‍රීසි ඖෂධවලින් බොහෝ දෙනා තරුණකම රැකගන්නට උත්සාහ ගනිති. සමහරු විටමින් වර්ගවලින් වයසට යාම පාලනය කර ගනිති. එවැනි ඖෂධ ප්‍රතිඔක්සිකාරක ලෙස හැඳින්වේ. මෙම ප්‍රතිඔක්සිකාරකයක් ගැනීම තුළින් යම්දුරකට තිරිහන්භාවය හෙවත් තාරුණ්‍යය රැකගැනීමට හැකියාව ලැබේ. ලෝකය පුරාම තාරුණ්‍යය රැකගැනීම සඳහා විශාල අරගලයක් පවතී. ආයුර්වේදයේ දී මෙම කංසා මගින් නිෂ්පාදනය කරනු ලබන ඖෂධ ප්‍රතිඔක්සිකාරක ඖෂධ වන අතර ඒවා කෙනකු තිරිහන් කිරීමට යොදවා ගත හැකිය.

විෂබීජ නාශකයක් ලෙසින් කෑම එකට

අතීතයේ පැරැණියෝ තම නිවසේ ඉදිරිපිට කංසා පැළයක් වවා ගත්හ. මස් ව්‍යංජනය පිසිද්දී කංසා කොළ දෙක තුනක් ව්‍යංජනයට එක් කිරීම ඔවුන්ගේ සිරිතකි. එසේ කරන්නේ “කංසා” ඉතා හොඳ රසකාරකයක් බැවිනි. එමෙන්ම එය හොඳ විෂබීජ නාශකයකි. කරපිංචා ගස සහ කංසා ගස අතීතයේ දී සෑම නිවසකම මිදුලේ දක්නට ලැබුණු ගස් දෙවර්ගයකි.

බඩේ අජීර්ණයට කංසා

“කංසා” බඩේ අජීර්ණයට ඉතා ගුණදායක අත්බෙහෙතකි. කංසා කොළ කිහිපයක් ගෙන කොටා එයට මී පැණි සහ දෙහි ඇඹුල් ටිකක් ද දමා නැවත කොටා බීමට දෙයි. බඩේ අජීර්ණයට, බඩේ කැක්කුමට ඉතා හොඳ අත්බෙහෙතකි. මෙම කංසා කොළ ටිකක් ගෙන කොටා එයට ගිතෙල්, මී පැණි ටිකක් එක්කර කල්කයක් ලෙස ගැනීම ප්‍රබල ශක්තිජනක ඖෂධයකි.

කංසා ඉතා ගුණදායක ඖෂධයක් වුවද ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත. කංසා සමහරු පුරුද්දක් ලෙස භාවිත කරති. එය නුසුදුසුය. නමුත් ඖෂධයක් ලෙස කංසා ඉතා ගුණදායක බව අමතක නොකළ යුතුය.

♦ සටහන :- දිශානි ජයමාලි කරුණාරත්න්‍

පුංචි පුංචි ලෙඩට අත් බෙහෙත්

 

හිසරදයට
• තෙල් ටිකක් රත්කර ඔබේ හිසේ ගල්වන්න. නීල්‍යාදී තෛලය ගැල්වීම ඉතා ගුණදායකයි. නමුත් අමතක කරන්න එපා පීනස වැනි රෝගී තත්ත්වයක් ඇති අය නිසා තෙල් දැමීම එතරම් ගුණදායක නෑ.

• සුවඳකොට්ටන්, දේවදාර විනාකිරෙන් අඹරා හිසේ පැලැස්තරයක් යොදන්න.

• විශේෂයෙන් කොත්තමල්ලි පමණක් තැම්බූ වතුරෙන් දුම් අල්ලන්න.

• බෙලි කොළ, නික කොළ, දෙහි කොළ - පොතු තම්බාගෙන එම දුම ඇල්ලීමද හිසරදයට ගුණදායකයි.

මළබද්ධයට

• මළබද්ධය සඳහා ගුණදායකම ඖෂධ වන්නේ ජලයයි. වැඩිපුර ජලය පානය කිරීමට මතක තබාගන්න.

• ලුණුකැඳ පානය කරන්න.

• ත්‍රිපලා චූර්ණය තේ හැන්දක් උතුරන වතුරට දමා බොන්න.

කැස්සට

• වියළි ඉඟුරු, තිප්පිලි, මුද්දරප්පලම්, ආඩතෝඩ, කටුවැල් බටු, ගම්මිරිස් එක පමණ ගෙන අඹරා මීපැණි ටිකක් දමා ටිකක් දිවෙහි ගල්වන්න.

• අමු ඉඟුරු ඉස්ම, සීනි, මීපැණි, ඇඹුල් දොඩම් ඉස්ම එකට කලවම් කර ටිකෙන් ටික බොන්න.

මුත්‍රා දැවිල්ලට

• සූකිරි කලං හතරක් සහ කොහොඹ පොතු කලං හතරක් ගෙන කුඩුකර තැඹිලි ගෙඩියේ ඇතුළට දමා රැයක් තිබෙන්නට හරින්න. පහුවදා උදේ මෙය පෙරා බීමට ගන්න.

• ආඩතෝඩ ගසේ මල්, මුල්, නැටි, පොතු, කොළ සියල්ල කසායක් ලෙස සාදා බීමට ගන්න.

උණට

• කටුවැල් බටු, තිප්පිලි, ඉඟුරු, හීන් අරත්ත අල, බිංකොහොඹ, කොත්තමල්ලි කලං දෙක ගණනේ ගෙන වතුර පත අට එකට සිඳ උදේ හවස පත භාගය බැගින් සීනි ස්වල්පයක් සමඟ බොන්න.

බඩ බුරුල්කර යාමට

• අඹ දළු මාළුව, ඇඹුල් ඇඹිලිය උයා කෑමට දෙන්න.

• දෙළුම් ඉස්මද බඩ බුරුල්කර යාමට හොඳ ඖෂධයකි.

• සූදුරු කබලේ බැද කුඩුකර තේහැඳි දෙකක් මීපැණි ටිකක් සමඟ බීමට දෙන්න.

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය ඩී.එච්. තෙන්නකෝන්

I දිශානි

ඔබේ ලෙඩේට අපේ වෙදකමින් ප්‍රතිකාර

ඔබට ඇතිවෙන ලෙඩ රෝග සම්බන්ධවත් ඒවාට නිසි ප්‍රතිකාර පිළිබඳවත් අප ආයුර්වේද වෛද්‍ය කණ්ඩායම පිළිතුරු ලබාදීම සූදානම්ය. ඔබට හෝ ඔබේ පවුලේ කෙනකුට තිබෙන රෝගී තත්ත්වයන් පිළිබඳව විස්තර එවා “අපේ වෙදකම” තුළින් පිළිතුරක් ලබාගන්න. ලිපිය කෙටියෙන් ලිවීම අවශ්‍යය.

සංස්කාරක
“අපේ වෙදකම”
දේශය කර්තෘ මණ්ඩලය
විජය පුවත්පත් සමාගම,
අංක 8, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.