2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

බදු ගැන බන්දුල කියන කතාව ‘බදු දඩයම’

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 102

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් සම්පාදනය කළ බව පැවසෙන හා වත්මන් මුදල් ඇමැති මංගල සමරවීර විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (07) සභාගත කළ නව දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත පිළිබඳ මේ දිනවල බොහෝ පාර්ශ්ව අතර කතාබහක් නිර්මාණය වී තිබේ. විපක්ෂය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක නව පනත් කෙටුම්පත පිළිබඳ අදහස් දක්වමින් කීවේ, මෙය මුළුමනින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඝානා රාජ්‍යයට සම්පාදනය කරදුන් දේශීය ආදායම් පනතේ කොපියක් වන බවය. 

කෙසේ නමුත් නව දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳ පුළුල් විවේචනයක් මෙන්ම ගවේෂණයක් ද සහිත ඉදිරිපත් කිරීමක් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන විසින් පසුගියදා සිදු කළේය. ඒ තම නවතම කෘතිය වූ “බදු දඩයම” නව දේශීය ආදායම් පනත තුළිනි. දේශපාලනයට ප්‍රථම ආර්ථික විද්‍යා දේශකයකු ලෙස කටයුතු කළ ගුණවර්ධන මහතා එම කෘතිය තුළින් නව පනත් කෙටුම්පත හරහා සිදුවන බලපෑම පිළිබඳ විස්තර පෙළගස්වා තිබේ. 

බදු දඩයම කෘතියේ වැඩිම අවධානයක් යොමුව ඇත්තේ 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත හරහා විවිධ ක්ෂේත්‍ර කිහිපයකට ලබා දී තිබූ බදු සහන නව පනත් කෙටුම්පත හරහා අහෝසි වී යාම කෙරෙහිය.

“2006 දේශීය ආදායම් බදු පනතේ 3 වැනි පරිච්ඡේදයේ පිටු 44 ක් පුරා මේ බදු සහන විස්තර කර තිබෙනවා. 

කෘෂිකර්මාන්තයට, පන්සල් - පල්ලි - කෝවිල් හා පුණ්‍යායතනවලට, සේවක අර්ථසාධක අරමුදලට, කලාවට, විදේශවල සිට කරන මුදල් ප්‍රේෂණවලට, කර්මාන්තවලට ආදියට දීලා තිබුණු සහන ඒකෙ අඩංගුයි. 

ඒ වගේම අලුත් පනතේ විශේෂයෙන් දක්වලා තියෙනවා, වෙනත් යම් පනතක කුමන දෙයක් සඳහන් වෙලා තිබුණත්, 52 වැනි වගන්තියේ 5 වැනි උපලේඛනයේ සහන විතරයි ලැබෙන්නෙ කියලා. ඉතින් නිශ්චිතව සහනයක් සඳහන් වෙලා නැත්නම් ඒවා ලැබෙන්නෙ නෑ. බදු දඩයම කෘතියේ මම පරිච්ඡේද රාශියක්ම වෙන් කළේ නව පනත මගින් ඉවත් වෙන දේවල් පැහැදිලි කරන්නයි” ගුණවර්ධන මහතා පැහැදිලි කළේය. 

නව දේශීය ආදායම් බදු පනත ඉදිරිපත් කිරීමට තුඩු දුන් ප්‍රධාන කාරණාවක් ලෙස රජය පෙන්වා දෙන්නේ, දැනට සියයට අසූවක මට්ටමේ පවතින වක්‍ර බදු ප්‍රතිශතය සියයට හැට දක්වා අඩු කිරීම හා සියයට විස්ස මට්ටමේ පවතින ඍජු බදු ප්‍රමාණය සියයට හතළිහ දක්වා වැඩි කිරීමය.

එහෙත් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ ඍජු බදු පදනම සියයට හතළිහ දක්වා වැඩි කිරීම ප්‍රායෝගික තත්ත්වයක් නොවන බවය. එනම් ශ්‍රී ලංකාව තුළ සමස්ත දේශීය ආදායමෙන් සියයට හතළිහක් ඍජු බදු මගින් ලබාගැනීමට තරම් ප්‍රමාණවත් බදු පදනමක් මෙරට නොමැති බවය. 

“රජය පවසන්නේ, නව පනත ක්‍රියාත්මක කරවීමෙන් පසු ඍජු බදු දායකත්වය 40% දක්වා ඉහළ නංවා, වක්‍ර බදු 60% දක්වා අඩු කරන බවය. එසේ කළ හැකි නම් ඉතා හොඳය. නමුත් ලංකාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, නවසීලන්තය වැනි ඉහළ ආදායම් ලබන, සංවර්ධිත රටක් නොවන බව, (සිහින සරුංගල්) යවන දේශපාලනඥයන් විසින් ආර්ථික විද්‍යා පොත පත කියවා වටහා ගත යුතුය....

ඉන්දියාව හැර ලංකාව, පාකිස්ථානය, බංගලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින යන සාර්ක් කලාපීය සංවර්ධන වෙමින් පවත්නා රටවල ඍජු බදු අනුපාතිකය 20% 25%ට වඩා පහළ මට්ටමක පවතී”. 

බදු දඩයම (පිටුව 18) 

කෙසේ වෙතත් නව දේශීය ආදායම් පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ මෙරට සියයට 20ක පොහොසතුන් ප්‍රමාණයක් විසින් රටේ ආදායමෙන් 51.9% ක් පාලනය කරන බවත් දුප්පත් පිරිසට හිමි ආදායම් පංගුව සියයට 4 ක් පමණක් බවත්ය. තවද වක්‍ර බදු හරහා මේ දෙපිරිසම එක හා සමාන බදු ප්‍රමාණයක් ගෙවන නිසා ඍජු ආදායම් බදු වැඩි කළ යුතු බවය. 

එමෙන්ම රුපියල් ලක්ෂයකට අඩු මාසික ආදායම් ලබන ජනතාවට ආදායම් බදු ගෙවීමට සිදුනොවන බව ද ඇමැතිවරයා පැවසීය. 

ඇමැතිවරයා එසේ පැවසූව ද 2017.06.09 දින ගැසට් කරන ලද නව දේශීය ආදායම් පනත් කෙටුම්පතේ පළමුවැනි උපලේඛනයේ පැහැදිලිව දැක්වෙන්නේ, එක් තක්සේරු වර්ෂයක් තුළ දී බදු කළ හැකි අවම ආදායම් පරාසය, රුපියල් ලක්ෂ හයක් වන බවය. එනම් මාසිකව රුපියල් පනස් දහසක ආදායමකි. එය මුදල් ඇමැතිවරයා කියන රුපියල් ලක්ෂයේ කතාවට සම්පූර්ණයෙන්ම පටහැනිය.

ඉකුත් සඳුදා දිනයේ දී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි යන අය හමු වී නව දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත ගැන විශේෂ සාකච්ඡාවක් සිදු කළේය. හිටපු මුදල් ඇමැතිවරයාට සාපේක්ෂව හොඳ මුදල් ඇමැතිවරයෙක් දැන් සිටින බව කී ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසූයේ පනත් කෙටුම්පතට ඒකාබද්ධ විපක්ෂය යෝජනා කළ යම් යම් සංශෝධන එක් කිරීමට මුදල් ඇමැතිවරයා එකඟ වූ බවය. 

♦ රජිත ජාගොඩ ආරච්චි